ලෝකයේ කොහේ ගියත් යාල වගේ තැනක් තවත් මට නෑ..

698

ප්‍රවීණ සම්මානලාභී වනජීවී ඡායාරූප ශිල්පී, විශේෂඥ වෛද්‍ය,
රියර් අද්මිරාල් (විශ්‍රාමික) ලලිත් ඒකනායක

මගේ පළමු රස්සාව Kandos එකේ Kanvita අලෙවි ප්‍රවර්ධන නියෝජිත

වනජීවී ඡායාරූපකරණය මුලින්ම මම පටන් ගත්තේ විනෝදාංශයක් හැටියට. ඒ ගැන විධිමත්ව මම කොහෙන්වත් හදාරා නෑ. නමුත් මම ඒ ඔස්සේ සෑහෙන දිගු ගමනක් අද වනවිට ඇවිල්ල තියනවා. ඒ වගේම වනජීවී ඡායාරූපකරණය ගැන අදටත් මම ඉගෙන ගන්නවා. මොකද මේ ක්ෂේත්‍රයේ හැමදාම, හැම මොහොතකම අපට ඉගෙන ගන්න දෙයක් තියනවා. ඡායාරූපකරණය සිදුකරන ගමන්, එහි නිර්මාණාත්මක දේවල් කරන ගමන් අදටත් මම ඒ ගැන මොහොතින් මොහොත ඉගෙන ගන්නවා. ඒ දැනුම තමයි ආධුනික වනජීවී ඡායාරූප ශිල්පීන්ට මම බෙදල දෙන්නෙ.

මුලින්ම මම කැමරාවක් ගත්තෙ ආසාවට. ඔය ට්‍රිප් යනකොට, වෛද්‍ය විද්‍යාලේ ඉන්න කාලේ යාළුවොත් එක්ක එහෙ මෙහෙ යනකොට පින්තූර ගත්තේ මම. පශ්චාත් වෛද්‍ය උපාධිය හදාරන්න ඔස්ටේ්‍රලියාවට ගියාට පස්සෙ තමයි ඇත්තටම මම හොඳ කැමරාවක් ගත්තෙ. මොකද ඒ කාලේ නිවාඩුවක් ලැබුණු ගමන් මම පවුලේ කට්ටිය එක්ක ඔස්ටේ්‍රලියාව පුරා ඇවිදින්න යනවා. එහෙම තමයි ඇත්තටම පරිසරයට, සතා සිව්පාවාට ආදරය කරන්න පටන් ගත්තෙ. කැමරාකරණයට ආසාවක් ඇතිවුණේ. පස්සේ තමයි වනජීවී ඡායාරූපකරණයට හිත ඇදිල ගියේ. නාවික හමුදාවේ විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට ලංකාවට ඇවිත් වැඩ භාරගෙන සේවය කරන කාලේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී ඩෙන්සිල් ප්‍රනාන්දු මට මුණ ගැහුණා. එයා තමයි ඉස්සරලාම මාව යාල වනෝද්‍යානයට එක්කගෙන ගියේ. එදත් අදත් ඔහු මගේ හොඳ යාළුවෙක්. ඊට පස්සේ නිතරම මම යාල වනෝද්‍යානයට යන්න එන්න පටන් ගත්තා. යාලට මගේ පුදුමාකාර ලෙන්ගතු කමක් ඇති වුණා. අදටත් මොන ලෝකේ ඡායාරූපකරණයට ගියත් මගේ ප්‍රියතම ස්ථානය යාල තමයි. ඇත්තටම යාල මගේ දෙවැනි නිවස වගේ තත්ත්වයට පත්වුණා. අදටත් එහෙමයි. මොන වැඩේ තිබුණත්, කොයි තරම් බිසී උනත් පරිසරය වෙනුවෙන් වෙන් කරන කාලය මම අතහරින්නෙ නෑ. ඊයේ පෙරේදාත් අප්‍රිකාවේ මසයිමාරා ගිහින් ආවෙ.

ලෝකයේ කොහේ ගියත් යාල වගේ තැනක් තවත් මට නෑ..
මගේ පළමු රස්සාව Kandos එකේ Kanvita අලෙවි ප්‍රවර්ධන නියෝජිත

Wildlife eye නම් අපගේ නවතම විශේෂාංගය තුළින් මේ කතාව කියන්නේ ප්‍රකට හා ප්‍රවීණ වනජීවී ඡායාරූප ශිල්පී, සම්මානලාභී ඡායාරූප ශිල්පී, විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා ය. ඔහු දැන් විශේෂඥ වෛද්‍යවරයකු ලෙස ආන්ත්‍රික, කායික හා කිමිදුම් යන අංශ 3 ක මෙරට සිටින සුවිශේෂී ගණයේ විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සිවිල් සමාජයට සේවය කරමින් හැකි සෑම අවස්ථාවකම වනජීවී ඡායාරූපකරණයේද යෙදෙමින් කටයුතු කළත්, ඔහු හිටපු නාවික හමුදා නිලධාරියකු ලෙස නාවික හමුදා වෛද්‍ය ක්ෂේත්‍රයේ පරතෙරට ගිය පුද්ගලයෙක් බවද කිව යුතුය. හේ නාවික උප ලුතිනන් තනතුරේ සිට රියර් අද්මිරාල් තනතුර දක්වා මෙන්ම, නාවික හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දක්වා කටයුතු කළේය. ඔහු දැන් නාවික හමුදා සේවයට සමුදී ඇත. නමුත් කිමිදුම් වෛද්‍යවරයකු ලෙස තාමත් ඔහු නාවික හමුදා රෝහලට තම සේවය ලබාදේ.

නොපසුබස්නා උත්සාහයකින් හා ඉලක්ක ජයගැනීමේ සහජ ගති ලක්ෂණයෙන් සමන්විත ලලිත් ඒකනායක, අවශ්‍ය අවස්ථාවන්හිදී අවශ්‍ය දෑ ඒ ආකාරයෙන්ම පූරණය කරගත් හා හිමිකරගත් පුද්ගලයෙකු යයි කීම වරදක් නොවේ. ඔහු බොහෝ ක්ෂේත්‍ර තුළ ඉහළින්ම සිටිම කැපී පෙනෙන්නේ එනිසාය.

ලෝකයේ කොහේ ගියත් යාල වගේ තැනක් තවත් මට නෑ..

ලලිත් මූලික හා ද්විතීක අධ්‍යාපනය ලබන්නේ කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයෙනි. උසස් පෙළ දක්වා ඔහු ඉගෙන ගන්නේ ජීව විද්‍යා අංශයෙනි. උසස් පෙළ විභාගයට පෙනීසිට එක මොහොතක්වත් ලලිත් නිකරුණේ නිවසේ ගත කරන්නේ නැත. විශ්වවිද්‍යාල වරම ගැන ඉහළින් විශ්වාසය තිබුණත් ඔහු ප්‍රතිපල නිකුත් වෙනතුරු රස්සාවක් කරන්නට ඕනෑ යයි තීරණය කරන්නේය. ඒ අනුව එකල උපාලි විජයවර්ධන මහතාගේ ප්‍රකට ව්‍යාපාරයක් වූ Kandos වෙළෙඳ ලාංඡනයෙන් සමන්විත සිලෝන් චොක්ලට් සමාගම මගින් ප්‍රචාරය කරන ලද දැන්වීමක් අනුව එම සමාගමේ නිෂ්පාදන බෙදාහැරීම සඳහා වන අලෙවි ප්‍රවර්ධන නියෝජිත Sales Representative තනතුරක් සඳහා ඉල්ලුම් කරන අතර, එම රස්සාවට ඔහු තෝරාගනු ලබන්නේය. මෙම තනතුරට බඳවාගැනීම සඳහා වූ අවසන් සම්මුඛ පරීක්ෂණයේ එක් දිනක ප්‍රකට ව්‍යාපාරික උපාලි විජයවර්ධන මහතා ද සහභාගී වී සිටීමේ මතකය අද ලලිත් සිහිපත් කරන්නේ තම ජීවිතයේ ලද භාග්‍යයක් ලෙසෙනි. ඉන්පසු ලලිත් එකල චොක්ලට් සමාගමේ සිටි අතලොස්සක් වූ අලෙවි නියෝජිතයින් පිරිස අතර කැපී පෙනෙන චරිතයක් බවට පත්වෙමින් අවිස්සාවේල්ලේ සිට රත්නපුර හරහා අම්පාර, මඩකලපුව දක්වාම රට හරහා Kanvita වෙළෙඳ නාමයෙන් යුත් චොකලට් පානය ප්‍රචලිත කිරීමේ කටයුත්තට උරදී කටයුතු කළේය. මෙම රස්සාවෙන් ලැබුණු වැටුපෙන් කොටසක් කුරුණෑගල වෙසෙන තම දෙමව්පියන්ට ද ඔහු මාසිකව දුන්නේය. තාත්තා සෞඛ්‍ය සේවා ලිපිකරුවකු වූ අතර ලලිත්ගේ අම්මා ප්‍රධාන හෙදි පාලිකාවක් ලෙස කුරුණෑගල රෝහලේ සේවය කළාය. නමුත් ලලිත් නිවසේ වියදමට මේ හම්බවෙන පඩියෙන් කීයක් හරි දුන්නේය. බොහෝ විට ඔහු නිවසට ආවේ මාසයක පමණ කාලයක් එක දිගට තම “සේල්ස් රෙප්” ජොබ් එක සිදුකිරීමෙන් අනතුරුව ය.

ඉන්පසු ලලිත් වෛද්‍යවරයකු ලෙස පත්වීම හා විශේෂඥ වෛද්‍යවරයකු බවට පත්වීම, නාවික හමුදා වෛද්‍යවරයකු ලෙස ආගමනය, අංශ කිහිපයක විශේෂඥයකු බවට පත්වීම හා ඒ අතර සම්මානලාභී වනජීවී ඡායාරූප ශිල්පියකු බවට පත්වීම හරිම අපූරු කතාවකි.

රස්සාවේ ඉන්න ගමන් තමයි උසස් පෙළ විභාග ප්‍රතිපල ආවෙ. ඉන්පස්සේ කොළඹ වෛද්‍ය විද්‍යාලයට ලියාපදිංචි වන ලිපියත් ලැබුණා. ඒත් මම තාම රස්සාවෙ. හිටියෙ රත්නපුරේ සේල්ස් කර කර. එතන ඉඳලම මම ඔෆීස් එකට කතා කරල විස්තරේ කිව්ව මම අයින් වෙනව කියල. උපාලි විජයවර්ධන මහත්තය කියල තිබුණ ඒ ළමයගේ දෙන්න තියන දීමනා අඩු නැතිව දෙන්න කියල. එහෙම තමයි Kandos පළවෙනි රස්සාවෙන් අයින් වෙලා වෛද්‍ය විද්‍යාලයට ගියේ. වෛද්‍ය ලලිත් දිග හුස්මක් ගෙන ඒ සොඳුරු අතීතය ආවර්ජනය කළේය.

ලෝකයේ කොහේ ගියත් යාල වගේ තැනක් තවත් මට නෑ..

1982 උතුරේ යුදමය වාතාවරණයක් ඇති වුණා. ඔන්න ඔය කාලේ ආණ්ඩුව අවස්ථාවක් දුන්නා වෛද්‍ය සිසුන්ට හමුදාවට බැඳෙන්න. මේ අවස්ථාව ප්‍රයෝජනයට අරන් තමයි මම නාවික හමුදා වෛද්‍ය සේවයට එක්වෙන්නෙ. මෙතැනදී කියන්න ඕන කාරණය තමයි, හමුදාවට යනවට ගෙදරින් කොහොමත් කැමති වුණේ නෑ. ඒ වගේම වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට පළමුවෙන්ම හමුදාවට බැඳෙන්න ලංකා ඉතිහාසයේ පළමු අවස්ථාව ලැබුණෙත් මට. මම මගේ ගමට සේවයක් කරන්න ඕන නිසා ඉතා කෙටි කාලයක් කුරුණෑගල මහ රෝහලේ සේවය කළා. කියන්න සතුටුයි. මගේ අම්මා ප්‍රධාන හෙදිය. මම වෛද්‍යවරයා. අපි දෙන්න එකම වාට්ටුවේ එකට වැඩ කළා. ඉතිං ජීවිතේ සතුටු නැද්ද…? ලලිත් ඒකනායක නම් ඒ සොඳුරු මිනිසා අපෙන් ප්‍රශ්න කරයි. සැබැවින්ම බාහිර පෙනුමට සරිලන ප්‍රසන්න බවකින් යුත් මේ මිනිසා ජීවිතයේ සතුට උපරිමයෙන් භුක්ති විඳින්නකු යයි අපට සිතේ. ඔහුගේ දියණියෝ දෙදෙනාම වෛද්‍යවරියෝ ය. එතෙර සේවය කරති. බිරිඳ රසාංජලී වෛද්‍ය ලලිත්ගේ කටයුතු සඳහා උපරිම සහාය ලබාදෙන්නීය.

විශේෂඥ පශ්චාත් වෛද්‍ය උපාධිය හදාරන්න මම ඉන්පසු ඔස්ටේ්‍රලියාවට ගියා. ඒ ආන්ත්‍රික හා කායික වෛද්‍ය විද්‍යාව සඳහා. එහෙදීම තමයි මට කිමිදුම් වෛද්‍ය විද්‍යාව හදාරන්න ලැබුණේ. විදේශිකයකු හැටියට මම තමයි මේ පාඨමාලාව කරපු පළමු පුද්ගලයා. මොකද මේ පාඨමාලාව තිබුණේ දේශීය වෛද්‍යවරුන්ට විතරයි. මම නාවික වෛද්‍යවරයකු වීමත්, එකල ඔස්ටේ්‍රලියාවේ ඇඩිලේඩ් රාජකීය රෝහලේ මම තරමක් ජනප්‍රිය පුද්ගලයෙක් නිසාත්, මම කරපු ඇපීල් එකකට තමයි ඒ අවස්ථාව මට දුන්නෙ. ඒකේ ප්‍රතිපලය තමයි, අද ලංකාවෙ ඉන්න කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳ එකම පශ්චාත් උපාධියක් සහිත විශේෂඥ වෛද්‍යවරයා මම වීම. ඒ අවස්ථාව රටට තමයි හිමි වුණේ. වටිනා අහඹු අවස්ථාවක්.

ඉන්පසු වෛද්‍ය ලලිත්ගෙන් විමසුවේ වනජීවී ඡායාරූප කලාවේ කැපකිරීම් හා දක්ෂතා ගැනය.

ලෝකයේ කොහේ ගියත් යාල වගේ තැනක් තවත් මට නෑ..

ඔව්, ඔස්ටේ්‍රලියාවෙන් පටන්ගත්ත ස්වභාවික පරිසරයේ දර්ශන ඡායාරූපකරණය ඉන්පසු ලංකාවෙන් තමයි මට පෝෂණය කරගන්න ලැබුණේ. ඇත්තටම යාල ජාතික වනෝද්‍යානය ඇසුරෙන් කිව්වොත් නිවැරදියි. අදත් ලෝකයේ කොහේ ගියත් මේ උද්‍යානයට මම ආදරේ ඒකයි. ඇත්තටම යාල තරම් මට තවත් තැනක් නැහැ. පැය ගණන්, දින ගණන් මම යාලට වෙලා වන සත්තු වෙනුවෙන් කාලය ගතකරලා තියනවා. එදත් එහෙමයි, අදත් එහෙමයි. අපි වනජීවී ඡායාරූපකරණය ගැන තව කතා කරමු. ලංකා රෝහලේ විශේෂඥ වෛද්‍ය සේවයේ රෝගීන්ගේ පෝලිම තුරල් වන අතර තුර කාමරයට අප කැඳවාගත් වෛද්‍ය ලලිත් තවත් පරිච්ඡේදයක් පෙරළන්නට සූදානම් වේ.

යාලෙන් පසු ලලිත්, යළිත් ජාත්‍යන්තරයට යයි… ලබන සතියේ

ජගත් කණහැරආරච්චි
ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment