රට ටින්මාළුවලට බදු පැනවීම කඩිනම් කරන්න – දේශීය කම්හල් 16ම වැහෙන්න ළඟයි

97

ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති

ආනයනික ටින්මාළු සඳහා රුපියල් 550කට සමාන තීරුබද්දක් පැනවීම සඳහා සකස් කළ කැබිනට් පත්‍රිකාවට කඩිනමින් අනුමැතිය ලබා ගන්නා ලෙසත්, එවැනි යෝජනාවක් ගෙනාවාට ස්තුතිවන්ත වන බවත්, ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු මහතා රජයෙන් ඊයේ (24 දා) ඉල්ලීමක් කළේය. වසර පුරාම ධීවර කටයුතු සිදු කළ හැකි රටට, ආනයනික මාළු හෝ ටින්මාළු අවශ්‍ය නැතැයි ද ඒ මහතා පැවසීය.

දේශීය ටින්මාළු නිෂ්පාදනය කරන ආයතන 16ම මේ වනවිට වැසී යෑමට ආසන්නව ඇති බවත්, තම සංගමය ජනවාරි මාසය තුළ ආනයනික ටින්මාළු සඳහා බදු වැඩි කරන ලෙස කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබුණා නම් රජයට රුපියල් මිලියන 262ක ආදායමක් ලබාගත හැකිව තිබූ බව ද හෙතෙම කීය.

පෙබරවාරි මාසයේ ආනයනික ටින්මාළු කෑන් විසිලක්‍ෂ පනස්පන්දහසක් (2,055,000) රටට පෙන්වා ඇති බවත් කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබීමට ප්‍රමාද වුවහොත් තවත් ටින්මාළු තොග රටට පැමිණිය හැකි බවත් ඔහු පැවැසීය.

රට වටේම මුහුද තිබෙන බවත්, ත්‍රිකුණාමලය ප්‍රමුඛ එම මුහුදු සීමාවේ මසුන් අස්වැන්න නිසි ලෙස නෙළා නොගැනීම නිසා එහි මාළු වයසට ගොස් මියයන බවත්, මෙරට මාළු අස්වැන්න නිසි ලෙස නෙළා නොගන්නා නිසා ඉන්දීය ධීවරයන් එම මත්ස්‍ය අස්වැන්න ලබාගන්නා බවත් ධීවර අමාත්‍යාංශය මැදිහත්වී එම අස්වැන්න නෙළා ගැනීමට නිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් හෙතෙම කීය.

ඔලුවිල් වරාය ආශ්‍රිත ටින්මාළු කර්මාන්ත ශාලාවක් සකස් කිරීමට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර ගෙන්වා වසර 12ක් පමණ වන බවත්, එම ප්‍රදේශයේ නිසියාකාරව ධීවර කටයුතු සිදු කරනවා නම් කර්මාන්ත ශාලාව විවෘත කර එම ප්‍රදේශයේ ජනතාවට රුකියා සැපයිය හැකි බවත් ඔහු කීය.

රටේ අවශ්‍යතාවට අවශ්‍ය මසුන් සහ ටින්මාළු මේ රටෙන්ම උපයා ගත හැකි බවත් ඒ සඳහා මේ වනතෙක් නිසි ක්‍රමවේදයක් කිසිදු රජයකින් සිදු නොවීම කනගාටුදායක බවත් ඒ මහතා කියා සිටියේය.
චමින්ද සිල්වා

රු. 550ක බද්දක් පනවන තෙක් ටින් මාළු ගෙන්වීම තහනම් කරන්න

ධීවර හා වෙළෙඳ ඇමැතිවරු උපදෙස් දෙති

ආනයනික ටින් මාළු සඳහා රුපියල් 550කට සමාන තීරු බද්දක් පනවන තෙක් ටින් මාළු ආනයනය තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ඇමැතිවරුන් දෙපළක් නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ටින් මාළු සඳහා තීරු බදු පැනවීමට ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා සහ වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර එය සම්මත වනතුරු ටින් මාළු ගෙන්වීම නවතා දමන ලෙසද එම අමාත්‍යවරුන් විසින් නිලධාරීන්ට උපදෙස් දුන් බව ධීවර අමාත්‍යාංශය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ආනයනික ටින් මාළු හේතු කොටගෙන දේශීය ටින් මාළු කර්මාන්තය දැඩි ලෙස අර්බුදයට ලක්ව ඇති බවත් දේශීය ටින් මාළු කර්මාන්තකරුවන් නිරන්තරයෙන් ධීවර අමාත්‍යවරයාට කරන ලද ඉල්ලීම් අනුව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා විදේශීය ටින් මාළු ගෙන්වීම නවතන ලෙස සහ ගෙන්වීමට අවසර ලබාදී ඇති ටින් මාළුවල බදු වැඩි කරන ලෙස කිහිපවතාවක් නිලධාරීන්ට උපදෙස් දුන් නමුත් එය නිසි ලෙස සිදුව නැති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

දේශීය ටින් මාළු කර්මාන්තකරුවන් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී ධීවර හා පාරිභෝගික කටයුතු ඇමැතිවරුන් දෙදෙනා, ලේකම්වරුන් දෙදෙනා හා නිලධාරීන් හමුවී කළ සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment