ශ්‍රී ලාංකේය සටන් කලාවට 1975 වර්ෂයේ දී අන්තර් ජාතික වූෂු . කුන්ග්ෆු සටන් සම්ප්‍රදාය හඳුන්වාදෙමින් එය මෙරට 44 වන ජාතික ක්‍රීඩාව බවට පත් කිරීමට අන්තර් ජාතික විනිසුරු හා උපදේශක සටන් ශූරී සම්මානිත ආචාර්ය ප්‍රසන්න ජයවීර සමත් වූයේය. තම පියාණන්ගේ ගමන් මඟ යමින් මේ වනවිට ජාතිත තරුණ සේවා සභාවේ මිශ්‍ර සටන් කලා ප්‍රධාන උපදේශකයා ලෙසින් කටයුතු කිරීමට සටන් කලා උපාධිධාරී සජිත් ජයවීර කටයුතු කරයි. සිය පියාණන්ගෙන් ලද සටන් කලා ආභාසය මෙරට තරුණ පරපුරට දායාද කරමින් පසු වන මොහොතක සජිත් ජයවීර ‘දිවයින’ සමගින් එක්ව පැවැත්වූ සාකච්ඡාව පහත දැක්වේ.

වූෂු විද්‍යාත්මක විෂය ඔබේ වෘත්තීය නොවුණත්, ඔබේ පරපුර වෙනුවෙන් එය දායාද කිරීමට ඔබ කටයුතු කරනවා. ඒ පිළිබඳව පවසමින් මේ කතාබහට ආරම්භයක් ගතහොත් …

මම පාසල් අධ්‍යාපනය හැදෑරුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරු මා මේ වනවිට ආත්මාරක්ෂක සටන් ශිල්ප ඇතුළු බොහෝ ක්‍රීඩාවන් සඳහා උපාධිධාරියකු ද වෙනවා. මීට අමතරව මා පරිගණක විද්‍යාව හදාරමින් පසු වෙනවා. ‘වූෂු’ නම් වූ අන්තර් ජාතික විද්‍යාත්මක ක්‍රීඩා විෂය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ මගේ පියා. මේ සටන් කලාව ප්‍රචලිත කරවීමට මගේ පියාගේ ප්‍රධාන ශිෂ්‍යයෝ පස්දෙනකු මූලික වුණා. මයුර, රසික, මධුර, ටෙරාන් සහ සමල්ක තමයි ඒ ආරම්භය සනිටුහන් කළේ. ප්‍රධාන උපදේශක සහ අනුශාසක ලෙස පත් කර තිබුණේ එංගලන්තයේ සිට පැමිණි වෛද්‍යාචාර්ය හරෙන් ජයසිංහ මහතා. මෙය තමයි ඉතිහාසය. මම මේ සටන් කලාවෙන් රටේ තරුණ පරපුර යා යුතු දිශානතිය කුමක්ද කියා පෙන්වා දීමට මහන්සි ගන්නවා. අපේ පරපුර කුමන හෝ ක්‍රීඩාවක නියැළිය යුතු වෙනවා. එය රැකියාවකට යෑමේදී ආයතනිකවත් වැදගත්කමක් ගන්නවා. ඒ නිසා ‘වූෂු’ ඒ සඳහා වැදගත් ස්ථානයක් කියලා මම තරුණ පරපුරට යෝජනා කරනවා. මින් ලබන සහතිකත් ඒ සඳහා ඉතා වැදගත්.

‘වූෂු’ සටන් කලාව පිළිබඳව විග්‍රහ කළොත්…

“වූෂු” කියන්නේ චීන සටන් කලා විද්‍යා අධ්‍යාපනයට. (චයිනීස් මාර්ෂල් ආර්ට් සයන්ස්) මෙය දැනට ලොව පවතින වේගවත්ම සටන් කලාව. කරුණාවිරහිත පහර දීම් සහිත සටන් කලාවක් මේක. ඒ නිසා බොහෝ අය මෙය සංකීර්ණ සටන් ශිල්පයක් ලෙස දකිනවා. නමුත් මෙය අංග සම්පූර්ණ සටන් කලාවක්. එය සම්ප්‍රදායන් බිඳ දමමින් අංශ හතරකින් ක්‍රියාත්මක වෙනවා. ‘වූෂු’ සහ මිශ්‍ර සටන් කලාව කලවම් කර ගතයුතු නැහැ. ‘වූෂු’ කියන්නේ සියලු සටන් ශිල්පවල ආරම්භය. ‘ඇබොලින්’ ආරාමයන්ගෙන් තමයි මෙම සටන් කලාව පැවතෙන්නේ. ඇබොලින් කියන්නේ ෆයින් ගස්වලින් ගහනය වූ වනාන්තරයට. ජපානයේ තිබෙන්නේ ෂූරින්. ජී. ටෙම්පල්. ඒ වගේම කොරියාවේ ‘ෂූරින් ෂා ටෙම්පල්’ කියලා කියනවා. නමුත් ‘වූෂු’ කියන්නේ ලොව පැරණිතම සටන් කලාවට. මෙය මුල් අවධියේ භාවනා ක්‍රමයක්. පසුව සතුන්ගේ හැසිරීම් රටාවන් හා ඉරියව් සමග බැඳී සෙන් බුදු දහම් සමයත් සමග මෙය ‘වූෂු’ සටන් කලාව ලෙස ප්‍රචලිත වෙනවා. ලංකාවේ අංගම්පොර සටන් කලාවත් මේ වගේම සාම්ප්‍රදායික සටන් කලාවක්. ශ්‍රී ලංකා ජාතික අංගම්පොර සම්මේලනයේ අනුශාසක ලෙස ද මගේ පියා කටයුතු කරනවා.

අද සටන් කලා ගුරුවරයකු වන ඔබ මෙරට බොහෝ සටන් කලා ගුරුවරුන් යටතේ හැදෑරීම් සිදු කළ බව පැවසුවා…

ඇත්තෙන්ම. මගේ පියා මාව මගේ රටේ සටන් කලා ප්‍රවීණයන් යටතේ හැදෑරීම් සඳහා යොමු කළා. ඒ විශාරදයන් යටතේ කරාතේ වෙනුවෙන් ෂෙහාන් නන්ද සිරිවර්ධන, ටයිකොණ්ඩෝ වෙනුවෙන් සදහම් සිරිල් ඇන්තනී යන ගුරුවරුන් යටතේ හැදෑරීම් කළ මා මේ ද්විත්වයේම කළු පටිධාරියකු වෙනවා. පසුව පියාගේ සටන් ශිල්පීය ක්‍රම ප්‍රගුණ කළ මා මිශ්‍ර සටන් කලාවන් ද හදාරමින් අවස්ථා ගණනාවක දී චීනයට ගොස් උපාධි ලබා පසුව තායිලන්තය, බ්‍රසීලය වැනි රටවල දී මිශ්‍ර සටන් කලාව තවදුරටත් ප්‍රගුණ කරනු ලැබුවා.

ග්ලෝබල් මික්ස් මාර්ෂල් ආර්ට් ප්‍රෙඩරේෂන් හි ශ්‍රී ලංකා තානාපති නිත්‍ය නියෝජිත වන ඔබ තරුණ පරපුරට දෙන පණිවුඩය කුමක්ද?

ඔව්. අපි පුහුණු මධ්‍යස්ථානයක් දියත් කළා. සඳුදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා සවස 3.00 සිට 6.00 දක්වා හැදෑරීම් සඳහා සිසුන් පැමිණෙනවා. ‘වූෂු’ ක්‍රීඩාව පාසල් සඳහා හඳුන්වාදීමට අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනා කළෙත් මගේ පියා. අද ජාතික මට්ටමේ සංගම් ද විශාල ලෙස පවතිනවා. ඒ වගේම නිලලත්, දක්ෂ ගුරුවරුන් මෙවැනි ආත්මාරක්ෂක සටන් කලාවන්, එහි ශිල්පය ක්‍රමයෝපායන් නවකයන්ට ලබාදෙමින් පසු වෙනවා. ඔවුන් නිවැරදිව හඳුනාගෙන ඒ ශිල්පීය සටන් ක්‍රම හැදෑරීමට යොමුවීම වැදගත්.

මිශ්‍ර සටන් ක්‍රමය මෙරට තුළ තවමත් පවතින්නේ ප්‍රාථමික අවධියක කියා මා පැවසුවොත්…

ඇත්ත. මේ සටන් ක්‍රමයට ඉන්දියාවේ විශාල තැනක් තියෙනවා. එයට කලා ශිල්පීන් පවා උපකාර කරනවා. ඒ අය මේ සටන් ක්‍රමය මුදල් ඉපයීමේ මාර්ගයක් ලෙසත් යොදා ගනිමින් සිටිනවා. හරියට වීදි සටන් ක්‍රම වගේ. නමුත් වූෂු කියන්නේ විශාල පෞරුෂයක් ඇති කර ගනිමින් නීරෝගිමත්, සාර්ථක මිනිසකු බිහි කරලීමට දායක වන ප්‍රධාන අපූරු සටන් ක්‍රමයකට. හරියටම කීවොත් මගේ පියා වගේ. පන්සිල් පද පහ ආරක්ෂා කරනවා වගේ දැඩිව අදිටන් කර ගනිමින් ඉදිරියට ගියොත් ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණදිය හැකියි. මම එය මගේ ගුරුවරුන්ගෙන් පියාගෙන් ඉගෙනුම ලැබුවා. මේ සෑම අංශයකින්ම මගේ ජීවිතයේ පරමාදර්ශය මගේ පියා. මම පියාගෙන් ජීවිතයේ අභියෝග එකවිට ජයගන්නා ආකාරය ඉගෙන ගත්තා. ඔහු මට ආඩම්බරයක්. මට අවශ්‍ය මේ සියල්ල මගේ පරපුරට දායාද කිරීමයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment