බද්දට – ජීවන බරට 15 වැනිදා දුම්රිය වර්ජනයක්

99

වෘත්තීය සමිති හතළිහක් එක්ව පැවැත්වීමට නියමිත ඒකාබද්ධ අඛණ්ඩ වැඩ වර්ජනයට සමගාමීව දුම්රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධාන ලබන 14 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 සිට 15 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 දක්වා පැය විසිහතරක එක් දින වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කර ඇත.

මෙම දුම්රිය වර්ජනය නිසා අනිවාර්යයෙන්ම දුම්රිය ගමනාගමන කටයුතු අඩපණ වන බව ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්. පී. විතානගේ මහතා ‘දිවයින’ට පැවසීය.

දුම්රිය නියාමක, දුම්රිය රියැදුරු, රිය සහායකවරු, දුම්රිය පාලකවරුන්, තාක්‍ෂණ ශිල්පීන්, පොදු වෘත්තීය කටයුතුවල නිරත නිලධාරීන්, කළමනාකරණ සේවා ඇතුළු අංශ ගණනාවක්ම මෙම එක්දින සංකේත වර්ජනයට එක්ව සිටින බව හෙතෙම කීය.

පුද්ගල ආදායම් බද්ද සංශෝධනය කිරීම, විදුලිබිල, ජීවන වියදම පහත හෙළීම හා මර්දනයට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවත් පාලකයන් ඊට විසඳුම් නොදෙන්නේ නම් වරාය, විදුලිය, තෙල්, ජලය ඇතුළු අනෙකුත් වෘත්තීය සමිති සමග එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිත ඒකාබද්ධ අඛණ්ඩ වැඩවර්ජනයට යොමුවන බවත් විතානගේ මහතා පැවසීය.

පුද්ගල බද්ද වහා අඩු කරන ලෙස ඉල්ලමින් ඊයේ (09 වැනිදා) සිට විශ්වවිiාල ආචාර්යවරුන් අඛණ්ඩ වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කළ බවත් ලබන 15 වැනිදා වනවිට අනෙකුත් වෘත්තීය සමිති ද අඛණ්ඩ වර්ජනය ආරම්භ කරනු ඇති බවත් විශ්වවිiාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය බී. එම්. එච්. එස්. කේ. බන්නැහැක මහතා මේ අතර කියා සිටියේය.

මේ අතර බදු පනත අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන රටපුරා වැඩ වර්ජනයක් ආරම්භ කිරීම සම්බන්ධව තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද (10 වැනිදා) කොළඹදී පැවැත්වේ.

වෘත්තිකයන්ගේ පෙරමුණ මෙම සාකච්ඡාව කැඳවා තිබෙන අතර විදුලිය, තෙල්, බැංකු, වරාය, දුම්රිය, ජල ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයන්ට මීට ආරාධනා කර ඇත.

පොදු එකඟතාවකට පැමිණීමට සිදුව තිබෙන නිසා මහා වැඩවර්ජනය දින කිහිපයක් ප්‍රමාද වුවත් දැනටමත් යම් යම් ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවද වෘත්තීය සමිති කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment