ලොතරැයි ක්‍රමයක් හරහා රට සල්ලි මෙරටට අද්දවා ගත හැකියි

233

රටට විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රවර්ධනය කරගැනීම සඳහා ත්‍යාග පිරිනමන ලොතරැයි ක්‍රමයක් හරහා දිරිගැන්වීමේ ක්‍රමයක් මහ බැංකුව විසින් හඳුන්වා දිය යුතු යැයි මහජන බැංකුවේ විශ්‍රාමික නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු වන වසන්ත ද සිල්වා මහතා යෝජනා කරයි. පහතින් සටහන් වන්නේ විදේශ මුදල් ප්‍රේෂණ වර්ධනය කර ගැනීමට කරන එම යෝජනාව ගැන ‘දිවයින’ ඇසූ ප්‍රශ්නවලට ඔහු පිළිතුරු ලබාදුන් අයුරුයි.

ලොතරැයි ක්‍රමයක් හරහා රට සල්ලි මෙරටට අද්දවා ගත හැකියි
මහජන බැංකුවේ විශ්‍රාමික නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – වසන්ත ද සිල්වා

ප්‍රශ්නය – ලංකාව බරපතළ විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක විදේශ විනිමය ප්‍රේෂණවල වැදගත්කම ඔබ හඳුනා ගන්නේ කෙසේද?

පිළිතුර – ලංකාවේ ආර්ථිකය පාලනය කරන විදේශ වෙළෙඳාමේ ප්‍රධාන දර්ශකයක් තමයි විදේශ සේවකයන් එවන ප්‍රේෂණ සහ අපනයනකරුවන්ගෙන් ලැබෙන මුදල්. මේ දෙකේ අඩුවක් පවතිනවා කියන එක දැන් කවුරුත් දන්නා දෙයක්. මොකද පිටරටවල වැඩ කරන අයගේ සල්ලි මාසෙකට ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක් 400ක් විතර අඩුවෙන් ආවේ පසුගිය කාලෙ. පොඩි ගාණක් නෙමෙයි මසකට මිලියන 300ක් කියන්නෙ විශාල ගණනක්. ඒ වගේම නොයෙක් වැරදි ක්‍රම නිසා මේ හා සමාන මුදල් ප්‍රමාණයක් ලංකාවෙන් පිටරට යවන භාණ්ඩ සඳහා ශ්‍රී ලංකාවට ලැබිය යුතු මුදල් ලැබීමත් අඩුවෙලා තියෙනවා. ඒවායේ විශාල අඩුවීමක් තියෙනවා මේ දෙකේම.

ප්‍රශ්නය – මේ අංශ දෙකේම ලැබීම්වල අඩුවීමක් තියෙනවා?

පිළිතුර – ඔව්, විදේශ විනිමය ප්‍රේෂණ අඩුවෙලා තියෙනවා. ඒ වගේම ලංකාවෙන් පිටරටට භාණ්ඩ යැව්වම සම්පූර්ණ මුදල ලංකාවට එනවද කියන එකත් අප තාම දන්නෙ නෑ. ඒකෙත් අඩුවීමක් තියන බව වාර්තාවලින් පෙන්නුම් කරනවා. අපනයනයෙන් ලැබිය යුතු ආදායම සම්පූර්ණයෙන් අපට ලැබෙන්නෙ නෑ. මේක අද ආර්ථිකයේ තියන දුර්වලවීමට ප්‍රධාන හේතුවයි. දැන් අප කතා කරනව මාස ගණනක් තිස්සේ අයිඑම්එෆ් එක ගැන. අයිඑම්එෆ් එකෙන් අපට ලැබෙන මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 2.9 යි. ඒ කියන්නෙ මසකට විදේශ සේවා නියුක්තිකයන්ගෙන් නොලැබෙන අඩුව ඩොලර් මිලියන 300ක් විතර කියල අපි හිතුවත් මේ සේවකයන්ගෙ සල්ලි ටික (මැදපෙරදිග සහ වෙනත් රටවල වැඩ කරන) සමස්තයක් ලෙස හැම මාසෙම අපට ගෙන්වා ගන්න පුළුවන් වුණා නම් මේ අයිඑම්එෆ් එකේ ප්‍රශ්නය අපට එන්නෙ නෑ. ඩොලර් බිලියන 2.9 කියන එක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ, මොකද ප්‍රේෂණවලින් විතරක් අවම වශයෙන් ඩොලර් බිලියන 3.6ක් එනවා. මාසෙකට ඩොලර් මිලියන 300ක් අඩු වෙනව කියන්නෙ වර්ෂයකට ඩොලර් බිලියන 3.6ක්.

මේ ප්‍රේෂණ ප්‍රමාණය තවත් වැඩිකර ගැනීම සඳහා ක්‍රම අපි යෝජනා කරන්න ඕන. යෝජනා විතරක් නෙවෙයි ඒක අපි කරන්න ඕන.

ප්‍රශ්නය – පසුගිය කාලයේ කොරෝනා වසංගතය නිසා සේවකයන් මෙරටට පැමිණීමත් ප්‍රේෂණ ලැබීම අඩුවීමට හේතු වුණා නේද?

පිළිතුර – ප්‍රතිශතයක් ලෙස බලන විට කොරෝනා කාලෙ සේවකයන් ලංකාවට ආවේ අඩුවෙන්. දෙතුන් දහසක් ආවම අපට කියන්න බෑනෙ සමස්ත වැඩ කරන ජනතාවම මෙහෙට ආව කියල. අපි හිතමු සියයට 10ක් ආව කියල. ඒත් වෙනම ප්‍රේෂණ මිලියන 600ක් ලැබුණ එක ඩොලර් මිලියන 540ක් ලැබෙන්න ඕනනෙ.

ප්‍රශ්නය – ලංකාවෙන් විදෙස්ගත වූ ශ්‍රමිකයන් ද කොරෝනා කාලයේ අඩුවුණා නේද?

පිළිතුර – ඒක ප්‍රතිශතයක් ලෙස අඩුයි කියන එකයි මම කියන්නේ. මම පරණ බැංකුකරුවෙක්. ලංකාවේ ඉන්න අය ඔස්‌ට්‍රේලියාව ඇතුළු නොයෙක් රටවලට පදිංචියට ගිහින් තියෙනවා. තමන්ගෙ ගෙයක් විකුණූ විට මිලියන 60, 70ක් අවශ්‍ය වෙනව ඒ ගෙයි සල්ලි ටික තමන්ගෙ දරුවන් ඉන්න රටවල්වලට ගිහින් පදිංචි වෙන්න. මේ මුදල් ප්‍රමාණය පැය 24ක් ඇතුළත දැන් යවන්න ක්‍රම තියෙනවා. ඒ ක්‍රමය මොකක්ද මේ මැදපෙරදිග සහ කොරියාවෙ, ජපානෙ වැඩ කරන මිනිස්සුන්ගෙ සල්ලි ටික ඒ අය එකතු කරන ක්‍රම තියනවා. එකතු කරල ඒ ගාන පැය ගණනක් ඇතුළත යවන්න පුළුවන්. යවන්නෙ ලංකාවට ඇවිල්ලවත් නැත්නම් ලංකාවෙ තියන සල්ලි ටික බෑග් එකකින් දාගෙන ඔස්‌ට්‍රේලියාවට ගෙනිහින්වත් නෙමෙයි.

ඒ අය සල්ලි එකතු කරනවා ලංකාවෙ විනිමය අනුපාතයට වඩා පොඩි ගාණක් වැඩියෙන් දීල. ඒ විදිහට දැන් මේ විදේශ විනිමය වෙළෙඳාම විශාල කළු කඩයක් බවට පත්වෙලා තියෙනවා. මේක නවත්වන්න රජය මොකක් හරි ක්‍රමයක් කරන්න ඕන. ඒ කාලෙ බොහොම සුළු වශයෙන් අද විශාල වශයෙන් මේ දේ කෙරෙනවා.

විදේශ විනිමය ලංකාවට එන්නෙ නැතුව නොයෙක් තැන්වල රඳවාගෙන තබාගැනීමේ ක්‍රමවේද මිනිස්සු දැන් පටන් අරන් තියෙනවා. අපි හිතමු ජපානෙ කියල එතකොට යෙන්වලින් ඒ ටික තියාගෙන ඉන්නවා. ඒ සල්ලිවලට ලංකාවෙදි රුපියල්වලින් දෙන්නම් කියල.

ප්‍රශ්නය – ඔබ කියන්නේ හවාලා, උන්ඩියල් වෙළෙඳාම?

පිළිතුර – ඔව් හවාලා, උන්ඩියල් තමයි මිනිස්සු බැංකු ක්‍රමය තෝරා ගන්නේ නැතුව ඒ මුදල් රුපියල් වලින් ලබාගැනීම සඳහා යොමු වීම නිසා තමයි හවාලා, උන්ඩියල් ක්‍රම ප්‍රචලිත වෙලා තියෙන්නේ. මොකද බැංකුවලින් ගෙවනවට වඩා කීයක් හරි වැඩියෙන් ගෙවන නිසා.

ප්‍රශ්නය – මේ තත්ත්වය වළක්වන්න කුමක්ද කළ හැක්කේ?

පිළිතුර – ඒක වළක්වන්න ක්‍රමයක් තමයි අපි යෝජනා කරන්නේ. අපි හිතමු ශ්‍රී ලංකා රු. 25000ක් වටිනා විනිමය ලංකාවට එවන කෙනකුට අපි දෙනවා ලොතරැයියක්. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් 80කට කිට්ටු ගාණක් එව්වම අපි එයාට ලොතරැයියක් දෙනවා. හැම කෙනෙක්ම රු. 25,000ක් එව්වම ඒ ලොතරැයියක් දෙනවා. දීල ඒකට මාස හයකට පාරක් මේ සඳහා තෑගි ඇදීමේ ක්‍රමයක් ඇති කරන්න ඕන. හැබැයි මේ ත්‍යාගය විශාල ගණනක් වෙන්න ඕන. අඩුම ගාණෙ රු. මිලියන 50ක්වත් වෙන්න ඕන අඩුම තෑග්ග. දෙවෙනි තෑග්ග මිලියන 25යි. සැනසිලි තෑගි රු. මිලියනය බැගින් 50ක් වගේ දෙනව නම් එතකොට මිනිස්සු පෙළඹෙනව ඒකට යොමුවෙන්න. හේතුව එම අවස්ථාවේ රු. 5ක් ගන්නවද මම මිලියන 50ක තෑග්ගකට සුදුසුකම ලබනවද කියල හිතනව. දැන් ඇමරිකාවේ මිලියන ඩොලර් ස්වීස් එක ගන්න ඇමෙරිකානුවන් පෝලිමේ ඉන්නවා. සල්ලි නැතුව නෙවෙයිනේ. ලංකාවෙ අයටත් කිව්වොත් නීත්‍යානුකූල මාර්ගයෙන් මුදල් එවන අයට මෙහෙම ලොතරැයි ක්‍රමයක් තියෙනවා කියල ඒ අය ඒකට පෙළඹෙනවා. මේ හරහා මුදල් වැඩිපුර එනවයි කියන එකට මට බොහෝ ප්‍රායෝගික අත්දැකීම් තියෙනවා. බොහොම ඉස්සර ඉඳන්ම.

මම මහජන බැංකුවේ ප්‍රේෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ කාලෙ මම ‘රට සල්ලි වාසනා’ කියල ලොතරැයියක් පටන් ගත්තා. ඒ කියන්නේ මහජන බැංකුවට එන සල්ලිවලට ලොතරැයියක් පටන් ගත්තා. ඒ සඳහා ත්‍යාග ලබා දුන්නා. වසර 20කට පමණ පෙර. එක ප්‍රේෂණයක් ආවා එල්ටීටීඊ සාම කාර්යාලයට කියල. ඒ නිසා අප මෙය නීත්‍යානුකූල මුදල් නෙවෙයි කියල මේක තහනම් කරා. ගෙව්වෙ නෑ, ඒ අය පසුව එය නීත්‍යානුකූල මුදල් බව ඔප්පු කරා. මම ඇහුව ඇයි ඔබතුමන්ල මේ සල්ලි මහජන බැංකුවට එව්වෙ. අපි වෙනත් බැංකුවලින් මේ සල්ලි කලින් ගෙනාවෙ අපට ප්‍රශ්නයක් වුණේ නෑ. මේ බැංකුවෙන් විතරයි ප්‍රශ්නයක් වුණේ කියල කිව්වා. ඇයි මහජන බැංකුවට එව්වෙ කියල ඇහුවම කිව්වෙ අපේ ළමය සර්ලගේ ‘රට සල්ලි වාසනා’ ලොතරැයිය ගන්න තමයි මේක එව්වෙ කියලා දිනුමක් දෙන නිසා. ඒ නිසා තමයි මම කියන්නෙ ලොතරැයියක් ක්‍රියාත්මක කරනවා නම් ඒකෙන් විශාල බලපෑමක් තිබෙනව ඒ හරහා රටට විශාල වශයෙන් මුදල් ඇදගන්න.

ප්‍රශ්නය – ඒ ලොතරැයි ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු ආයතනය කුමක්ද?

පිළිතුර – කලින් කළ වැඩේ කළේ මහජන බැංකුව විතරයි. මේ වැඩේ කරන්න ඕන ශ්‍රී ලංකා මහ බැංකුවයි. හේතුව බැංකු ඔක්කොම එකතු කරන්න ඕන මේ ක්‍රමයට. එකතු වන අයගෙ සල්ලිවලට මෙන්න මේ තෑගි ක්‍රමය ක්‍රියාත්මක කරනව කියල ප්‍රකාශයක් කරන්න ඕන මහ බැංකුව විසින්. එතකොට ඒ ක්‍රමවේදය සකසන්න පුළුවන් රු. 25,000ක් මුදල් ගෙනාවොත් ඒකෙ තියන මුදල් එවපු කෙනාගෙ නමට ස්වීප් එකක් නිකුත් වන පරිදි. නොයෙකුත් විදේශ විනිමය වර්ගවලින් ලංකාවෙ රු. 25,000 ක මුදලට සමාන වටිනාකමක් සඳහා මේ තෑග්ග ලැබෙන්න ඉඩ තියෙනවා.

එහෙම කිව්වම හැම බැංකුවක්ම මේ ක්‍රමයට එකතු වෙයි. ඒ සඳහා ලොතරැයි නිකුත් කරන පොදු ක්‍රමයක් හදන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. එවිට මේකට අරමුදල් කොහෙන්ද ඇහුවොතින් අරමුදල් රජය දෙන්න ඕන නෑ. මේ වැඩේ කරොත් අනිවාර්යයෙන්ම බැංකුවලට වැඩිපුර සල්ලි එනවා. ඩොලර් එනවා. එක ඩොලරයක් ආවොත් අද ගැනුම් සහ විකුණුම් මිල අතර වෙනස රු. 8ක් විතර වෙනවා. ඩොලරයක් වැඩිපුර ආවොත් රු. 8ක් වැඩිපුර බැංකුවට ලැබෙනවා. මහ බැංකුව කියන්න ඕන බැංකුවලට ඔබලාව මේ ක්‍රමයට එකතු කරනවා. ඔබලාට ලැබෙන හැම ඩොලරයකින්ම ශත 25ක් මේ මධ්‍යගත අරමුදලට එවන්න. අදටත් මැදපෙරදිග සේවකයන් එවන සල්ලි බිලියන 3.5ක් 4ක් විතර වෙනවා. එතකොට මහ බැංකුවට අද තත්ත්වය අනුව බැලුවමත් බිලියනයක අරමුදලක් තියෙනවා. හැමෝම බැඳෙනවා මේකට ශ්‍රී ලංකා මහ බැංකුව නම් කරන්නේ. මිලියන 100ක තෑගි දෙනව කියනව නම් මාස් පතා ඒ අය ශත 25 ගාණේ එවනවා. ප්‍රචාරක කටයුතු කරන්න අවශ්‍ය සල්ලිත් මේ අරමුදල හරහාම ලැබෙනවා. ඒ කියන්නෙ සල්ලි රජය වෙන් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. බිලියන 8ක් සඳහා ශත 25 ගාණේ ආවොත් බිලියන 2ක් අරමුදල. අන්තිමට අතිරික්තය මහා භාණ්ඩාගාරයට පවා දෙන්න පුළුවන්කම ලැබෙනවා.

මම වසර 40ක් තිස්සේ මැදපෙරදිග අයට නොයෙකුත් සේවාවන් කළා. ඒ දවස්වල ‘මැදපෙරදිග රැකියා පෙරහුරුව’ කියල පාඨමාලාවක් පවා කළා. ඒ වගේ දේවල් කළ නිසා මහජන බැංකුව ඒ දවස්වල ප්‍රේෂණවලින් දෙවන බැංකුව බවට පත් වුණා. මුලින්ම මේ වැඩේ පටන් ගත් රාජ්‍ය බැංකුවට පළවැනි තැන තිබුණ. ඒ දවස්වල ගොඩක් අයට අරාබි භාෂාව බෑ, ඒ නිසා සිංහල අරාබි අත්පොත කියල අපි පොතකුත් සම්පාදනය කළා. අපි සල්ලි ඉල්ලන්නෙ නැතුව මිනිස්සුන්ට සේවයක් කරල ඒ තුළින් මුදල් එවන්න අවශ්‍ය ප්‍රචාරය ගත්තා. දැන් මම විශ්‍රාමිකයෙක්. මම දැනටත් මේ ප්‍රේෂණ ගැන උනන්දුයි. මම නූතන දත්ත පරිශීලනය කරනවා. තාම අපි විදේශ විනිමය ප්‍රේෂණ ඩොලර් මිලියන 350ට ගිහින් නෑ. නමුත් අපි 2018 දී ජනවාරි, පෙබරවාරිවල ගාණ ඩොලර් මිලියන 650ක් 750ක් නමුත් දැන් අපි තාම ඉන්නෙ මිලියන 350ක පමණ මට්ටමේ. ඒ වගේ තත්ත්වයකට අපි පත්විය යුතු නැහැ.

මිනිස්සුන්ට අපි දිරිගැන්වීමක් දෙන්න ඕන. මේකෙ හැම ඩොලර් 70කට 80කටම ත්‍යාගයක් ලබන ලොතරැයි පතකට හිමිකම් ලබනවා. ලංකාවෙ මුදල් ප්‍රමාණයකට සමාන විදේශ මුදල් ප්‍රමාණයක් අපට සඳහන් කරන්න පුළුවන්. මම හිතන්නෙ ඒ අගය රු. 25,000 ක් පමණ කියල. එවිට මුදල් එවන කෙනාගෙ නමට එම ලොතරැයිය ඔන්ලයින් හම්බ වෙනවා. මේ ක්‍රමවේදය අපට තව දියුණු කරන්න පුළුවන්. ඒ ක්‍රමවේදය පසුවට සලකා බලන තොරතුරුනේ. මගේ ප්‍රධාන යෝජනාව මේක විදේශ විනිමය ප්‍රේෂණ මේ රටට ප්‍රවර්ධනය කරන්න.

ප්‍රශ්නය – වෙනත් යෝජනා මොනවාද?

පිළිතුර – ඒව දැනට රජය කරනවා. විවිධ දේවල් රටට සල්ලි ගේන අය දරුවන්ට විවිධ පහසුකම් ඇති කරන්න පුළුවන්. කාර්මික විiාලවල ඒ අයට පහසුකම් වැඩියි කියන්න පුළුවන්. ඒ සඳහා ප්‍රමුඛතාව දෙනව කියන්න පුළුවන්. ඒ ඒ කාලය අනුව සුදුසු දිරිගැන්වීම් කෙරෙන්න ඕන. මේ කාලයට ගැලපෙන දේවල් අපට යෝජනා කරන්න පුළුවන්. මගේ ප්‍රධාන යෝජනාව අර ලොතරැයි ක්‍රමය. මිලියන 100 තෑගි දෙනව කිව්වොත් මේ ගැන මිනිස්සු කතාවෙනව. ඕනම බැංකුවකින් නීත්‍යානුකූලව මුදල් ප්‍රේෂණය කරන විට ඒ දිරිගැන්වීම ලැබෙනව නම් හොර ක්‍රමේට මේ රටට මුදල් එවන එක ඔක්කොම නවතිනවා. මොකද ඩොලරයකට රු. 5ක් වැඩිපුර ගත්තට මිනිහෙකුට රු. මිලියන 100ක් ලැබෙන්නෙ නෑනෙ. මහ බැංකුව බැංකුකරුවාගේ බැංකුව ලෙස ඒ විමධ්‍යගත අරමුදල මහ බැංකුව යටතේ පවතින්න ඕන. තනි තනි බැංකුවලට විදේශ මුදල් ගෙන්වා ගන්න පුළුවන්. නමුත් ත්‍යාග ක්‍රමය මහ බැංකුව හරහා ක්‍රියාත්මක කරනව නම් සියලු බැංකු මේ ක්‍රමයට එකතු වෙයි. අනිත් බැංකු ඔක්කොම මේකට කැමති වෙයි. බැංකු ඔක්කොම මහ බැංකුව එක්ක එකතු වෙන්න ඕන මේ ක්‍රමය දියත් කරන්න. ඒ ආකාරයට මෙය විදේශ ප්‍රේෂණ දිරිගැන්වීමේ විශාලම ව්‍යාපෘතිය බවට පත්වෙනවා.

සාකච්ඡා කළේ – ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment