බස්නාහිර සහ සබරගමුවේ ලීක් වුණු ප්‍රශ්න පත්‍ර අවලංගු කරයි

115

බස්නාහිර පළාතේ 10, 11 ශ්‍රේණි සිසුන් සඳහා පැවැති පාසල් වාර විභාගයේ විෂයන් තුනක ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම නිසා එම විභාග අවලංගු කිරීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකර තිබේ.

මේ අනුව 04, 05, 06 දිනවලට අදාළ ඉංග්‍රීසි, ගණිතය සහ සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර අවලංගු කර තිබෙන අතර එම විභාග ඉදිරි දිනවලදී පැවැත්වීම කටයුතු කරන බව බස්නාහිර පළාතේ අධ්‍යාපන අධ්‍යක්‍ෂ නිමල් ජයවීර මහතා ‘දිවයින’ ට පැවැසීය.

බස්නාහිර පළාතේ 06 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා විභාගය කිසිදු අක්‍රමිකතාවකින් තොරව පැවැත්වූ බවත් සියලුම ප්‍රශ්න පත්‍ර රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් මුද්‍රණය කර කොට්ඨාස කාර්යාලවලට ලබාදීමට එම ආයතනයට උපදෙස් දී තිබූ බවත් ඔහු කීය.

කොට්ඨාස කාර්යාලය මගින් කලාප කාර්යාලවලට ප්‍රශ්න පත්‍ර ලබාදී විභාගය පැවැත්වෙන දිනට අදාළ විදුහල්පතිවරුන් මගින් විදුහල්වලට ලබාදීමට කටයුතු කළ බවත් එවැනි ආරක්‍ෂිත තත්ත්වයක් තිබියදීත් සමාජ මාධ්‍ය වෙත එම ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් සොයා බලන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවද ඔහු කීය.

මේ අතර සබරගමුව පළාතේද අද (04දා) පැවැත්වීමට නියමිත ඉංග්‍රීසි ෂෂ ප්‍රශ්න පත්‍රයද සමාජ මාධ්‍ය වෙත පිටවී ඇති බවට වාර්තා විය.

සබරගමු පළාතේ පාසල්වල වාර අවසාන විභාගයේ 10 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍රයක් විභාගය පැවැත්වීමට පෙර සමාජ මාධ්‍යයට පිටවීම නිසා ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී තිබිණි. මෙම තත්ත්වය නිසා අද (04 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ එම විභාගය අවලංගු කළ බව සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ චාමර බමුණුආරච්චි මහතා පැවැසීය.

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ 10 වැනි ශ්‍රේණිය ඉංග්‍රීසි දෙවැනි ප්‍රශ්න පත්‍රය විභාගය පැවැත්වීමට දින කීපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පිටවී තිබූ බව අනාවරණය වී ඇතැයි පළාත් අධ්‍යාපන ලේකම්වරයා පැවැසීය. එම ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍යයට ලැබුණේ කෙසේදැයි සෙවීමට සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් අනුව පරීක්‍ෂණ කණ්ඩායමක් පත්කර තිබේ.

චමින්ද සිල්වා, ප්‍රදීප් සමරකෝන්, කහවත්ත – සමරවීර නිරෝෂන්

advertistmentadvertistment
advertistmentadvertistment