පශ්චාත් කොවිඞ් නත්තල

666

පශ්චාත් යනු පසු යන සිංහල වචනයේ සංස්කෘත ඔරිජිනල් එකය. මේ වචනය මෑතක් වනතුරුම යෙදුනේ ශරීරයේ පසු කොටස වන පශ්චාත් භාගය වෙනුවෙනි. 1979 දී Jean Francois Lyotard නමැති ප‍්‍රංශ ජාතික දාර්ශනිකයා විසින් Postmodern නමැති යෙදුමක් සිය ලියවිල්ලක බහාලීමෙන් පසු ඒ කෙරෙහි පිස්සු වැටුණු මේ රටේ දාර්ශනික අඩ පළු පශ්චාත් නූතනවාදය නමැති යෙදුමක් සාදා එය දාර්ශනික ලිපි, නවකතා සහ කෙටි කතා, කෑම වට්ටෝරු, කසාය වට්ටෝරු යන සියල්ලටම ඇතුළත් කරන්නට පටන් ගත්හ. ඒ ගැන අපේ පශ්චාත්තාපයක් නොමැත. මේ කතුවැකියට පශ්චාත් කොවිඞ් නත්තල යන මාතෘකාව යෙදීමෙන් අප දාර්ශනික යමක් විග‍්‍රහ කරන්නට යන්නේ යැයි පාඨකයා නොසිතිය යුතුය. අප සාකච්ඡා කරන්නට උත්සාහ කරන්නේ රට වසා තැබූ කොවිඞ් වසංගතයෙන් පසු මේ රටේ තත්ත්වය සහ නත්තලට එහි තිබූ බලපෑම ගැනය. වසර 2019 අවසන් කොටසේදී මේ ආණ්ඩුව බලයට පත්වන විට සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වනවිට නිදහසින් පසු ශ‍්‍රී ලංකාවේ ජනයා වඩාත්ම බුද්ධිමත් ලෙස ඡන්දය පාවිච්චි කළ පළමු අවස්ථාව එය බව මේ රටේ ප‍්‍රගතිශීලී කොටස් වැඩිහරියක මතය විය. ආණ්ඩුව තුනෙන් දෙකක බලයක් ලබාගෙන Sweeping Majority එකක් හරහා බලයට පත්වීම වැඩිදෙනා විසින් දක්නා ලද්දේ ඉතා හොඳ දෙයක් ලෙසය. රටක් වෙනස් කිරීමට බලය අවශ්‍යය. ඒ බලය වෙනස් කිරීමට චීනය, ඉන්දියාව සහ ඇමරිකාව යන රටවල් අවශ්‍යය. ගෝඨාභය ජනාධිපති වී පොදුජන පෙරමුණ බලයට පත්වන්නේ කවර මහා බලවතකුගේ අවශ්‍යතාව අනුව ද යන්න අදටත් අර්ථකථනය නොකෙරේ. ඒ අනුව එකී බලය ලබා දෙන්නේ ජනතාව විසිනි. 2010 දී සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් පරාජය වුණු ජනාධිපතිවරණයේදී සුවිශාල හොර ඡුන්ද මගඩියක් සිදුවූ බව නැසී ගිය සෝමවංශ අමරසිංහ පණ පිටින් සිටින විට නිතර කියන ලදී. 2015 යහපාලන ආණ්ඩුව ජයග‍්‍රහණය කිරීමේදී කිසිදු ඡුන්ද වංචාවක් සිදුවුණේ නැත. ඡුන්ද වංචාවක් සිදුනොවන්නේ තිබෙන ආණ්ඩුව අන්තිමටම පරිහානියට පත්වූ විටකය. එවැනි අවස්ථාවලදී තිබෙන ආණ්ඩුව කොපමණ හොර ඡුන්ද දැමුවත් ජනතාව අභිමත ආණ්ඩුවක් බලයට පත්වෙයි. එනිසා මෑතක සිට කිසියම් ආණ්ඩුවක් පිරිහී ඇති බව දැනගත් සැණින් එම ආණ්ඩුවේ අය හොර ඡුන්ද දැමීම අත්හරිති. මේ ආකාරයෙන් ගෝඨාභය රාජපක්ෂ සහ පොදුජන පෙරමුණ ජයගන්නේ ද කිසිදු හොර ඡුන්දයක් නැතිවය. ලොකුම අවාසනාව වූයේ එසේ ජයග‍්‍රහණය ලැබූ ආණ්ඩුව ෆේල් ද නැද්ද යන්න  දැනගැනීමට තරම් කාලයක් ලබා දෙන්නේ නැතිවම පැමිණි කොවිඞ් වසංගතය විසින් රට වසනු ලැබීමය. කොවිඞ් වසංගතයත් සමගම ලෝක ආර්ථිකයද රටේ ආර්ථිකයද එකවර පරිහානියට පත්විය. ඉන්පසු ලෝක ආර්ථිකය ක‍්‍රමයෙන් ගොඩ ආ නමුදු මේ රටේ ආර්ථිකය ගොඩ ආවේ නැත. කඬේ වහන තරම් ලේසියට අරින්නට බැරිය. කසාද බඳින තරම් ලේසියට දික්කසාද විය නොහැක. කසාදයකට අවශ්‍ය පාර්ශ්ව දෙකක කැමැත්ත පමණි. එහෙත් දික්කසාදයකට ආණ්ඩුවේ (අධිකරණයේ) කැමැත්ත ද අවශ්‍යය. පොදුජන පෙරමුණු ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු වඩාත් උත්කර්ෂවත් ලෙස සැමරීමට නියමිතව තිබුණේ 2020 නත්තලය. එහෙත් ඒ අවුරුද්දේ නත්තල පමණක් නොව සිංහල අවුරුද්ද ද වෙසක් උළෙලද පොසොන් පිංකම් ද ලොක්ඩවුන් කරන ලදී. හැබැයි මේ අවුරුද්දේදී නත්තල සැමරීමේ අවස්ථාව මිනිසුන් වෙත උදාවිය. උදාවුණු නත්තල පොහොසත් වූයේ එහි හරයෙන් පමණි. භෞතික වශයෙන් ඒ නත්තල නත්තල් පප්පා නැති දුගී නත්තලක් බවට පත්විය. මේ නත්තල මේ රටේ ජනයා විසින් බොහෝ කලකට පසු අතේ සතේ නැතිව සැමරූ එකම නත්තල වෙයි. වෙනදා කොවිඞ් නොව වසූරිය වසංගතයක් රටේ තිබුණත් බාර් ඉදිරිපිට මීටර් පෝලිම් නොව කිලෝමීටර් පෝලිම් තිබේ. මේ නත්තල සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අඩුම ආදායමක් වාර්තා කළ නත්තල බවට පත්විය. සාමාන්‍යයෙන් රට යථා තත්ත්වයේ පවතින අවස්ථා වලදී දෙසැම්බර් 24 සහ දෙසැම්බර් 31 යන දිනවල රාත‍්‍රී කාලයන් වලදී කොළඹ තරු පහේ හෝටල් උත්සවකාමී ජනයාගෙන් පිරී ඉතිරි යයි. මෙසේ තරු පහේ හෝටල්වල නත්තල් ? සමරනු ලබන්නේ නාගරික ඉහළ ධනපති පංතිය සහ ධනපති පංතිය විසිනි. මෙවර එකී පංති දෙකේ ජනයාගෙන් 30% ක් පමණක් තරු හෝටල්වල නත්තල් සැමරුම් කළ බව වාර්තා විය. සෙසු 70% බුන්වත්භාවයට පත්වූ අයවලූන් විය යුතුය. දෙසැම්බර් 31 දා රැුයෙහි තත්ත්වයද මීට වඩා වෙනස් වීමට ඉඩ නැත. පශ්චාත් කොවිඞ් නත්තල හරය වශයෙන් ගත් කල උසස් නමුත් භෞතික වශයෙන් ගත් කල ඉතා බංකොලොත්ය. ලබන අපේ‍්‍රල් මාසය වනවිට ශ‍්‍රී ලංකාව තුළ ආහාර හිඟයක් නොහොත් සාගතයක් හට ගැනීමට ඉඩ ඇතැයි කියනු ලැබේ. එවැනි ආහාර හිඟයක් හට ගත්තොත් ආහාර සීමා කිරීමට සිදුවන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ එම තනතුරේ සිටියදී කියා තිබුණි. ආහාර පාලනයක් කරන්නේ කෙසේද? මහාචාර්ය උදිත්ට අනුව ආහාර අත්‍යවශ්‍ය දරුවන්, මව්වරුන්, රෝගීන් සහ වැඩිහිටියන්ට ප‍්‍රමුඛත්වය දී ඔවුන්ට ප‍්‍රමාණවත් තරම් ආහාර සැපයීමත් මේ කැටගරිවලට අයත් නොවන අයට ආහාර අඩුවෙන් ලබාදීමත් සිදුවිය හැකිය. මෙහිදී වැඩකරන ජනතාවටද සෙසු අයට මෙන් පරිපූර්ණ ලෙස ආහාර නොලැබුනොත් උන් මාන්දම් කාරයන් බවට පත්වී දළ ජාතික නිෂ්පාදනයට කෙළවීමට ඉඩ තිබේ. මෙය ඇසූ මේ රටේ ජනයාට වෙනත් ආහාර පසෙක තබා මහාචාර්ය උදිත්ගේ කට කන්නට සිතුනි. එහෙත් කට කණු පිණිස ඔහු සොයාගත නොහැකි වූයේ එම ප‍්‍රකාශයෙන් පැය 24 ට පසු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කමින් ඔහු එලවා දමන ලද බැවිනි. උදිත් ජයසිංහ යනු කෘෂිකර්ම ඇමැති මහින්දාන්නද  අලූත්ගමගේ ගේ ‘බොක්ක’කි. බොක්ක යනු ආහාර ජීර්ණ පද්ධතියේ අත්‍යවශ්‍යම අංගයයි. එහෙත් එම බොක්ක බේරා ගැනීමට මහින්දානන්දට බැරිවීම මාරම කොක්කකි. පශ්චාත් කොවිඞ් නත්තලේ කතාව එසේය.

 

advertistmentadvertistment
advertistmentadvertistment