ඖෂධ නියාමන දත්ත මැකීම විධායක නිලධාරියාට ඇප රට යන්න තහනම්

128

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ එම අධිකාරියේ දත්ත ගබඩාව පවත්වා ගැනීමේ ටෙන්ඩරය ලබා දී තිබූ එෆික් ලංකා ටෙක්නොලොජි සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි තරින්ද්‍ර කල්පගේ දැඩි කොන්දේසි පනවා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (09 දා) පස්වරුවේ නියෝග කළාය.

විදේශගත වීම වළක්වන නියෝගයක් පනවා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හරිනු ලැබූ එම සැකකරුගේ විදේශ ගමන් බලපත‍්‍රය අධිකරණයට භාර දෙන ලෙසට ද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.

එකී අධිකාරියේ තොරතුරු පද්ධතිය යාවත්කාලීන කිරීම වළක්වමින් ශී‍්‍ර ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කළ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය ඒ සම්බන්ධයෙන් කරුණු තහවුරු කර ගැනීම සඳහා ලබන 13 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ශී‍්‍ර ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝගයක් ද නිකුත් කළාය.

එම දත්ත පද්ධතිය මැකී යෑම වැළැක්වීමට පියවර නොගැනීමෙන් හා එය ආරක්ෂා කිරීමට නිසි පියවර නොගැනීමෙන් සාපරාධි විශ්වාසය කඩකිරීම සහ පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි සිදු කළේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුට චෝදනා එල්ල කර තිබිණි.

සිය සේවාදායකයා එම ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කළත් එම දත්ත පද්ධතිය වෙනස් කිරීමේ කිසිදු බලයක් ඔහුට නොමැති බවත් එම දත්ත පද්ධතිය මැකී ගොස් ඇත්තේ එහි සේවය කළ ප‍්‍රධාන ඉංජිනේරුවරයාගේ අතින් බව සිදු කළ අභ්‍යන්තර පරීක්ෂණයේදී අනාවරණ වී ඇති බවත් ඒ බව එම ප‍්‍රධාන ඉංජිනේවරයා ද පිළිගෙන ඇති බවත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයට කීවේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment