බංගලි අලි අමාරුවක – ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව ලොකු ජයග්‍රහණයක් අභියස

491

ශ්‍රී ලංකාව සමග සිල්හෙට් හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 511 ක දැවැන්ත ඉලක්කයක් හඹා යන සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු 5 ක් ඊයේ (24 වැනිදා) ලකුණු 47 කට දැවී ගියේය.

ඒ අනුව සිල්හෙට් ක්‍රීඩාංගණයේදී අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටින සත්කාරකයෝ කඩුලු 5 ක් අතැතිව තවත් ලකුණු 464ක් පිටුපසින් සිට අද (25 වැනිදා) තරග පිටියට පිවිසීමට නියමිතය.

වේග පන්දු යවන්නන්ගේ රජදහනක

ශ්‍රී ලංකාව හමුවේ එම ඉලක්කය හඹා යෑම බංග්ලාදේශයට ප්‍රබල තර්ජනයක් වී ඇති අතර ඊයේ දිනයේද ඔවුන්ගේ දෙවැනි ඉනිමේ පළමු කඩුලු 5 පළමු පන්දු වාර 9 තුළදී බිඳ වැටුණි.

විශ්ව ප්‍රනාන්දු ඉන් කඩුලු 3 ක් ද, ලහිරු කුමාර සහ කසුන් රාජිත එක් කඩුල්ල බැගින් ද දවා ගැනීමට සමත් වූහ.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් ටෙස්ට් ක්‍රිකට් පිටියේ අංක හත පිතිකරු හෝ ඊට පසුව පිටියට පැමිණ ඉනිම් දෙකේදීම ශතකයක් වාර්තා කළ ලොව පළමු පිතිකරුවා බවට පත් වූයේය.

පළමු ඉනිමේ දී ලකුණු 102 ක් ලබා ගත් කමිඳු දෙවැනි ඉනිමේ දී ඊයේ ලකුණු 164 ක් ලැබූ අතර ඒ අනුව ඔහු අදාළ වාර්තාවට හිමිකම් කීය.

ටෙස්ට් පිටියේ ඉනිම් දෙකේදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක වාර්තා වූ 07 වැනි අවස්ථාව බවටද එය පත් වූ අතර මෙම තරගයේ දෙවැනි ඉනිමේදී යළිත් ශතකයක් වාර්තා කළ නායක ධනංජය ද සිල්වා කමිඳුට පෙර එම දස්කම දැක්වූයේය.

නායක ධනංජය ද සිල්වා ඊයේ ලකුණු 108 ක් ලැබූ අතර එය ඔහුගේ 12 වැනි ශතකය වූයේය.

ධනංජය ට පෙර දුලිප් මෙන්ඩිස්, අසංක ගුරුසිංහ, අරවින්ද ද සිල්වා, තිලකරත්න ඩිල්ෂාන් හා කුමාර් සංගක්කාර ඉනිම් දෙකේ දී ම ශතක වාර්තා කර තිබුණු අතර අරවින්ද හා සංගක්කාර අවස්ථා දෙකකදී එම දක්ෂතාවය දක්වා තිබේ.

කෙසේ වෙතත්, නායකයා ලෙස මෙම දක්ෂතාවය දැක් වූ ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ පළමු පිතිකරු බවටද ධනංජය ද සිල්වා පත්වූයේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම ඉනිමේදී රැස් කළ ලකුණු 280ට පිළිතුරු ලෙසින් බංග්ලාදේශය පෙරේදා සවස තේ පානයට මඳකට පෙර සිය මුල් ඉනිමේ සියලු ක්‍රීඩකයන් දැවී රැස් කර ගත්තේ ලකුණු 188ක් පමණි. ප්‍රථම ඉනිමේදී ලකුණු 92ක් ඉදිරියෙන් පසුවෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම ඇරැඹූ අතර කඩුලු පහකට ලකුණු 119 ක් ලෙස ලකුණු පුවරුව සටහන් වෙද්දී ඊයේ දිනය ඇරැඹීය.

බංග්ලාදේශය ප්‍රථම ඉනිමේදී ලකුණු 188කට දවාලීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් තිදෙනා විශ්ව ප්‍රනාන්දු (48/4) ළහිරු කුමාර (31/3) සහ කසුන් රාජිත (56/3) සමත් වූහ.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් නිශාන් මධුෂ්ක මුළු ලකුණු 19දී ලකුණු දහයකට දැවී ගියේ නහිඩ් රානාගේ පන්දුවකටය. උප නායක කුසල් මෙන්ඩිස් මුළු ලකුණු 32දී ශ්‍රී ලංකා දෙවන කඩුල්ල ලෙස ලකුණු තුනකට දැවී ගියේය. මුළු ලකුණු 60දී ටයිජුල් ඉස්ලාම්ගේ පන්දුවකට එලවා පහරදීමට ගොස් මැතිව්ස් නිකරුණේ දැවී ගියේ ය.

ප්‍රථම ඉනිමේදී මෙන්ම මේ ඉනිමේදී ද දිනේෂ් චන්දිමාල්ට අඩු ලකුණු සංඛ්‍යාවකට (00) දැවී යෑමට සිදු වූයේ මෙහෙඩි හසන්ගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව මුළු ලකුණු 64දී ශ්‍රී ලංකා සිව්වන කඩුල්ල ලෙසිනි. සිය 36 වන අර්ධ ශතකය කරා ගමන් ගත් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යතැයි අපේක්ෂා කළත් මුළු ලකුණු 113දී සොරිෆුල් ඉස්ලාම්ගේ බවුන්සර් පන්දුවකට අවාසනාවන්ත අයුරින් දැවී ගියේ නහිඩ් රානා උඩපන්දුවක් රැක ගැනීමෙනි.

බංග්ලාදේශ පළමු ඉනිමේ පෙරේදා උදෑසන දැවී ගිය පිතිකරුවන් තිදෙනාම දැවී ගියේ වේග පන්දු යවන ළහිරු කුමාරගේ දක්ෂ පන්දු යැවීම හමුවේය. ළහිරු කුමාර උදය වරුවේ ඕවර හයක් යවා ලකුණු 22කට කඩුලු තුනක් දවා ගැනීමට සමත් විය.

බංග්ලාදේශ පිතිකරුවන් අතුරින් පළමු ඉනිමේ කැපී පෙනුණු ටයිජුල් ඉස්ලාම් ලකුණු 47ක් ද (පන්දු 80යි හතරේ හයයි) ලිටන් දාස් ලකුණු 25ක් ද (පන්දු 43යි හතරේ හතරයි) කලිඩ් අහ්මඩ් ලකුණු 22ක් ද (පන්දු 28යි හතරේ පහරයි හයේ දෙකයි) සහඩට් හොසේන් ලකුණු 18ක් ද (පන්දු 26යි හතරේ තුනයි) ෂොරිෆුල් ඉස්ලාම් ලකුණු 15ක් ද (පන්දු 21යි හයේ පහර දෙකයි) රැස් කළහ.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව මුල් ඉනිම සියල්ල දැවී 280 (ඕවර 68යි)

ධනංජය ද සිල්වා 102, කමිඳු මෙන්ඩිස් 102, දිමුත් කරුණාරත්න 17, කුසල් මෙන්ඩිස් 16, කලිඩ් අහමඩ් 72/3, නහිඩ් රානා 87/3යි)

බංග්ලාදේශය මුල් ඉනිම සියල්ල දැවී 188 (ඕවර 51.3යි)

(ටයිජුල් ඉස්ලාම් 47, ලිටන් දාස් 25, කලිඩ් අහමඩ් 22, සහඩට් හොසේන් 18, ෂොරිෆුල් ඉස්ලාම් 15, විශ්ව ප්‍රනාන්දු 48/4, ළහිරු කුමාර 31/3, කසුන් රාජිත 56/3යි)

ශ්‍රී ලංකාව දෙවන ඉනිම සියල්ලන් දැවී 418යි (පන්දු වාර 110.4යි)

(දිමුත් කරුණාරත්න 52, ධනංජය ද සිල්වා 108, කමිඳු මෙන්ඩිස් 164, ඇන්ජලෝ මැතිව්ස් 22, නහිඩ් රානා 128/2, ටයිජුල් ඉස්ලාම් 75/2, මෙහෙඩි හසන් 74/4)

බංග්ලාදේශය දෙවැනි ඉනිම පන්දු වාර 13 යි 47/5

පන්දු යැවීම – විශ්ව ප්‍රනාන්දු 13/3,

advertistmentadvertistment
advertistmentadvertistment