QR නැත්නම්  තෙල් නෑ – අදම ඇවිත්  පෝලිම්  ගැහෙන්න එපා – ඇමැති ඉල්ලයි

272

ඉන්ධන පෝලිම් තවත් වැඩිවනවා – ඉන්ධන හල් හිමියෙක්

අපහසුවෙන් වුවත් තීරණයට සහාය දෙනවා – ටැංකි රථ හිමියන්ගේ සංගමය

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්ආර්  (QR) ක්‍රමයට අද (01දා) සිට දිවයින පුරා ඉන්ධන හල්වලින් ඉන්ධන නිකුත් කිරීම අනිවාර්ය කර තිබේ. කිව් ආර් ක්‍රමවේදයට වාහන 46,91,149 ක් ලියාපදිංචි වී ඇති අතර ඉන් 41,59,367 පෙට්‍රල් වන අතර 5,32,571 ක් ඩීසල් වාහන වේ.

කෙසේ වෙතත් තමන්ගේ රථය සඳහා වෙන්කෙරෙන ඉන්ධන කෝටාව ලබාගැනීම සඳහා සතියක් පවතින හෙයින් පිරවුම්හල් වෙත අදම පැමිණ ඉන්ධන ලබාගැනීමට උත්සාහ නොකරන ලෙස විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඉල්ලා සිටී.

සියලුම ත්‍රිරෝද රථ අදාළ පොලිස් ස්ථානයේ ලියාපදිංචි වියයුතු අතර ආසන්නම පිරවුම්හලක ලියාපදිංචි වී එම ස්ථානයෙන් ඉන්ධන ලබගත යුතුවෙයි. මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන ඉන්ධන හල්වලට ඉන්ධන ලබාදීමේදී ප්‍රමුඛතාව ලබාදීමට අමාත්‍යාංශය කටයුතු කරයි.

දිවයින පුරා පිහිටි ඉන්ධන හල් 1060 ක් කිව් ආර් ක්‍රමය යටතේ ලියාපදිංචි වී ඇති අතර ඉන් ඉන්ධන හල් 750 ක් පමණ ඊයේ වනවිට එම ක්‍රමවේදයට අනුව ඉන්ධන නිකුත් කිරීම සිදුකර ඇත.

චැසි අංකයෙන් කිව් ආර් ක්‍රමවේදයට ලියාපදිංචි වීමට නොහැකිවූ වාහන හිමියන්ට ආදායම් බලපත්‍රයෙන් ලියාපදිංචි වීමට අවස්ථාව ලබාදී ඇත.

ආර්ථික අර්බුදය නිසා රටට ඉන්ධන ගෙනඒමට අසීරු තත්ත්වයක් උදාවී ඇති නිසා ඉන්ධන සීමා කර ගෙන්වා සීමා කර බෙදාහරින ලෙස අමාත්‍යාංශය සියලුම ඉන්ධන හල්වලට උපදෙස් දී ඇති බවත් එම උපදෙස් පිළිනොපදින ඉන්ධන හල් සම්බන්ධයෙන් කටයුතු කළයුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

රජය ගෙන ඇති මෙම තීරණයට ඛනිජ තෙල් සංස්ථාව පමණක් නොව ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන හල්ද අනුගත වනු ඇතැයි අමාත්‍යාංශය අපේක්‍ෂා කරන බවද ඔහු කීය.

කිව් ආර් ක්‍රමයට ඉන්ධන සැපයීම නිසා ඉන්ධන හල්වලට ලැබුණු ආදායම සියයට 50 කට වඩා අහිමි වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා ‘දිවයින’ ට පැවැසීය. රජය ගෙන ඇති මෙම තීරණයට අපහසුවෙන් වුවත් එකඟ වීමට සිදුවන බවද මෙම ක්‍රමය රජයට වාසියක් ලෙස පෙන්වුවත් ඉන්ධන හලකට අඛණ්ඩව ඉන්ධන සැපයූ ක්‍රියාදාමය කඩා වැටීම නිසා සතියකට එක්වරක් ඉන්ධන රැගෙන ඒමට බවුසර් රථ රියැදුරන් දක්වන ප්‍රතිචාර ගැන ඉදිරියේදී සලකා බැලිය යුතු බවද ඒ මහතා කියා සිටියේය.

මේ අතර නාරාහේන්පිට ඉන්දියන් ඔයිල් සමාගමේ හිමිකරු සම්පත් කොතලාවල මහතා කියා සිටියේ කිව් ආර් ක්‍රමයට ඉන්ධන ලබාදීමට යෑමෙන් ඉන්ධන පෝලිම් තවත් වැඩිවන බවයි. එමෙන්ම ජංගම දුරකථන තබාගෙන කිව් ආර් සංකේත පරීක්‍ෂාවට යෑමේදී ඉන්ධන හලේ යම් ගිනි ගැනීමක් සිදුවුවහොත් රක්‍ෂණ වන්දි ලබානොදෙන බව රක්‍ෂණ සමාගම් ප්‍රකාශ කර තිබෙන බවත් එවැනි දෙයක් සිදුවුවහොත් එහි පාඩුව ලබාදෙන්නේ කවුරුන්ද යන්න ප්‍රකාශ කළයුතු බවත් පැවැසීය.

කිව්ආර් සංකේතය යටතේ ඉන්ධන ලබාදෙන ඇතැම් ඉන්ධන හල් හිමියන් තමන්ට ලැබෙන ඉන්ධනවලින් වැඩි ප්‍රමාණයක් වෙනත් ආයතනවලට වැඩි මිලට අලෙවි කර ලීටර් 6600 ක් වැනි ප්‍රමාණයක් ඉන්ධනහලට රැගෙනවිත් අලෙවි කරන බවත්, ඉන් තමන් වැනි ඉන්ධන වැඩි ප්‍රමාණයක් ගෙන්වා අලෙවි කරන අයට අයහපතක් සිදුවන බවත් ඔහු කීය.

ඉන්ධන බවුසරයක් ගෙන්වා සතියකට එය අලෙවි කර මුදල් එකතු කර නැවත ඇණවුම් කිරීමට ඉන්ධන හල් හිමියන්ට සිදුවුවහොත් පවතින පෝලිම් තවත් වැඩිවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment