දරු දෙදෙනාට දස වධදී වීඩියෝ කර ෆේස්බුක් දාලා – සැකකාර පියා අත්අඩංගුවට

578

නිරාහාරව සිටි දරු දෙදෙනාත් පොලිස් භාරයට

තම දරුවන් දෙදෙනාට අමානුෂික ලෙස පහරදී එය විඩියෝ ගතකර සමාජ මාධ්‍යයට එක්කළ දරුවන්ගේ පියා ඊයේ (07 දා) අත්අඩංගුවට ගත් බව දිඹුල, පතන පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ආනන්දසිරි මහතා පැවසීය.

දිඹුල පතන පොලිස් වසමේ වතු යායක පිහිටි බිරිඳගේ නිවසේ පදිංචිව සිටින 33 හැවිරිදි සැකකාර පියා ඉකුත් 05 දා රාත්‍රියේ නිවසේදී අවු. 09 සහ 05 හැවිරිදි දරුවන් දෙදෙනාට පහරදී ඇති බවත්, සැකකරුගේ බිරිඳ ගෘහ සේවය සඳහා විදේශගත වී ඇති බවත් පොලිසිය කියයි. දරුවන් දෙදෙනා මිත්තනිය භාරයේ සිට ඇත.

සැකකරු කොළඹ ප්‍රදේශයේ වාහන පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානයක සේවය කරන අයෙකි. දරුවන් දෙදෙනා පියාගේ උපදෙස් නොපිළිපදින නිසා සැකකරු විසින් දරුවන් දෙදෙනාට අතින් පහරවල් කිහිපයක් ගසා ඇති බවට දැනට කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සැකකරු ලිඳුල පොලිස් වසමට අයත් නාගසේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දරුවන් දෙදෙනා සමග රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන සැකකරු සහ දරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ලිඳුල පොලිසිය වෙත භාරදී ඇත.

ලිඳුල පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ළමුන් දෙදෙනා පොලිස් භාරයට ගත් අවස්ථාවේ ළමුන් දෙදෙනා නිරාහාරව සිටි නිසා ඔවුන්ට ආහාරපාන ලබාදීමට ළිඳුල පොලිසිය පියවර ගෙන ඇත.

පොලිස් භාරයට ගත් දරුවන් දෙදෙනා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙතට යොමුකර සැකකරු හැටන් මහසේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment