විශ්‍රාමික නගර සභා ලිපිකරුගේ හොර කච්චේරිය වටලයි

101

ලියවිලි අනුමත කරන්න රු15,000 සිට 20,000 දක්වා අරන්

සැකකරු සමග හොර නිල මුද්‍රා 31ක් අත්අඩංගුවට

විශ්‍රාමික නගර සභා ලිපිකරුවෙක් විසින් පවත්වාගෙන ගිය හොර කච්චේරියක් වටලා ව්‍යාජ නිල මුද්‍රා 31 ක් සොයාගත් බව පානදුර උතුර පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර පරත්ත පාරේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයකු බවත්, සැකකරු පානදුර නගර සභාවේ සහ මොරටුව මහ නගර සභාවේ ලිපිකරුවෙක් ලෙස සේවය කර 2014 වර්ෂයේ විශ්‍රාම ගොස් ඇති බවද පොලිසිය කීය.

බස්නාහිර බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාගේ මෙහෙයවීමෙන් දින 10 ක් පමණ ආවේක්ෂණ රාජකාරි කිරීමෙන් පසු වැටලීම කර තිබේ.

පානදුර, මොරටුව සහ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරීන්, ප්‍රාදේශීය සභා ලේකම්වරුන්, ඉඩම් රෙජිස්ට්‍රාර් වරුන්, ආදායම් පරීක්ෂකවරුන්, විදුහල් පතිවරුන්, වෛද්‍යවරුන්, ග්‍රාම නිලධාරීන්, ඉංජිනේරුවන්ගේ ඇතුළු නිල මුද්‍රා 31 ක් භාරයට ගෙන ඇති බව පොලිසිය කීය.

සැකකරු ඇස්තමේන්තු වැනි වටිනා ලියවිල්ලක් නිලමුද්‍රව සහිතව අනුමත කරදීම සඳහා රුපියල් 15,000 සිට 20, 000 ක් දක්වා මුදල් අයකර ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය කීය.

සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (බප) දේශබන්දු තෙන්නකෝන්, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හිරන්ත තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් , කොස්තාපල්වරුන් වන කුලතිලක (35594), නිමල් (51586), රාජපක්ෂ (92432), බණඩාර (28765), අධිකාරී (59102) සහ ලියනගේ (31279) යන නිලධාරීන් වැටලීම සිදුකර ඇත.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක බණ්ඩාරගම සහ පානදුර දීපිකා කාරියවසම්

advertistmentadvertistment
advertistmentadvertistment