ඇවිත් තියෙන්නේ ඩුබායි ඉඳන් ගේමක් දීලා ආපහු යන්න

සැකකරු වෙනුවෙන්නාටකයකුත් නටලා

එස්.ටී.එෆ්. එකට කලින්ම ඉව වැටිලා

පසුගිය කාලසීමාවේ දඟ දැමූ පාතාලය ක්‍රමක්‍රමයෙන් අඩපණ කිරීමට මෙරට ආරක්‍ෂක අංශවලට හැකි වී තිබේ. ඒ සඳහා විශේෂ කාර්ය බළකායෙන් ද ලැබෙනුයේ නොමද සහයකි. පාතාලයේ සමහරු එම බළකායේ නමටත් සලිත වෙති. ඒ තරමටම එම බළකායේ නිලධාරීහු පාතාලය මර්දනය කිරීම සඳහා දිවා රෑ නොබලා වෙහෙසෙති.

ඒ අනුව විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් තවත් පාතාල ප්‍රබල වෙඩික්කරුවකු අත්අඩංගුවට ගත්හ. පසුගිය 01 වැනිදා කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ තුළදී සිදුකළ වැටලීමකදීය. එම සැකකරු සංවිධානාත්මක අපරාධ මනුෂ්‍ය ඝාතන සිදු කිරීම හා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව අවශ්‍යව සිටි අයෙකි. එම කතාව සැකවින් මෙසේය.

රොෂාන් චතුර්ක නිට්ටඹුව පස්යාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. පාසල් සමයේ සිට ඔහු නාහෙට නාහන චරිතයක් ලෙස ප්‍රසිද්ධියට පත්විය. එම නිසා හරිහමන් අධ්‍යාපනයක් පවා ලබාගැනීමට ඔහුට නොහැකි විය. පාසල් ජීවිතයට සමුදුන් ඔහු හිතමිතුරන් සමග කල්ලි ගැසීමට පුරුදු විය. කලක් එලෙස ගතවිය. ආර්ථික අපහසුතා දැනෙන්නට පටන් ගත් පසු ජීවත්වීම සඳහා කුමක් හෝ කළයුතු යැයි ඔහු කල්පනා කළේය. එහෙත් හරිහමන් අධ්‍යාපනයක් නොලද හෙයින් ස්ථිර රැකියාවක් සොයා ගැනීමට නොහැකි විය.

නරක මිතුරන් ඇසුරු කිරීම නිසා ඔහුට පාතාල උණක් ද සෑදී තිබුණි. එකල සිටි පාතාල නායකයන් සිදුකළ අපරාධ පිළිබඳ උජාරුවෙන් කතා කළේ ද එම නිසාම ය. ඒ කාලය අතරතුර පාතාලයේ සාමාජිකයන් කිහිප දෙනෙක් ද දැන හඳුනාගෙන ඇසුරු කිරීමට ඔහුට හැකි විය. එම ඇසුර නිසා ඔහු තව තවත් පාතාලයට ඇලුම් කළේය.

ගණේමුල්ල සංජීවගේ වෙඩික්කරු STF මෙහෙයුමකින් දැලේ
සැකකරු පැමිණි විදේශ ගමන් බලපත්‍රය

පාතාල උණ හොඳටම වැළඳී සිටි රොෂාන් චතුර්ක දින කිහිපයක සිට මෙලෙස කල්පනා කළේය. පාතාලයේ පොරක් වුණා නම් මේ විදිහට දුක් විඳින්න ඕන නැහැ. හොඳ ජීවිතයක් ගත කරන්න තිබුණා. බලන්න දැන් ඉන්න පාතාල නායකයෝ සුපිරි ජීවිත ගතකරන්නේ. හැබැයි මොළෙන් ගේම ගහලා ජීවත් වෙන්න ඕන. අනික පාතාලයේ සුපිරි වැඩකාරයෙක් වෙන්න නම් හොඳ ගේම් දෙක තුනක් ගහලා පොරක් වෙන්න ඕන. එහෙම ගේම් ගහන්න අවි ආයුධ පිළිබඳ හොඳ දැනුමක් තියෙන්නත් ඕන. එළියේ ඉඳන් අවි ආයුධ පිළිබඳව දැනුමක් ගන්න බැහැ. ඒක නිසා හොඳම දේ තමයි ආර්මි එකට යන එක. එතකොට හොඳ පුහුණුවකුත් ගන්න පුළුවන්.

එලෙස කල්පනා කළ රොෂාන් අවසානයේ ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳීමට තීරණය කළේය. ඒ අනුව 2008 වර්ෂයේ දී සෙබළ අංක 481784 යටතේ ඔහු යුද හමුදාවට එක්විය. සාර්ථකව පුහුණු පාඨමාලාව හැදෑරූ ඔහු වසර කිහිපයක් යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළේය. ඒ කාලය අතරතුර ඔහු පාතාලය සමග තිබූ සම්බන්ධතා තව තවත් වැඩිකර ගත්තේය. ගම්පහ පාතාලයේ ප්‍රබලයෙක් දැනට පොලිස් අත්අඩංගුවේ සිටින “ගණේමුල්ල සංජීව” සමග සමීප සම්බන්ධතාවයක් ඔහු පවත්වාගෙන ගියේය. කොටින්ම කියතොත් “ගණේමුල්ල සංජීව” නමැති පාතාල අපරාධකරු ඔහුගේ ජීවිතයේ වීරයෙක් විය.

ඒ වර්ෂ 2018 පෙබරවාරි මස එක්තරා දිනකි. නිවාඩුවට පැමිණ සිටි රොෂාන් “ගණේමුල්ල සංජීව” සහ තවත් කිහිප දෙනෙක් සමග ඉතා රහසිගත සාකච්ඡාවක් සිදු කළහ. ඒ මේ අයුරින්ය.

“රොෂාන් කරන්න ලොකු දෙයක් තියෙනවා.”

“ඒ මොකක්ද සංජීව අයියේ”

“නෙවිල්ට ගහලා දාන්න ඕනෑ”

“ඇයි අයියේ ඒ”

“මිනිහා ඉන්නේ ඔස්මන්ගේ පැත්තේ”

“එහෙමද? මොකක්ද මගෙන් වෙන්න ඕනෑ”

“මට ෂුවර් කෙනෙක් ඕනෑ හොඳ”

“අයියා බයවෙන්න එපා මම ඉන්නවනේ”

“උඹ මේ මට කරන්නේ ලොකු උදව්වක්. කවදාවත් මම මේක අමතක කරන්නේ නැහැ.”

“හරි අයියේ ඒක මොකක්ද?”

“උඹ දිගටම මාත් එක්ක හිටපන්. මම උඹට හොඳට සලකන්නම්. මේ ෆීල්ඩ් එකේ හොඳ නමක් හදලා දෙන්නම්.”

කතාව එලෙස අවසන් විය. ඔවුන්ගේ සැලසුම වූයේ නෙවිල් පෙරේරා නමැති පුද්ගලයාව ඝාතනය කිරීමයි. නෙවිල් යනු සීදුව පාර, කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. කලක් ඔහු පාතාලයට සම්බන්ධ වී සිටියේය. විවාහ වී දරු සුරතල් බැලූ පසු ඔහු පාතාලය සමග තිබූ සම්බන්ධතා සියල්ල නවතා දැමුවේය. ඉන්පසු ඔහු එම ප්‍රදේශයේ සමාජ සේවකයකු ලෙස ප්‍රකට විය.

ගණේමුල්ල සංජීවගේ වෙඩික්කරු STF මෙහෙයුමකින් දැලේ
අත්අඩංගුවට පත් රොෂාන්

ගණේමුල්ල සංජීව ඇතුළු පිරිසට නෙවිල් ඝාතනය කිරීමට අවශ්‍ය වූයේ ගම්පහ ඔස්මන් ඔහුගේ මිතුරකුව සිටි නිසාය. ඒ අනුව කතාකරගත් පරිදි 2008 වර්ෂයේ පෙබරවාරි 06 වැනිදා රොෂාන් චතුර්ක ඇතුළු පිරිසක් ටී පනස් හය ගිනි අවියක් අතැතිව නෙවිල් පෙරේරාගේ නිවසට ගොස් ඔහුව වෙඩි තබා ඝාතනය කළේය. එම ඝාතනයේ ප්‍රධාන සැකකරු වූයේ නෙවිල්ට වෙඩි තැබූ රොෂාන් චතුර්කයි.

නෙවිල්ට වෙඩි තබා ඝාතනය කළ පසු රොෂාන් යළි යුද හමුදා සේවයට වාර්තා කළේ නැත. එතැන් සිට ඔහු පාතාලයේ නිත්‍ය සාමාජිකයෙක් විය. එතැන් සිට ඔහු අපරාධ රැසක් සිදු කළේය.

ඒ අතරින් කෑගල්ල ප්‍රදේශයේදී 30,000ක් වටිනා රන් මාලයක් කොල්ලකෑම, කඩවත දී යතුරුපැදියක් සොරකම් කිරීම, අවස්ථා කිහිපයකදී හෙරොයින් ළඟ තබාගැනීම ආදිය ඉන් කිහිපයකි. මෙම අපරාධ සම්බන්ධයෙන් ඔහුට අධිකරණ කිහිපයක නඩු විභාග වෙමින් තිබිණි.

කලක් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි මොහු ඇප ලබා පැමිණි පසු හොර රහසේම ඩුබායි රාජ්‍ය වෙත පැන ගත්තේය. එහි සිට මොහු “ගණේමුල්ල සංජීවගේ” මත්ද්‍රව්‍ය ජාවාරමට සහ අපරාධවලට ඍජුවම සම්බන්ධ විය.

ගලපිටමඩ පොලිස් වසමේ දුනුමාල ප්‍රදේශයේ දී සරත් වේරගොඩ නොහොත් දුනුමාල සරත් යන පුද්ගලයා ඝාතනය කිරීම සඳහා සියලුම සැලසුම් සකස් කළේ මොහු ඩුබායි රාජ්‍යයේ සිටය. ඒ අනුව ටී පනස්හය ගිනි අවියකින් දුනුමාල සරත් වෙඩිතබා ඝාතනය කළේය. ඒ ජූලි මස 14 වැනිදාය.

සරත් දුනුමාල ඝාතනය සාර්ථකව සිදු කළ නිසා මොහුට තවත් කොන්ත්‍රාත්තුවක් ලැබුණි. ඒ අත්තනගල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම සඳහාය. එම කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ දැනට අබුඩාබි රාජ්‍යයේ සැඟවී සිටින අපරාධකරුවන් දෙදෙනෙක් වන “පැට්ටා මංජු” සහ ‘අලේ’ යන අය විසින්ය.

“මේක කාටවත් දෙන්න ඕන නැහැ. හොඳ ගාණක් හම්බ වෙනවනේ. මම ම ගිහින් කරලා එනවා” රොෂාන් එලෙස තීරණය කළේය. ඒ අනුව ඔහු ඩුබායි සිට මෙරට පැමිණ එම ඝාතනය සිදුකර යළි පලා යෑමට සියලු සැලසුම් සකස් කළේය. එහෙත් මේ ඝාතන සැලසුම පිළිබඳ සියලු තොරතුරු විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබී තිබිණි. ඒ අනුව ඔවුන් සීරුවෙන් බලා සිටියේ මෙම අපරාධකරු යළි මෙරටට පැමිණෙන තුරුය.

දිනය පසුගිය 01 වැනිදා ය. රොෂාන් චතුර්ක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට අංක N10276802 දරන ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය භාවිත කරමින් එයාර් අරාබියා ගුවන් සේවයට අයත් අංක G9 502 දරන ගුවන් යානයට ගොඩවූයේ මෙරටට පැමිණ ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ අරමුණින්ය. අලුයම 4.25 ට පමණ එම ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපළට ළඟාවිය. ඒ වනවිටත් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මෙම අපරාධකරු පිළිබඳ සියලු විස්තර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපළ එකකයට ලබාදී තිබිණි. ඒ අනුව එම නිලධාරීහු මෙම අපරාධකරුව අත්අඩංගුවට ගෙන විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති නදීක සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසට ගුවන්තොටුපළේ දීම භාර දුන්නේය. ඒ අනුව විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ දක්‍ෂතාව අනුව තවත් අපරාධකරුවකු එලෙස නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකි විය.

පොලිස් විශේෂ කාර්ය බළකාය එලෙස පාතාලය අතුගා දැමීමට සැරසෙද්දී පාතාලය විසින් මේ දිනවල පොලිස් විශේෂ කාර්ය බළකායට මඩගැසීමේ උත්සාහයක නිරතවේ. එයට ප්‍රධානම උදාහරණය ලෙස දැක්විය හැක්කේ දැනට සති කිහිපයකට ඉහත දී ඝාතනය කළ පොලිස් පරීක්‍ෂක බාලේන්ද්‍රසිංහගේ ඝාතනයේ මහ මොළකරු වන සංජීව විශේෂ කාර්ය බළකාය සමග ඇතිකරගත් වෙඩි හුවමාරුවකින් මිය යෑමේ සිද්ධියයි. එහිදී මියගිය සංජීවගේ බිරිඳ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පැවසුවේ මියගිය තම ස්වාමි පුරුෂයා වරදක් නොකළ අහිංසක පුද්ගලයකු බවත් ඔහුව නිරපරාදේ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මරා දැමූ බවත්ය.

පසුව ඒ පිළිබඳ සොයා බැලීමේදී හෙළිවූයේ ‘කරන්දෙණියේ සුද්දා නමැති” පාතාල අපරාධකරු ලක්‍ෂ ගණන් මුදල් වියදම් කර එලෙස මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා විශේෂ කාර්ය බළකාය පිළිබඳව ජනතාව තුළ වැරදි චිත්‍රයක් මැවීමට උත්සහ කර ඇති බවයි. එලෙසම මියගිය සංජීවගේ නම පොලිස් පොත්වල ලියවී තිබුණේ අංක එකේ අපරාධකරුවකු ලෙසින්ය. ඒ සඳහා උසාවිවල නඩු ද විභාග වෙමින් තිබිණි.

රොෂාන් චතුර්ක අත්අඩංගුවට ගත් පසු යළිත් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවේය. එහිදී ප්‍රකාශ කර සිටියේ රොෂාන් නමැති පුද්ගලයාව ඝාතනය කිරීමට විශේෂ කාර්ය බළකාය සූදානම් වන බවයි. එහිදී එම සැකකරු කළ කිසිදු අපරාධයක් ගැන සඳහන් නොකළ අතර එක හෙලාම දෝෂාරෝපණ එල්ල කළේ පාතාලය මැඬීමට සිටින පොලිස් විශේෂ කාර්ය බළකායටයි. දැනගන්නට ලැබෙන තොරතුරුවලට අනුව එම නාටකය පසුපස සිටින්නේ ද පාතාලයයි. ඔවුන් උත්සහ කරනුයේ තම මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධවලට එරෙහිව නැඟී සිටින පොලිස් විශේෂ කාර්ය බළකාය පිළිබඳව වැරදි චිත්‍රයක් ජනතාව අතර මැවීමටයි. එහෙත් පාතාලයට එය කිසි දිනක සිදු කළ නොහැකිය. ඒ මන්ද යත් පාතාලය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය අතර වෙනස ජනතාව හොඳ හැටි දන්නා නිසාවෙනි.

පොලිස් විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග සහ උපදෙස් පරිදි අධ්‍යක්‍ෂ බුද්ධි පොලිස් අධිකාරි එම්. එච්. කේ. විජේසිංහ මහතාගේ මඟපෙන්වීමත් සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක සහ සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර මහතාගේ අධීක්‍ෂණය මත විශේෂ කාර්ය බළකාය බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම මෙහෙයුම සිදු කළහ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment