පොලිසියේ දේශපාලන පලිගැනීම්වලට සාධාරණයක් නැද්ද?

168

මෙරට රාජ්‍ය පාලනයේදී රටත් ජනතාවත් අරබයා වැදගත් තීන්දු තීරණ ගන්නා ප‍්‍රබලම කණ්ඩායම වන්නේ ජනාධිපතිවරයා ප‍්‍රධාන කැබිනෙට්ටුව හෙවත් ඇමැති මණ්ඩලය ය.

සාමාන්‍යයෙන් රටේ ව්‍යවස්ථාවට පටහැනි නොවන ලෙස ගනු ලබන ඇමැති මණ්ඩල තීන්දුවක් යනු නෛතික වශයෙන් මෙන්ම අන් සෑම අතකින්ම බලාත්මක වන්නකි. මේ රටත් ජනතාවත් වෙනුවෙන් වර්තමානයේ එකී වගකීම් සහිත වැදගත් කාර්යභාරය ඉටු කරනු ලබන්නේ ගෝඨාභය රජපක්‍ෂ රජයේ කැබිනෙට්ටුව හෙවත් ඇමැති මණ්ඩලය විසිනි.

සතියේ සෑම සඳුදා දිනකම පස්වරුවේ රැස්වන ඔවුහු සාමූහිකව එක්වී සාකච්ඡා සිදුකර රටේ ඉදිරි ගමන් ම`ග පිළිබඳ තීන්දු තීරණ ගනිති.

එහෙත් මේ වන විට වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ගන්නා ඇතැම් තීන්දු තීරණවලට ඉහත කී සහ සාමාන්‍යයෙන් සිදුවිය යුතු පරිදි වැදගත්භාවයක් සහ පිළිගැනීමක් ලැබී තිබේද?

මේ මොහොතේ අපට එවැනි ප‍්‍රශ්නයක් ඇතිවී තිබෙන්නේ කැබිනට් මණ්ඩලය ගන්නා සමහර තීන්දු ඇතැම් රාජ්‍ය නිලධාරීන් තඹ සතේකට මායිම් නොකරන තත්ත්වයක් රට තුළ පවතින බව පෙනෙන්නට තිබෙන නිසාය. ඒ බව පෙන්වා දිය හැකි ප‍්‍රබල උදාහරණයක් මේ මොහොතේ රටට සපයමින් සිටින්නේ වත්මන් පොලිස්පති සී. ඩබ්. වික‍්‍රමරත්න මහතාය. එසේ නැතහොත් ඉකුත් ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී පුරවැසි ප‍්‍රශ්නයක් කරලියට ගෙන එමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා සී.අයි.ඞී. එස්.එස්.පී. ශානි අබේසේකර අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවට අනුමැතිය දුන් හිටපු වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්නය.

අප මේ මොහොතේ ඒ අතීතය බිඳක් සිහි කරනු ලැබුවේ තුනෙන් දෙකක බලයක් සමග විධායක බලයත් හිමිව තිබියදී රජයට පක්‍ෂපාතී රාජ්‍ය සේවයක් වෙනුවෙන් ලොකු පුටු කළමනාකරණය කරගැනීමට නොහැකිව මස්තිෂ්කය හිරි වැටුනාක් මෙන් තවමත් වැඩකරන ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුවට ආපසු හැරී බලා කල්පනා කරනු පිණිසය. මෙහිදී අප පොලිස්පතිවරයාට ඍජුවම ඇගිල්ල දිගු කරනුයේ ඇයි? ඉකුත් යහපාලන රජය සමයේ ශී‍්‍ර ලංකා පොලිසියේ නිලධාරීන් රැසක් දේශපාලන වශයෙන් පලි ගැනීම්වලට ලක් වූ බව රටට රහසක් නොවන්නකි.

එම කාලයේ රටේ පොලිස්පති වූයේ පූජිත් ජයසුන්රදර මහතාය. වත්මන් පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාද ඒ කාලයේ පොලිසියේ ලොකු පුටුවක සිටියේය. එහෙත් ඒ දිනවල පොලිසියේ රජවී සිටියේ සී.අයි.ඞී. ඞී.අයි.ජී. රවි සෙනවිරත්න, ඞී.අයි.ජී. රවි වෛද්‍යාලංකාර, ශානි අබේසේකර, ඒ.එස්.පී. තිසේරා සහ අයි.පී. නිශාන්ත සිල්වා කන්දප්පා වැන්නෝය.

මේ පිරිසට ඉහළින් ඒ දිනවල කපුටෙක්වත් ඉගිලූනේද නැත. එසේ වූයේ නම් ඌටද සිදුවන්නේ මිනී මරුමක හෝ කිසියම් බරපතළ අපරාධයක චූදිතයකු වී හිරේ යන්නටය. මේ මිනිස්සු එදා එසේ පොලිසියේ සිටිමින් රැස් විහිදුවද්දී වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරු ගණනාවක් එදා වැලිකඩ බෝඩිමේ කූරු ගැන්නා අපට මතකය. මුදල් ඇමැති බැසිල් රාපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ, යෝෂිත රාජපක්‍ෂ, විමල් වීරවංශ, උයද ගම්මන්පිල, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සහ මහින්දානන්ද අලූත්ගමගේ යන ඇමැතිවරුන් මෙහිදී එසේ යහපාලන පොලිස් රාජ්‍යයේ රාජ උදහසට ලක්වූවන් ලෙස උදාහරණ වශයෙන් අපට පෙන්වා දිය හැකිය. බුද්ධි අංශ දඩයම මෙන්ම තවත් බොහෝ දේද මෙහිදී සිදුවිය. එසේම මේ අන්දමට විවිධ අපරාධමය චෝදනා යටතේ සිරබත බුදින්නට සිදුවූ පොලිස් නිලධාරීන් හා විවිධ පලිගැනීම්වලට ලක්වූ පොලිස් නිලධාරීහු රැසක්ද වූහ. ඒ ඇතැම් නිලධාරීන් අදටත් සිටිනුයේ සිරගතවය. මේ අන්දමට දේශපාලන පලිගැනීම්වලට ලක් වූ පොලිස් නිලධාරීන්ට අදාළ උසස්වීම් සම`ග හිමිවිය යුතු දේ ලබා දීම සුදුසු බව පසුගිය කාලයේ කි‍්‍රයාත්මක වූ දේශපාලන පලිගැනීීම් පිළිබඳ ජනධිපති කොමිසමක් මගින් නිර්දේශ කරනු ලැබිණි. එසේම වත්මන් අගමැතිවරයා විසින් නම් කරනු ලැබූ කමිටුවක් මගින් එකී නිර්දේශය කරනු ලැබීය. පොලිස් නිලධාරීන් අසූ දෙක දෙනකු අරඹයා එසේ සහන ලැබිය යුතු බවද සඳහන් කෙරුණු අතර එම නිර්දේශවලින් අනතුරුව ලජ්ජා සහත ලෙස ගෙවී ගිය මාස හත අටක කාලයකින් පසු එම නිර්දේශ කි‍්‍රයාත්මක විය යුතු බවට ගෝඨාභය රාපක්‍ෂ මහතා ප‍්‍රධාන කැබිනට් මණ්ඩලය මගින් අනුමත කළේය.

කැබිනට් මණ්ඩලය ඒ අනුමැතිය ලබා දුන්නේ මීට මාස එකහමාරට පමණ ඉහතදීය. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ අංක 21/0105/301/003 සහ පොලිසිය භාර ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර ඉදිරිපත් කළ 21/0946/332/018 යන කැබිනට් පති‍්‍රකා දෙකකට අනුව එම අනුමැතිය ලබාදීම සිදු විය.

මෙහිදී එදා ශානි අබේසේකරලා ර`ගද්දී සිරබත බුදින්නට සිදුවූ ඇමැතිවරුද එයට අනුමැතිය ලබා දුන් කැබිනෙට්ටුවේ සිටියහ.

දේශපාලන පලිගැනීම්වලට ලක්වූ පොලිස් නිලධාරීන්ට සහන ලබාදිය යුතු බවට එසේ කැබිනට් අනුමැතිය ලබාදීමෙන් පසු නිලධාරීන් 82 දෙනකුගේ නම් සහිත අදාළ නාම ලේඛනය ඉදිරි කි‍්‍රයාමාර්ග සඳහා රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කෙරිණි.

ඉන් අනතුරුව සිදුවූයේ කුමක්ද? එම නාම ලේඛනය තමන් වෙත ලැබීමෙන් පසු අවශ්‍ය කටයුතු සිදුකිරීම සඳහා පොලිස්පතිවරයා වෙත බලය පැවරී ඇති නිලධාරීන් සම්බන්ධයෙන් සහන කි‍්‍රයාත්මක කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිසම එය පොලිස්පතිවරයා වෙත යොමු කරනු ලැබීය.

එය සිදුවන්නේ නෛතික තත්ත්වයන් යටතේ රාජ්‍ය සේවා කොමිසමේ රෙගුලාසිද අනුගමනය කරමින් කටයුතු කරන ලෙස හා ගැටලූ මතුවුවහොත් කොමිසමෙන් උපදෙස් ලබා ගන්නා ලෙසට පොලිස්පතිවරයාට කළ දැනුම් දීමක්ද සම`ගය.

රාජ්‍ය සේවා කොමිසමේ එකී දැනුම්දීමට අනුව අවශ්‍ය පියවර ගැනීම සඳහා පොලිස්පතිවරයා විසින් අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතුව කමිටුවක් ද පත් කළේය. එතනින් සියල්ල අවසන් විය. පලිගැනීමට ලක්වූ පොලිස් නිලධාරීන්ට මේ දක්වා කිසිදු සහනයක් නැත. දේශපාලන වශයෙන් යහපාලනයේ පලිගැනීම්වලට ලක්වූ ඔවුහු අදටත් විඳවමින් සිටින්නාහ. වාර්තා වන අන්දමට කියැවෙන්නේ මේ වන විට සහන කෙසේ වෙතත් අදාළ නිලධාරීන්ගේ නාම ලේඛනය ඇතුළත් ෆයිල් එක පොලිස්පතිවරයාගේ ලස්සන මේසය උඩ කොනක සිරවී ඇති බවය. ඒ යටගිය දවස බරණැස් නුවර බ‍්‍රහක්මදත්ත රජුගේ කැබිනට්ටුව විසින් අනුමත කළ මෙලෝ රහක් නැති සහ කිසිදු වැදගම්මකට නොමැති පරණ ෆයිල් එකක් ලෙස එය එසේ සිරිවී තිබෙන බවද පොලිසියේ සමහරු කියන්නාහ.

ජනාධිපතිතුමනි, ඔබේ ඇමැති මණ්ඩලය විසින් අනුමත කළ කාර්යයක් අරඹයා මෙවන් ඇල්මැරුණු ස්භාවයකින් කි‍්‍රයාත්මක වීමට තරම් රටේ පොලිස්පතිවරයාට බලය දුන්නේ කවරෙක්ද?

ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවූ ෆයිල් එකක් බෝතල් පත්තර කඩයට යවන්නට ඇති පරණ කඩමාල්ලක් සේ සලකා කි‍්‍රයත්මක වීම තුළින් පොලිස්පතිවරයා මේ කියන්නේ කුමක්ද?

ඉන් කියවෙන්නේ රටේ පිළිගත් ප්‍රොටෝකෝලය හිටි හැටියේ වෙනස් වී දැන් පොලිස්පතිවරයා සිටින්නේ ජනාධිපතිවරයාට සහ ඇමැති මණ්ඩලයටත් ඉහළින් යන්නද?

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment