ධර්ම සාහිත්‍යයේ උදාව

202

අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පල්ලාවෙල සද්ධාතිස්ස නාහිමියෝ 1981 දී ලියන ලද්දකි.

සාමය සමයාන්තර දර්ශනවලින් ස්වකීය ලෞකික හැඟීම් සිදුකර ගැනීම සඳහා විවිධ මිථ්‍යා දෘෂ්ටීන් අනුගමනය කරමින් සංකීර්ණ වූ විවිධ බුද්ධි වාදයන්ගෙන් පරිපූර්ණ වූ මානව සමාජයක් පැතිර පැවති කාලයක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. “කිං සච්ච ගවේසී” මුනිවරයකුට මෙන්ම – විමුක්ති සුඛ ගවේසි සුඛාපේක්‍ෂකයාටත් අසම සම සුවයක් එදා ඇසළ මස පුර පසළොස්වක් පොහෝ දා දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීමෙන් ලබාදුන් සේක.

අචින්ත්‍ය කාලයක් මුළුල්ලෙහි සකස් වූ පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් නොව අසංඛ්‍ය කාලයක් මුළුල්ලෙහි පුරන ලද පාරමිතා ධර්මයන්ගේ බලයෙන් අවබෝධ කරගත් විද්‍යාව නම් වූ චතුරාර්ය සත්‍යය සදේවක ලෝකයාගේ ආධ්‍යාත්මික විමුක්තිය සඳහා දේශනා කළ ප්‍රථම දිනය ඇසළ මස පුර පසළොස්වක පොහෝ දිනයයි. එදා බරණැස ඉසිපතනාරාමයේ මිගදායෙන් උදා වූ විද්‍යාව මෙන්ම ශිෂ්ටත්වය ද, ධර්මය මෙන්ම සුශිලත්වය ද, චාරිත්‍රය මෙන්ම දාර්ශනිකත්වය ද මෙතෙක් අන්කිසි තැනකින් උදා නොවු බැව් කිව යුතුය. ක්‍රි. පූර්ව සත්වන, සයවන ශත වර්ෂවලදී විවිධ දෘෂ්ටි ප්‍රකාශනයන්ගෙන් හා නානා විධ දර්ශනයන්ගෙන් හා නානා විධ දර්ශනවාදීන්ගෙන් ද සමස්ත භාරත වර්ෂයම පිරී පැවති බැව් ඓතිහාසික සිද්ධාන්තයන්ගෙන් පෙනේ. එදා ඉසිපතනාරාමයේදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ විද්‍යාත්මක දාර්ශනික ධර්මයට පෙර අනියානික විතර්ක පරිකල්පික සමයාන්තරීය සංකල්පයෝ බොහා් වූහ. එදා භාරත වර්ෂයේ ඇති වී පැවති සෑම භෞතික දර්ශනයක්ම අත්තකිලමතානුයෝගයට හෝ කාමසුඛල්ලිකානුයෝගයට ද, ශාස්වත දෘෂ්ටියට හෝ උච්ඡේද දෘෂ්ටියට ද සම්බන්ධව පැවති බැව් කිව යුතුය. බෞද්ධ දර්ශනය භාරත වර්ෂයේ උදාවන විට ඉන්දියාවේ විවිධ භෞතික දර්ශන ඇති වී ශතවර්ෂ 30 ක් පමණ ඉක්මෙන්නට ඇතැයි බුද්ධිමත් විචාරකයෝ කල්පනා කරති. කාලාන්තරයක් නොසිඳී පැවති අති පුරාණ දර්ශනවාදය වෛදික දර්ශනවාදයයි. වෛදික දර්ශනවාදය අපෞරුෂය දෛවිය දර්ශනවාදයක් යයි වෛදිකයෝ කල්පනා කළහ. එහෙත් එය ස්වතන්ත්‍ර දර්ශනවාදයක් හෝ අතර්කාවචර දර්ශන වාදයක් නොවීය. අතර්කාවචර සාර භෞම ලෝකෝත්තරවාදයක් බිහිවූයේ බුදුරජාණන් වහන්සේගෙනි. ඒ දර්ශනවාදය මුලින්ම බිහි වූ ඇසළ පුණු පොහෝ දිනය ඉතා උතුම් සම්භාව්‍ය දිනයක් ලෙස බෞද්ධයෝ සලකති. ඇසළ ඉතිහාසය ප්‍රාග් පූර්ව භාරතීය විචිත්‍ර චිත්‍රයක් වැනිය. එය සැබැවින්ම විවිධත්වයෙන් විසිතුරුය. ඇසළ ඉතිහාසය ප්‍රාග් ඉතිහාසයට අයත් වේ. බෝධිසත්ත්වයන් වහන්සේ පෙරුම් පුරන කාලයේද ඇසළ උත්සවයන් පැවති බැව් කියති. ආගමික වූද, ජාතික වූද, වවිධ ක්‍රීඩාවන් ඇසළ මාසයේ පැවැත්වීම නිසා ද, ඇසළ ඉතිහාසය සැබවින්ම වැදගත් වූවකි. සිව පුරාණ, විෂ්ණු පුරාණ, ස්කන්ධ පුරාණයන්ට ද ඇසළ ඉතිහාසය සම්බන්ධ වී බෞද්ධ ජන සමාජයේ මෙන්ම බුද්ධ කාලීන සමාජයේ ද ඇසළ උත්සවයන් හා ඇසළ සැණකෙළි පැවැත්වූ බවට නොයෙක් නිදර්ශන අපේ ආගමික සාහිත්‍ය ග්‍රන්ථවලින් සොයා ගත. හැක. ආසාළහි නක්ඛත්තය, ගිරග්ග සමජ්ජය යන නාමයන්ගෙන් ද බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් වන්නේ මේ ඇසළ උත්සවයයි.

කිඹුල්වත්පුර නුවර පැවති ඇසළ උත්සවයක් පිළිබඳව සිංහල ධර්ම ග්‍රන්ථයක එන විස්තරයක් වෙයි. ඒ මෙසේ ය. “ඒ කපිලවස්තු නම් පුරයෙහි ඇසළ සිරි නම් වූ මහත් උත්සව කෙළියෙක් පළමු සත්වන දින පටන් විය. සියලු ජනයෝ ඉස්සෝදමින් ජලස්නානය කරමින් සුවඳ ඇඟ ගල්වමින් කෑමෙන් බීමෙන් නැටීමෙන් ගී කීමෙන් කෙළියෙන් සිනාසෙන දවස් යවා ශක්‍රපුරය සේ එනුවර සරසමින් සත් දවසක් උත්සව කෙළි කෙළිති.”

තදානින්තන ඇසළ උත්සවයක තත්ත්වය මෙයින් ප්‍රකට වෙයි. අසීමිත දීර්ඝ කාලයකට පෙර සිදු වු බැව් කියන සුරාසුර යුද්ධය තෙක් මේ ඇසළ ඉතිහාසය ඈතට ගමන් කරන බව ඇතැම්හු කියති. ඇසළ උත්සවයේ ආරම්භය අසුර විජයගෙන් ප්‍රීතිමත් වූ සුරයන්ගේ ජයපානෝත්සවයෙන් යයි ඇතැම් මානව විද්‍යාඥයෝ කියති. විෂ්ණු, ඊශ්වර, ස්කන්ධ යන දෙවිවරු ඇසළ උත්සවයේ ප්‍රධාන තැනක් ගනිති. ඇසළ පොහොය ශිෂ්ට ජන ජීවිතයේ ප්‍රබුද්ධ සංකේතයක් වීමට හේතුව ඈත අතීතයේ සිට පැවත එන ඇසළ සැණකෙළි බව ඇතැම් ඉතිහාසඥයන්ගේ මතයයි. ඇසළ පොහොය භාරතීය සමාජයේ ශ්‍රේෂ්ඨ දිනයකි. විශේෂයෙන් බෞද්ධයෝ ඇසළ පුර පසළොස්වක් දිනය උසස් ආගමික දිනයක් ලෙස සලකති. බෝසතුන් මව් කුස පිළිසිඳ ගැනීම, මහාභිනිෂ්ක්‍රමණය, දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, යමාමහ පෙළහර දැක්වීම, පියරජතුම් සූත්‍ර දේශනාව, යමාමහ කිරීම පිණිස කිඹුල්වතට වැඩීම, දෙව්ලොව දෙවියනට අභිධර්මය දේශනා කිරීම. දෙව්ලොව වස් වැසීම, ප්‍රථම ධර්ම සංගායනාවට සාකච්ඡා පැවැත්වීම, රුවන්මැලි සෑයේ ධාතු නිධාන උත්සවය පැවැත්වීම යනාදී කරුණු ඇසළ පොහෝ දිනය උසස් ආගමික දිනයක් ලෙස සැලකීමට හේතු වී ඇත. ඈත අතීතයේ විවිධ සැණකෙළි පැවැත්වූයේ ද, දේව පූජෝත්සව පැවැත්වූයේ ද ඇසළ මාසයේ බැව් කියති.

විජය ප්‍රාග් යුගයේ සිට ලක්දිව ඇසළ උත්සව පැවැත්වු බැව් සඳහන් වේ. ක්‍රි. ව. 113 වර්ෂයේදී ගජබා රජු සොලී යුද්ධයෙන් ජය ගැනීම නිමිති කොට ගෙන සදානුස්මරණීය ඇසළ උත්සවයක් පවත්වා ඇත. ඇසළ පුර පසළොස්වක් දිනය විශිෂ්ටත්වයට පත් වූයේ බුදුරජාණන් වහන්සේ ඉසිපතනාරාමයේදී දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ නිසා බැව් විශේෂයෙන් කිව යුතුය.

ප්‍රාග් බුද්ධ සමාජය කවර නම් දාර්ශනිකයකු විසින් වේවයි කවර නම් බුද්ධිමතකු විසින් වේවයි කවර නම් යථාර්ථවාදියකු විසින් වේවයි, කවර නම් සුචරිතවාදියකු විසින් වේවයි හෙළි නොකළ අතර්කාවචර දර්ශන මාර්ගයක් අවාච්‍ය වූ විශුද්ධි මාර්ගයක් බුදුරජාණන් වහන්සේ එදා ඇසළ මස පුර පසළොස්වක් දිනයේදී බරණැස ඉසිපතනාරාමයේදී ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඇසුරෙන් ලොවට හෙළි කළ සේක.

advertistmentadvertistment
advertistmentadvertistment