මග හොඳට තිබේ නම්

144

බෞද්ධයකු නම් මුලින්ම කළ යුත්තේ තෙරුවන් සරණ යෑමයි. එනම් තුනුරුවන් කෙරෙහි පැහැදීමයි. ඇදහීමයි. අදහන්නේ විශ්වාසය නිසාය. බුදුන් වහන්සේ අපට විශ්වාසයය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපි අදහමු. නමුත් ඒ විශ්වාසයේ ගුණාර්ථ පොහොසත්ද? ඇතැමුන් බුදුන් වහන්සේ උත්තරීතර මනුෂ්‍යයකු ලෙස නොව දෙවියකු ලෙස සලකති. බුදුරජාණන් වහන්සේ දෙපා සත්වයන් අතර උත්තමයාය. ලොව උතුම්ම මනුෂ්‍යයාය. උන්වහන්සේ කිසිවිටෙකත් ගෞරවාචාර අගය නොකළහ.

“මහණෙනි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය. තියුණුය. අනුත්තර වූ රහත් බව ලබා ගැනීම පිණිස ඒවා අන්තරායකරය.”

බුදුන් වහන්සේ ලෝකයා තුළ පවත්නා අවිද්‍යාව, නොදැනීම, නූගත්කම, වැරදි දෘෂ්ටිය, වැරදි මත, වැරදි ක්‍රියා පෙන්වා දීම සඳහාම පහළ වූ උතුමෙකි. එබඳු උතුමෙක් ලෝකයාගෙන් සීමාව ඉක්ම වූ ගෞරවාචාර කිසිසේත් බලාපොරොත්තු වන්නේ නැත. අපි අපේ සීමාව ඉහවහා ගොස් ඇතිවා නොවේද? මෝඩ ශ්‍රද්ධාවෙන් යුතුව බුදුරජාණන් වහන්සේට නොයෙක් ගෞරවාචාරද දක්වන්නේ අහස උසට තැනූ මහා පිළිම සාදමිනි. අපේ බොහෝ අය පන්සිල්වලින් එක අඩියක් හෝ ඉස්සරහට තබන්නේ නැත.

සීලය රකිනවා නම් රකින්නට බලා සිටින්නේ පසළොස්වක පෝය උදාවනතෙක්ය. අපේ බෞද්ධයෝ පිරිත් සලකන්නේ මන්ත්‍රයක් වශයෙනි. එය උදේ හවස ජප කිරීමෙන් ප්‍රතිඵල අත්වේ යයි විශ්වාස කරති. පිරිත් තුළ ඇත්තේ පිළිපැදිය යුතු ප්‍රතිපත්ති රැසක් බව නොදනිති.

පන්සලේදී බුදුරජාණන් වහන්සේට වඩා දෙවියන් අදහමින් දෙවියන්ගෙන් නොයෙක් යැදීම් කොට නොයෙක් දේ ඉල්ලන අඥාන බෞද්ධයන් අපේ දහමේ විනාශකාරී ප්‍රජාවය. බුද්ධිය අවදි කරගත යුතු බව අපි නිතර කියන්නෙමු. එහෙත් පලක් වී ඇති බවක් නොපෙනේ.

සිදුහත් කුමරා මිනිස් මව්පියන්ට දාව මිනිස් සිරුරක් ඇතිව ඉපදී බුදුවරයකු මෙන් ජීවත්ව සිට මිනිස් ආයුෂ වළඳා උත්තරීතර මනුෂ්‍යයකු වශයෙන් පිරිනිවන් පෑ බව අද බොහෝ දෙනෙකුට අමතකය. ඒ වෙනුවට හින්දු දහමේ චාරිත්‍ර වාරිත්‍රවලට වහල් වී ඒවා බදාගෙන ජීවත් වෙති. හින්දු දහම අපේ ආගම නොවේ. කෝවිලකට ගොස් බැලූ විට දෙවියන් අතර බුද්ධ ප්‍රතිමා දැකිය නොහැක. එහෙත් පන්සලක තත්තවය දේව රූපවලින් දේවාලවලින් පන්සල පිරී පවතී.

ගිහි පැවිදි බොහෝ අය බුදුන් අදහන්නේ බුද්ධ චරිතය කියවා මිස බුද්ධ ධර්මය හදාරා නොවෙති. නමුත් බොහෝ විදේශිකයන් බුදු දහම හොඳින් හැදෑරීමෙන් පසුව බුදු දහම අදහන්නන් බවට පත්වී ඇත. ඊටත් වඩා බුදු දහම ඇදහීමෙන් ඔහුත් ලබන්නේ නිරාමිස ප්‍රීතියකි. අපේ අය ආගම මුවාවෙන් සාමිස සැප සොයා වෙහෙසෙති.

භික්‍ෂුව යනු කවරෙක්ද? හිස මුඩු කොට පාත්‍ර සිවුරු දරාගෙන මනා හික්මීමෙන් යුතුව ශාන්ත දාන්තව සිටින පියවර ඔසවන මිනිස් රුවක් අප සිත් තුළ මතුවේ. දුටු පමණින් සිත පහදාගෙන ගෞරව බහුමාන දක්වන්නේ උන් වහන්සේ තුළ සුපේසල ශික්ෂාකාමී, ධර්මධර, විනයධර ස්වභාවයක් ඇතැයි යන විශ්වාසයෙනි. නමුත් වර්තමාන භික්‍ෂුව තුළ එකී ස්වභාවයක් පවතීද?

භික්‍ෂුව / ගම යන පුරුක යටත්විජිත යුගයේ සිට ගම්දනව් පුරා දක්නට ලැබුණත්, සුපිරි භික්‍ෂු සමාජයක් දක්නට ලැබෙනුයේ යටත්විජිත පාලනයේ වර්ධනයත් සමගය. යටත්විජිත තාක්‍ෂණය, විශේෂයෙන් මුද්‍රිත මාධ්‍ය එවන් සුපිරි භික්‍ෂු සමාජයක් බිහි කිරීම සඳහා මහෝපකාරී විය. මෙයින් අදහස් වන්නේ පූර්ව යටත්විජිත යුගය තුළ යම් යම් සුපිරි භික්‍ෂු සමාජ නොතිබුණු බව නොවේ.

අද වන විට භික්‍ෂුව නම් චරිතයට සිදුවී ඇත්තේ කුමක් දැයි විමසන විට,

  1. පිරිවෙන් තුළින් පිටවන්නේ බොහෝ විට දැනුම සහිත පැවිද්දන් පමණක් වන අතර, විනය අතින් දුප්පත් භික්‍ෂුවක් දැකිය හැකි වීම.
  2. විහාරස්ථානයේදී ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ කෙනෙකුන් යටතේ සිටින පොඩි හාමුදුරුවන්ට එකී ආචාර්ය උපාධ්‍යායන් වහන්සේ වෙනුවට විශ්වවිiාල සහ උසස් අධ්‍යාපන ආයතන තුළට ගොස් දැනුම ගබඩා කර ගැනීමටත්, උපාධිය සමත්වීමටත් සිදුවී තිබෙනු හැරුණු කොට ආර්ය මාර්ගයේ ගමනක් දක්නට නොලැබීම.
  3. පන්සල භෞතික සම්පත් සොයා යෑම සහ භෞතික පූජා වස්තූන් නිමවන, නිමවා තිබෙන ආයතනයක් බවට පත්වී වැඳුම් පිදුම්වලට පමණක් සීමා වීම සහ භික්‍ෂුන්ද වැඳුම් පිදුම් ලබමින් සතර පේරුවේ දායක දායිකාවන්ගේ දහසක් එකක් ඇනවුම් භාරගෙන ඒවා ඉටු කරනවුන් බවට පත්ව තමන්ගේ යායුතු ආර්ය මාර්ගය පහදා නොගැනීම නිසා මෝඩ ශ්‍රද්ධාව ඇති ධර්මය නොදන්නා බොහෝ අය හොර රහතුන් සොයා යාම සහ අනුගාමිකයන් වී සිටීම.
  4. භික්‍ෂුව රාජ්‍යත්වයත් සමග බද්ධ නොවීම දැකිය හැකි අතර ආණ්ඩු බද්ධ වීමක් භික්ෂූන් වහන්සේ තුළින් දක්නට ලැබීම.

ලෝකයේ නොයෙක් ආගම් දක්නට ලැබේ. නමුත් බුදු දහම තරම් අවසානයට පිළිතුරක් ඇති දහමක් ලොව කොහේවත් නැත. බුදුදහම ආගමක් වන්නේ බෞද්ධ දර්ශනයට ආගමික ලක්‍ෂණ ඇතුළත් වීම නිසාය. බුද්ධියට අමතන දහමක් ලෝකයේ තිබේ නම් ඒ බුදුදහම පමණකි. එය මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදීය.

භික්‍ෂුව භික්‍ෂුවක් වී බෞද්ධයා බෞද්ධයකු වූ දිනක බුදු දහම ලෝකයේත් අප රට තුළත් ජීවමාන වනු ඇත. බබළනු ඇත.

“බුදු සසුන ලොව බැබළේවා”

දඩල්ලා වාලුකාරාම වෙහෙර වාසි
ශාස්ත්‍රපති, රත්ගම සුනීත හිමි

advertistmentadvertistment
advertistmentadvertistment