කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙක් මියයයි

56

කළුතර බන්ධනාගාරයේ දින පහක් ඇතුළත තුන්වැනි රැඳවියා පෙරේදා (28දා) පස්වරුවේ මියගොස් ඇත.

ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ බව කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්වී ඇත්තේ පානදුර මෝදරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව්. ඒ. පණ්ඩුල නමැති 62 හැවිරිදි පුද්ගලයකි. මොහු පසුගිය 15 වැනිදා හෙරොයින් මත්කුඩු නඩුවක් සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාරයේ රඳවා සිට ඇත. සැකකරු පෙරේදා පස්වරුවේ හදිසියේ අසනීපව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

කළුතර මල්වත්ත බන්ධනාගාරය විසින් කරන ලද පැමිණිල්ලක් මත කළුතර උතුර පොලිසිය විසින් ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ සහ සහකාර පොලිස් අධිකාරි සුනෙත් ශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

ගල්පාත – චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment