රට වෙනුවෙන් සියලුදෙනා  එකතුකර ගැනීම එකම අරමුණයි

93

අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි

නැවත එජාපයට එක්වන ලෙසට කිසිවෙකුට කියන්නේ නෑ

රට වෙනුවෙන් සියලුදෙනා  එකතුකර ගැනීම එකම අරමුණයි

පක්ෂ පාට, ජාති ආගම් බේදයකින් තොරව රට වෙනුවෙන් සියලුදෙනා ඒකරාශි කර ගැනීමේ අතීත පාඩම කියා දුන්නේද එක්සත් ජාතික පක්ෂය බවත්, ඉදිරියටද රට වෙනුවෙන් සියලුදෙනා ඒකරාශී කර ගැනීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස තමා කිසිවෙකුට නොපවසන නමුත් රට ගොඩනැගීමට නොපමාව එක්වන්නැයි සියලුදෙනාට ආරාධනා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා(21දා) අනුරාධපුර පුද්ගලික උත්සව ශාලාවක පැවති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමිනි.

දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සොයා බැලීම සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට කැඳවා තිබූ මෙම හමුවට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජන කරන පළාත් මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

අපි මේ මහ කන්නයේ ගොවිතැන් කටයුතු සාර්ථකව කරනවනම් පහත වැටුණු ආර්ථිකය නැවත ගොඩනගා ගන්න පුලුවන්. මහ කන්නයට අවශ්‍ය පොහොර ටික ලබාදෙන්න අපි කටයුතු කරනවා. ඒ සඳහා දැන් අපිට ආධාර ලැබිලා තිබෙනවා. ඒවගේම පොහොර සහනාධාරය ලබා දෙනවා. අවශ්‍ය බීජ ලබා දෙනවා. කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබාදීමේ ඒ වැඩකටයුතු කරගෙන යනවා. අපිට අවශ්‍ය මහ කන්නය ඉතා සාර්ථක කර ගන්න. එතකොට මේ ආර්ථික පීඩනය අඩු කරගත හැකියි.

කෘෂිකර්මාන්තයේ ආරම්භක ස්ථානය විදියට මේ රජරට, අනුරාධපුර කෘෂිකාර්මික කටයුතු සඳහා අපි සම්පූර්ණ සහාය ලබා දෙනවා. අපි මෙතැනින් මේ වැඩපිළිවෙළ ආරම්භ කරමු. ඒ වගේම ධීවර කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් ලබාදෙන්න ඕන. අනෙකුත් කෘෂි භෝග වගා සඳහා අවශ්‍ය සහය අපි ලබා දිය යුතුයි. තේ, පොල්, රබර් කර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර ටික දීලා කෘෂිකර්මාන්තයෙන් අපි ඉදිරියට යන්න ඕන.

ලබන වසරේදී මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය තවදුරටත් වැඩිකරගන්න පුලුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපනයන අංශයෙන් දැන් අපට මුදල් එනවා. රුපියලේ ස්ථාවරත්වය ඇතිවුණහම නැවත මැද පෙරදිග මුදල් ඝෘජුව ලංකාවට ලැබෙනවා.

අපේ පිහිට දැන් අපිම විතරයි. පිට අයගෙන් තිබෙන පිහිට දැන් අපට ලබාදී අවසන්. ඉන්දියාවෙන් අපට ආධාර දුන්නා, ලෝක බැංකුවෙන් ඒ වගේම අනිත් රටවලින් අපිට ආධාර ලබාදී තිබෙනවා. මේ සහනත් සමග අපේ කෘෂි විප්ලවය වී ගොවිතැනින් ආරම්භ කරමු.

මේ වැඩකටයුතුවලදී විශේෂයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ටත් වගකීමක් පැවරී තිබෙනවා. මොනවද අඩු පාඩු, මොනවද වෙන්න ඕන කියලා තමන්ගේ මන්ත්‍රීවරුන්ට දැනුම් දෙන්න. ඒගොල්ලෝ ඒවා පාර්ලිමේන්තුවේ කතා කරනවා. මේ සියල්ල සමග අපිට පුළුවන් එකට එකතු වෙලා මේ වැඩකටයුතු කරන්න.

ඒ වගේම බිම් මට්ටමින් රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ඉන්නවා. මම හිතන්නේ එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයකට නිලධාරීන් 09 දෙනෙක් විතර ඉන්නවා. අපි ඒ අයට තමන්ගේ ග්‍රාම නිලධාරී කොට්ඨාසය බෙදාගෙන හැම එක්කෙනෙකුටම කොටසක් භාරගන්න කියනවා. වැඩ කරනවනම් වැඩ කරන්න, බැරිනම් ගෙදර යන්න. අපි නිකන් ගෙවන්න ලෑස්ති නෑ. එම වගකීම දිසාපතිතුමා භාරගත යුතුයි. මොකද කාටවත් නිකන් කන්න දෙන්න බෑ. මොකක් හරි කරන්න ඕන. මටත් නිකන් කන්න බැහැ, මම මේ රට දියුණු කළේ නැත්නම් මටත් යන්න වෙනවා. එහෙනම් ඉස්සෙල්ලම අපි ගමෙන් පටන් ගනිමු.

පරණ දේශපාලනයේ ඇලී සිටීමෙන් වැඩක් නැහැ. පාර්ලිමේන්තුවේ පක්ෂ මාරු කළාට රටේ ප්‍රශ්න විසඳෙනවා කියලා ජනතාව හිතුවේ නැහැ. ඒකයි මේ තරුණ අය ඇවිල්ලා තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කළේ. ඒකට මම කියන්නේ සාමකාමී අරගලය කියලා. පසුව වෙන අය ඒක ප්‍රචණ්ඩ අරගලයක් බවට පත් කරගත්තා.

අද මෙතන ඉන්නේ පක්ෂ 03කට සහයෝගය දුන්න අය. එක්සත් ජාතික පක්ෂයටයි, පොහොට්ටුවටයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි. ඒත් මම මේක ඔබට පමණක් සීමා කරන්නේ නැහැ. අනිත් පක්ෂවල අයටත් එන්න කියන්න. සජබෙ අයටත් එන්න කියන්න. ජනතා විමුක්ති පෙරමුණටත් එන්න කියන්න. ඒ අය කොටසක් අරගෙන අක්කරයට අපි වගේ දෙගුණයක් අස්වැන්න ගන්නවනම් එහෙනම් කියන්න පුලුවන් ආණ්ඩුව දෙන්න කියලා. ඒත් කරන්න බැරිනම් වැඩක් නෑනේ. බලය අවශ්‍ය නම් පෙන්නන්න තමන්ට වැඩ කරනන් පුලුවන් කියලා. ගම් මට්ටමට ඇවිල්ලා ඒක කරන්න. සියලු පක්ෂ එක්ක කතා කරලා මම කැමති ඒ හැම දෙනාම එකට එකතු කර ගන්න. එය ජයශ්‍රී මහා බෝධීයේ ඉඳලා මිහින්තලයට යනකම් අටමස්ථානවල හැම නායක ස්වාමින් වහන්සේ නමක්ම මේ පණිවිඩය තමයි මට කිව්වේ.

එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා,

අපි මේ දවස උදා වෙනකම් බලාගෙන හිටියේ 2015 ඉඳලා. හැබැයි අපිට එදා ඒක හරියට කරගන්න බැරි වුණා. හැබැයි දෛවයේ සරදමකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද ඔබතුමා ජනාධිපතිවරයා වශයෙන් පත් කර ගෙන තියෙනවා. මීට පෙර මේ රට හදන්න තිබුණු අවස්ථා දෙකක් අපි නැති කරගෙන තියෙනවා. ඒ සුනාමි ආපදාව සහ යුධ ජයග්‍රහණය. මේක තමයි අවසාන අවස්ථාව අපගේ ජීවිත කාලය තුළ ලැබෙන. ඔබතුමාට හොඳ අත්දැකීම් තියෙනවා. ඒ නිසා තමයි ප්‍රශ්නයක් ආවම වෙන නායකයෝ පොත් පෙරලන කොට ඔබතුමාට ඕනම ප්‍රශ්නයකට උත්තරයක් තියෙන්නේ. අරගලයෙන් රටට වෙනසක් බලාපොරොත්තු වුණු තරුණ පිරිසක් හිටියා. එයාලා බලාපොරොත්තු වුණේ දේශපාලන වෙනසක් විතරක් නෙමෙයි සියලු අංශවල වෙනසක්.

හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා

එදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත්තා වගේ වර්තමානයේ බිහිවුණු ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට ගෞරව කරනවා. එතුමාගේ ගේත් ගිනි තැබුවා. මගේ ගේ විතරක් නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බොහෝ දෙනෙකුගේ ගෙවල් ගිනි තැබුවා. මේක ත්‍රස්තවාදයක් නෙමෙයිද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මහ පාරේ මරා දැම්මා.ඒ ත්‍රස්තවාදය නෙමෙයිද? පාර්ලිමේන්තුවටත් ගිනි තියන්න ආවා. එදා තමයි වැඩ වරද්ද ගත්තේ. ඇතැම් නීතිඥවරු මෙම අය වෙනුවෙන් පෙනී සිටියා. නමුත් පාර්ලිමේන්තුවට ගිනි තැබුවා නම් අධිකරණයටත් ගහන්න එනවා. ඒක වෙන්න ගිහිල්ලා අනූ නමයයි දශම නවයෙන් තමයි මෙතුමා රට බේර ගත්තෙ. එනිසා සදාකාලිකවම අපි එතුමාට ගරු කරනවා. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාද මෙහිදී කතා කළ අතර හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍යවරුන් වන දයා ගමගේ, අනෝමා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන, උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කස්තුරි අනුරාධනායක, අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනුරාධපුර පර්සි කුරුනේරු සහ මිහින්තලේ රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment