උපන් බිම අමතක නොකළ මිනිසෙක්!

78

මා උපන් බිමේ අසරණ ජනතාවට හැකි උපරිමයෙන් සේවය කරන්නේ අබ ඇටයක තරම්වත් ප්‍රති උපකාරයක් බලාපොරොත්තුවෙන් තොරව යැයි සරණක් අවැසි ශ්‍රී ලාංකිකයන් සොයා ගොස් සිය පෞද්ගලික ධනයෙන් රුපියල් ලක්‍ෂ ගණනින් වැය කරමින් පිහිට වන වසර 50 කට ආසන්න කාලයක් තිස්සේ ජර්මනියේ පදිංචිව සිටින සුනිල් ශාන්ත දේව මහතා පවසයි.

කඩුවෙල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිය සමාජ මෙහෙවර ආරම්භ කළ සුනිල් ශාන්ත දේව මහතා මේ වනවිට රටපුරා අසරණ ජනයා සොයා ගොස් හැකි අයුරින් ඔවුන්ට උපකාර කිරීමට ක්‍රියා කරමින් සිටින්නෙකි.

සුනාමි ව්‍යසනයේදී අසරණ වූ ජනතාවට පිහිටවීම සඳහා ජර්මනියේ සිට මෙරටට පැමිණි සුනිල් ශාන්ත දේව මහතා ඉන් විපතට පත් ප්‍රදේශවලට ගොස් අවතැන් වූ ජනතාවට අවශ්‍ය කූඩාරම් විශාල ප්‍රමාණයක් බෙදා දී තිබේ.

එසේම කොරෝනා වසංගතය පැවති සමයේදී ද කඩුවෙල ප්‍රදේශයේ ජනතාවට මුදල් ආධාර වියළි ආහාර බෙදා දෙමින් පිළිසරණ වූ සුනිල් මහතා කඩුවෙල ප්‍රදේශයේ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර විය.

මෙම වසර මැද භාගයේදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමක් ඇති අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමද ඒ මහතාගේ සමාජ මෙහෙවරේ එක් අදියරකි.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ උපත ලැබ අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව ජර්මනියේ පදිංචියට ගිය සුනිල් ශාන්ත මහතා එරට පදිංචි කාන්තාවක් සමග විවාහ වී ඇත.

එක්දරු පියකු වන සුනිල් මහතා වසරක් පාසා මෙරටට පැමිණ සිය පෞද්ගලික ධනයෙන් අසරණ ජනතාවට උපකාර කරයි. මේ වනවිට ඒ මහතාගේ ධන පරිත්‍යාගයෙන් සෑම පොහෝ දිනකම කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේ බත් දන්සැලක් පවත්වාගෙන යයි.

සිය උපන් බිමේ අසරණ ජනතාවට මේ අයුරින් උපකාර කිරීම තුළින් තමා කිසිඳු ප්‍රති උපකාරයක් අපේක්‍ෂා නොකරන බවද සුනිල් ශාන්ත දේව මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment