බියගම උදාහරණයක් ලෙස ගෙන රටම ආයෝජන කලාපයක් කරනවා – මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයේදී ජනපති පවසයි

90

බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කර්මාන්තකරණයක් සිදුකර ඉදිරි වසර 15 – 20 තුළ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යෑමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එදා නොදියුණු ප්‍රදේශයක් වූ බියගම ප්‍රදේශය, වෙළෙඳ කලාපය ආරම්භ කිරීමත් සමග විශාල දියුණුවක් ලැබූ බවත් ශ්‍රී ලංකාවම ආයෝජන කලාපයක් බවට පත්කර නව ආයෝජන අවස්ථා රැසක් ලොවට විවෘත කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට පෙරේදා (06දා) පස්වරුවේ එක්වෙමිනි.

දැනටමත් කර්මාන්තපුර ඇති කිරීම සඳහා බිංගිරිය, හම්බන්තොට, නුවර, ත්‍රිකුණාමලය සහ උතුරු පළාතේ ද ප්‍රදේශ කිහිපයක් හඳුනාගෙන තිබෙන අතර එම කටයුතු කඩිනම් කරන බවත් ඒ සමග එම සියලු ප්‍රදේශ වාණිජ නගර ලෙස ගොඩනැඟෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම තම තමන්ගේ දිස්ත්‍රික්ක සංවර්ධනය කිරීම වෙනුවෙන් ආයෝජන අවස්ථා ගෙන ඒමට ජනතා නියෝජිතයන්ගේ කැපවීම ද ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

අපේ රටට කර්මාන්තපුර සුදුසු නොවන බවට එදා ඇතැමුන් ප්‍රකාශ කළ ද අද බියගම ආයෝජන කලාපය දකුණු ආසියාවේ හොඳම වෙළෙඳ කලාපය බවට පත්ව ඇති බවත්, රටේ සෑම පළාතකම බියගම සහ කටුනායක වැනි කර්මාන්තකරණයක් සිදුකළා නම් අද රටක් ලෙස ආර්ථික පීඩාවකට ලක් නොවන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නව ආයෝජන කලාප ඇති කරමින් රටේ ආර්ථිකය සවිමත් කිරීමට කටයුතු කරන අතරම අනාගත තරුණ පරපුරට රැකියා අවස්ථා විවර කරදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මල්වාන අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබූහ. විද්‍යාලයට වසර සියයක් සැපිරීමට සමගාමීව සමරු මුද්දරයක් නිකුත් කිරීම සහ විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැඟිල්ල විවෘත කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයට ප්‍රථමවරට ජනාධිපතිවරයෙක් පැමිණීම සනිටුහන් කරමින් විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබූ ජනාධිපතිවරයා විද්‍යාලයේ සියවස් සමරු ස්මාරකය ද විවෘත කළේය. විද්‍යාලයේ විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුනට තිළිණ සහ සහතික පත් ප්‍රදානය කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා ද උත්සව සභාව ඇමතීය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර, කාදර් මස්තාන්, බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගනේපොල, එහි හිටපු විපක්‍ෂනායක ප්‍රසන්න සම්පත්, මල්වාන අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එස්. එච්. එම්. නයිම් යන මහත්වරු සහ ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ

දෙල්ගොඩ – ඩබ්. ඩී. විතාන, බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment