පෙරහැර කාලෙට අමතක නොවන අපුරු ගීතය

2103

මේ දිනවල පෙරහැර ගැන ගීත නිතර අසන්නට ලැබේ. ඒ දළදා පෙරහැර කාලය නිසාය. ඉස්සර අවුරුද්දේ සෑම කලකම පාහේ අසන්නට ලැබුණ ගමේ විහාරයට පෙරහැර යන අපූර්වත්වය අප මනසේ චිත්‍රණය කරවන මේ ගීතය දැන් ඇසෙන්නේ කලාතුරකිනි.

“පේළි පේළි පේළි සැදී ඇත්තු ඇදෙනවා
පේළි පේළි පේළි සැදී නැට්ටුවො එනවා
බෝල බෝල බෝල වගේ එළි කැරකෙනවා
අපේ ගමේ විහාරයට පෙරහැර එනවා”

අධිනීතිඥ ඩබ්ලිව්. ඒ. අබේසිංහයන්ගේ පද රචනයක් වන මෙම ගීතය තනු නිර්මාණය කොට සංගීතවත් කළේ වාද්‍ය විශාරද ලීලානන්ද රත්නායක සූරීන් විසිනි. මෙම ගීතය ගායනා කරන්නේ ආර්. පී. ආරියරත්න රාජපක්ෂ සහ ෂෙල්ටන් කුමුදු විජිත් සඳරත් යන දරුවන් විසිනි. අත්වැල් ගායනයෙන් ගුවන් විදුලියේ ළමා පිටියේ එකල දරුවන් කිහිප දෙනෙක් සහයෝගය දක්වා ඇත. මීට වසර පනස් එකකට ඉහතදී පටිගත කළ මෙම ගීතය ගායනා කරන අයගේ තොරතුරු නොදනී යනුවෙන් බොහෝ තැන්වල සඳහන් වී තිබීම එම ගායකයින්ට කරන බලවත් අපහාසයකි, අසාධාරණයකි. මෙම ගීතය ගැයීමට සහභාගී වූ එවකට වයස වසර එකොළහක් පමණ වූ ආර්. පී. ආරියරත්න රාජපක්ෂ සහ කුමුදු විජිත් සඳරත් නම් දරුවන් අද හැට විය ඉක්මවූ වැඩිහිටියන්ය. අපට මොවුන් මුණගැසී පිළිසඳරක යෙදෙන්නට ලැබීම තුළින් යළිත් මොවුන් හෙළිදරව් කිරීමට ලැබීම හරහා ඔවුන් මෙන්ම අපද ලබන්නේ බලවත් සතුටකි.

● ඔබ දෙපළ ආයුබෝවන් කියල පිළිගන්නවා.

ආයුබෝවන්

● මම මුලින්ම ආරි ගැන කතා කරන්න කැමතියි. ආරි ඔබේ ළමා කාලය පාසැල් කාලය පිළිබඳව කතා කරනවා නම්,

මගේ ගෙවල් බියගම වඩුවේගම. මම මුලින්ම ගියේ වඩුවේගම ප්‍රාථමික විද්‍යාලයට. එහෙදි පහේ ශිෂ්‍යත්වය සමත්වෙලා මට කැලණියේ ගුරුකුල විද්‍යාලයට යන්නට අවස්ථාව ලැබුණා. එහෙදිත් සැම විෂයටම වගේ මම දක්ෂකම් පෙන්නපු ශිෂ්‍යයෙක්. ගීත ගායනයටත් මට විශේෂ හැකියාවක් තිබුණා.

● ඒ ගායන හැකියාව ඔබට මොන ආකාරයෙන් එන්න ඇති කියලද ඔබ හිතන්නේ?

මගේ සීය හොඳ ගායන හැකියාවක් තිබුණ කෙනෙක්. එයා වයස අවුරුදු සීයකට වඩා ජීවත් වුණා. එයා අවුරුද සීයෙදිත් සර්පිනාව වාදනය කරමින් ගීත ගැයුවා. තවත් වයසට යද්දී එයාට සර්පිනාව බැලෝ කරගන්න අපහසු වුණා. එතකොට අපිට බැලෝ කරන්න කියල එයා සර්පිනාව වාදනය කරමින් ගීත ගැයුවා. ඒ කාලේ සීයත් එක්ක අපිත් ගීත ගායනා කළා.

● පේළි පේළි පේළි සැදී ගීයට ඔබට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

ලීලානන්ද රත්නායක සර් අපේ සංගීත ගුරුතුමා. ගුවන් විදුලි සංස්ථාවේ ළමා පිටියේ සංගීත සන්ධ්‍යාව කියන වැඩ සටහනට ගීතයක් ඉදිරිපත් කරන්න කියල එතුමාට ලැබුණ ආරාධනයකට අනුව මමත් කුමුදුත් ඒ සඳහා තෝරා ගත්තා. අත්වැල් ගායනයට පන්තියේ තවත් සිසුන් කිහිපදෙනකු තෝරාගත්තා. මේ ගීතය අතිශය ජනප්‍රිය වුණා. මේ හේතුව නිසාම සංගීත සංදර්ශන කරන උදවිය ඒවාට මාව එක්කරගෙන යන්න ගෙදර එන්න පටන් ගත්තා. මගේ ඉගෙනීමේ කටයුතු කඩාකප්පල් වෙයි කියල හිතපු මගේ දෙමාපියෝ මම සංගීතය කරනවට කැමති වුණේ නැහැ. එතැනින් මගේ සංගීත ගමන නිමාවුණා. මගේ අත් අකුරු ඉතාම ලස්සනයි කියල මාව ඒ දිනවල අත් අකුරු ලිවීමේ තරගවලටත් ඉදිරිපත් කළා. අත් අකුරු තරගයෙන් මට සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගන්නට හැකි වුණා.

● පාසැල් ගමනින් පසුව මොනවද වුණේ?

මම සාමාන්‍ය පෙළ විභාගය ඉතා ඉහළින් සමත් වුණා. උසස් පෙළ ඉගෙන ගත්තට විභාගයට ලිව්වේ නැහැ. ඔය අතරේ මට බන්ධනාගාර නියාමකවරයෙකු වශයෙන් රැකියාව ලැබුණා. ඒත් එතන රැකියාව කළේ මාසයක් පමණයි. ඉන් පසු මම රන්දෙණිගල ව්‍යාපාරයේ රියදුරෙක් හැටියට රැකියාවට ගියා. එතැන් පටන් දිගටම රියැදුරු රස්සාවල් තමයි කළේ.

● ඔබේ වැඩිමහල් සහෝදරිය විවාහ වෙලා ඉන්නේ ප්‍රවීණ නිවේදක ධර්ම ශ්‍රී වික්‍රමසිංහ මහතා සමඟ. ඔබ උරේෂා රවිහාරිගේ මාමා.

ඔව්, ධර්මශ්‍රී අයියගෙ ව්‍යාපාරයක් තිබුණා ශාරිකා එන්ටර්ප්‍රයිසස් කියල, ගීත කැසට් පට නිෂ්පාදනය කරලා බෙදාහරින ආයතනයක්. කාලයක් මම එතැන බෙදාහැරීම් කටයුතු කළා. පසුව සී ඩී තැටිවල ආගමනයත් සමග එම කටයුතු නතර කරන්නට සිදුවුණා. මම විවාහ වුණේ පාසල් කාලයේ ප්‍රේම සම්බන්ධතාවයක් මගින් දැන හඳුනාගත් මා ප්‍රිය බිරිඳ සමඟ. එදා ඉඳලම මගේ දුකේදී සැපේදී මගේ ළඟින්ම ඉන්නව ඇය. අපට දියණියන් දෙදෙනෙකුත් පුතෙකුත් සිටිනවා. ඔවුන් සියලු දෙනාම විවාහ වෙලා. පුතා දැන් ඇමරිකාවේ ජීවත්වෙන්නෙ.

● ඔබ ඉන් පසුව ගීත ගායනා කළේ නැද්ද?

නෑ. මම වෙනත් ගීත ගායනා කරලා නැහැ. නමුත් මට ගීත ගයන්න පුළුවන්.

● කුඩාකල සිටම ගායනයට වාදනයට දක්ෂකම් පෑ ඔබ අද ගායන වාදන විශාරදවරයෙක්. සංගීත ගුරුවරයෙක්. මා කැමතියි ඔබේ ළමා කාලයේ තොරතුරුවලින් කතාබහ අරඹන්නට.

මගේ අම්ම කිරිඳිවැල අමිතිරිගල. තාත්ත කිරිබත්ගොඩ ඊරියවැටියේ. අපි පදිංචිවෙලා හිටියෙ ඊරියවැටියේ. මට සහෝදරයො හතරදෙනෙකුයි සහෝදරියො හතරදෙනෙකුයි, දැනට සහෝදරයො ඔක්කොම මිය ගිහින්. මම ගෙවල් ළඟ ඉස්කෝලෙට පුංචිකාලේ ගියේ. එහෙදි ශිෂ්‍යත්වය පාස්වෙලා හයේ පන්තියට කැලණියේ ගුරුකුල විද්‍යාලයට ගියා. එහේ සංගීතය ඉගැන්වුවේ ලීලානන්ද රත්නායක සර්. දවසක් මට එතුමා කිව්වා සින්දුවක් කියන්න කියල. ඒක අහල එතුමා කිව්වා ඔයාට හොඳට තාලය, ශ්‍රැතිය පිහිටල තියෙනව, ඔයා සංගීතය කරන්න කියල. ඒ අනුව සංගීතය විෂයයක් වශයෙන් ඉස්කෝලෙදි ඉගෙන ගත්තා. ඉන් පසුව පාසලේ නාට්‍යවලට සංගීත වැඩසටහන්වලට සම්බන්ධවෙන්නට අවස්ථාව ලැබුණා. අපේ ඉස්කෝලේ කරපු ලබුකිරිබත් කියන නාට්‍යයේ නරියගේ චරිතය කරන්න තෝරගත්තෙ මම. ඒකෙ ගොඩක් ගීත තිබුණා. මගේ ගායන හැකියාව ඊට ඉවහල් වුණා. මෙම චරිතයෙන් පස්සේ මම ඉස්කෝලෙ හඳුන්වන්න පටන් ගත්තෙ “නරියා” ලෙසින්. ඊට පස්සේ ඉස්කෝලේ ඔක්කොම නාට්‍යවලට මාව නැතිවම බැරි කෙනෙක් වුණා. ඊට පස්සේ අපිට සමස්ත ලංකා නාට්‍යය තරගවලටත් යන්න අවස්ථාව ලැබුණා. ඒකෙන් මට සමස්ත ලංකා හොඳම නළුවාට හිමි සහතිකය දිනා ගන්නට පුළුවන් වුණා. මම කැලණිය ශාසනාරක්ෂක බලමණ්ඩලයට අයත් දහම් පාසල් අතර පැවැත්වූ ගායනා තරගයෙන් ප්‍රථම ස්ථානය ලබා ගත්තා.

● එතකොට ඔබ “පේළි පේළි පේළි සැදී ඇත්තු ඇදෙනවා” ළමා ගීතයට සම්බන්ධ වුණේ කොහොමද?

ආරි කිව්වා වගේ අපේ ලීලානන්ද ගුරුතුමාට ගුවන් විදුලියේ ළමා පිටියේ සංගීත සන්ධ්‍යාවට ලැබුණ අවස්ථාවට අපි දෙන්නා තෝරා ගත්තා. ගීතයේ පහළ ස්වරවලින් ගැයෙන කොටස් ආරිත් ඉහළ ස්වර වලින් ගැයෙන කොටස් මමත් ගායනා කළා. ගීතය එදා ඉඳල බෙහෙවින් ජනප්‍රිය වුණා. ඒ නිසාම විවිධ සංගීත ප්‍රසංග සඳහා මට සහභාගී වන්නට සිදුවුණා. පාසලේ වැඩ අඩාල කරගන්නේ නැතිව මම ඒවාට සහභාගී වුණා. සාමාන්‍ය පෙළ මම හොඳින් සමත් වුණා.උසස් පෙළට මාව තේරුණේ විද්‍යා අංශයට. ඒත් මගේ කැමැත්ත තිබුණේ කලා අංශයෙන් ඉගෙන ගන්න. ඔය අතරේ අපේ සංගීත සර් කැලණිය ධර්මාලෝක විද්‍යාලයට මාරු වුණා.ඒ සැරේ සර් එක්ක අපිත් ධර්මාලෝකෙට ගියා. එහෙදිත් අපි නාට්‍ය කළා. මම කලා අංශයෙන් උසස් පෙළ කරලා කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයට ඇතුළත් වුණා. එහිදී මා ජනසන්නිවේදනය සහ හින්දි භාෂාව ඉගෙන ගත්තා. ඒ අතරතුර මම ලීලානන්ද රත්නායක සර්ගෙන් උත්තර භාරතීය සංගීතය හදාරල සංගීත විශාරද උපාධිය ද ලබා ගත්තා.

● ඔබ වේදිකා නාට්‍ය සහ ටෙලිනාට්‍ය රැසක රඟපාලා තියෙනවා.

ඔව්, මම එකමුතුව, පරපෝෂිත, දණ්ඩන කඳවුර, ජම්පරය යන වේදිකා නාට්‍යවලත් සිත්තර ගුරුන්නාන්සේ, රම්‍ය නගරය, සිටුමැදුර, රතු ලේ කඳුළක් යන ටෙලිනාට්‍යවලත් රඟපාල තියෙනවා.

● දැනට ඔබ මොනවද කරන්නෙ?

සංගීත විශාරද විභාගයට ඉදිරිපත් වන දරුවන්ට උගන්වමින් කාලය ගත කරනවා. ඊට අමතරව වේදිකා නාට්‍ය දර්ශන යෙදුණොත් ඒවාට සහභාගී වෙනවා.

දිවයින පුවත්පත සමඟ පිළිසඳරකට එක්වූ ඔබ දෙපලට බෙහෙවින් ස්තුතිවන්ත වන අතර ආයුබෝවන් කියල ඔබට සමුදෙනවා.

සාකච්ඡා කළේ
චිත්‍රාන් මොරකන්දෙ ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment