විෂයභාර ඇමැතිවරයකු නොමැතිව කල්ගිය තහනම් උත්තේජක ලබා ගැනීමට එරෙහි පනත සම්මත වෙයි

254

විෂය භාර ඇමැතිවරයෙකු නොමැති කමින් සම්මත කර ගැනීම කල්දැමීමට සිදු වූ ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ලබාගැනීමට එරෙහි සම්මුති පනත නව ක්‍රීඩා අමාත්‍ය තේනුක විදානගමගේ මහතා ඊයේ (19 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අනුව එම පනත ඡන්ද විමසීමකින් තොරව ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ලෝකයේ තහනම් උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනය විසින් සෑම වසරකම ඔක්තෝබර් මාසයේ පළමු වැනි දිනයේ හෝ ඊට ආසන්න දිනයකදී ඊළඟ වර්ෂයට අදාළ වන තහනම් ද්‍රව්‍ය අදාළ ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ. ක්‍රීඩාවල යෙදෙන අය උත්තේජක ද්‍රව්‍ය ලබා ගැනීමට එරෙහිව ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කළ සියලුම රටවල් එම ලැයිස්තුව තමාගේ රට තුළ ප්‍රකාශයට පත් කළ යුතුව තිබේ. ඒ අනුව අප රටේ මේ සඳහා පනවා තිබෙන නීතිමය බලය සඳහන් වන 2013 අංක 33 දරණ පනතට අනුව හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පසුගිය ජනවාරි මස 18 වැනිදා 2022 වර්ෂයට අදාළ ක්‍රීඩකයන් ලබා ගත නොහැකි සහ තහනම් ද්‍රව්‍ය අඩංගු ලැයිස්තුව ප්‍රකාශයට පත් කළේය. මෙම ගැසට් පත්‍රයට අදාළ කරුණු 2022 ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා වලංගු වේ.

කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ මෙම පනත පසුගිය 05 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබුණද ඒ මොහොත වන විටදී නාමල් රාජපක්ෂ මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබීම හේතුවෙන් එය විවාද කර සම්මත කිරීම කල් ගියේය.

අදාළ පනත ඊයේ නැවතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අදහස් දක්වා සිටි නව ක්‍රීඩා අමාත්‍ය තේනුක

විදානගමගේ මහතා ‘ක්‍රීඩාවට අදාළ තහනම් උත්තේජක මර්දන ක්‍රියාවලියේදී සිදුකෙරන පරීක්ෂණවලට මෙම ලැයිස්තුව ඉතා වැදගත් වෙනවා. ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය විෂයභාර අමාත්‍යවරයා විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතු වෙනවා. අද එම අනුමැතිය සඳහා මෙම ලැයිස්තුව පාර්ලිමේනතුවට ඉදිරිපත් කරනවා’ යැයි කියා සිටියේය.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment