පිටරට හාල් ගෙනාවොත් රටේ හාල්වලට මොකද වෙන්නේ

131

අප රටේ ජනතාවගේ ප‍්‍රධාන ආහාරය වන බත සම්බන්ධයෙන් පැනනඟින ප‍්‍රශ්න, ගැටලූ වරින්වර අලූත්වෙමින් තිබේ. එම නිසා ඒ පිළිබඳව සාකච්ඡාවට බඳුන් නොකර බැහැර කිරීමේ හැකියාවක් නොමැත. එමෙන්ම බත නිපදවීමේ කාර්යයේ මූලික පංගුකාරයන් වන ගොවිජනතාවද මේ වනවිට සිය ජීවනෝපායට අදාළ අර්බුද රාශියකට මැදිව සිටිති. එහෙයින් මේ සියල්ල එකම දම්වැලක පුරුක් ලෙස එකිනෙකට බැඳී පවතින්නකි. පසුගිය දිනවල වෙළෙඳපොළේ අධික ලෙස ඉහළ නඟිමින් තිබූ සහල් මිල තරමක් පහළට වැටී ඇත්තේ පිටරටින් ගෙන්වන ලද සහල්වල මහිමයෙනි. එසේ වුවද මේ රටේ වී සහ සහල් සම්බන්ධයෙන් පැනනැඟී ඇති අර්බුද විසඳී නැතැයි එහි නිරත පිරිස් කියා සිටිති.

ආනයනික සහල් වර්ග වෙළෙඳපොළේ සුලබවීම නිසා දේශීය සහල් සඳහා වන ඉල්ලූම විශාල වශයෙන් අඩුවී තිබෙන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි. වෙළෙඳුන් පවසන්නේ දේශීය සහල් සහ පිටරට සහල් අතර විශාල මිල පරතරයක් පවතින නිසා මෙලෙස දේශීය සහල් අලෙවිය පහත වැටී ඇති බවය. දේශීය සහල් කිලෝවක් රුපියල් 50ක් 60ක් පමණ මිල වැඩි නිසා වැඩි දෙනා පිටරට සහල් මිලදී ගන්නා බවද ඔවුහු පැවැසූහ.

මරඳගහමුල සහල් තොග වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳුන් ප‍්‍රකාශ කළේ දැනට සති දෙකක තුනක පමණ කාලයක සිට දේශීය සහල් සඳහා පැවැති ඉල්ලූම විශාල වශයෙන් අඩුවෙමින් තිබෙන බවය. මේ නිසා මහාපරිමාණ සහල් මෝල් හිමියන්ටද මෙතෙක් තමන් සිටි ස්ථාවරයේ රැඳී නොසිට සිය නිෂ්පාදනවල තොග මිල පහත දැමීමට සිදුව ඇති බවද කියති. මේ අතර ඔවුන්ගේ සහල් තොග සැපයුමද අඩුකර තිබෙන බවද දැනගන්නට තිබේ.

මහා පරිමාණ මෝල් හිමියන් උපායශීලීව වෙළෙඳපොළ ඒකාධිකාරියක් ගෙඩනඟා ගනිමින් ගතවූ මාස කිහිපය තුළ මේ රටේ බත්කන ජනයා මත පැටවූ අධික පීඩනය මේ වනවිට ඔවුන් කරා පාරා වළල්ලක් සේ පැමිණ ඇතැයි තතුදත් පිරිස් කියා සිටිති.

දේශීය සහල් අලෙවිය පහළ බැස තිබීම මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට කිසියම් පමණකට දැනෙන කාරණයක් නමුදු විශාල වශයෙන් පහර වැදුණේ මේ රටේ රටේ සුළු හා මධ්‍යපරිමාණ සහල් නිෂ්පාදකයන්ට බව එම සහල් මෝල් හිමියෝ කියා සිටිති. ගතවූ සති කිහිපය වනවිට මෙතෙක් ක‍්‍රියාත්මකව පැවැති සීමිත සහල් මෝල් සංඛ්‍යාවද මේ වනවිට වැසීගොස් ඇති බවද ඔවුහු කීහ. මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට සිදුවූයේ ඔවුන් ලැබූ අසීමිත ලාභය කිසියම් ප‍්‍රමාණයකින් අඩුවීමක් පමණක් බවද සුළු හා මධ්‍යපරිමාණ සහල් මෝල් හිමියන් ප‍්‍රකාශ කරති. ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය යල් කන්නයේ ඉතා අඩුමිලට ගොවීන්ගෙන් මිලදී ගෙන ගබඩා කළ වී තොග තවත් සෑහෙන කලයකට ප‍්‍රමාණවත් තරම් මහාපරිමාණ සහල් මෝල් හිමියන් සතුව තිබෙන බවයි. කෙසේ නමුත් පාරිභෝගිකයාගේ පැත්තෙන් පමණක් සලකාබලා රජය සහල් ආනයනික පිලිවෙත ක‍්‍රියාත්මක කර තිබෙන බව පෙනීයයි. ඒ හේතුවෙන් දේශීය සහල් නිෂ්පාදන කර්මාන්තය බිඳවැටීමේ කිසියම් අවදානමක් පවතින්නේ නම් ඊට නොපමාව පිලියම් යෙදීමේ වගකීමක්ද රජයට තිබේ. අප මීට ඉහතින්ද අවස්ථා ගණනාවකම පෙන්වාදී ඇති පරිදි පාරිභෝගිකයාට ඔරොත්තු නොදෙන ආකාරයට වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගියේ එහි පාලනය රජය අත්හල නිසාය. රටින් සහල් ගෙන්වීමේ ක‍්‍රියාදාමයට රජය යොමුවන්නේද මහා පරිමාණ සහල් මෝල් හිමියන් දිගින් දිගටම සිදුකළ සහල් මිල ඉහළ දැමීමේ කුලප්පු පිලිවෙත නිසා බැව් නොරහසකි. එමෙන්ම සහල් මාෆියාව රටේ කෘතිම සහල් හිඟයක්ද ඒ සමඟම ඇති කිරීමයි. එසේ නොමැතිව පිටරටින් සහල් ගෙන්වීමට සිදුව ඇත්තේ රටේ අවශ්‍යතාවයට සරිලන සහල් නොතිබූ නිසා යැයි කිසිවකු තර්කයක් ඉදිරිපත් කළහොත් කිසිසේත්ම එය සාධාරණව පිලිගත හැකි කාරණයක් නොවේ. මන්දයත් මේ රටේ ඉතාමත් සාර්ථක වී අස්වැන්නක් ලැබුණු කන්නයක් ලෙස පසුගිය යල කන්නය හැඳින්වෙන නිසාය.

මෑත කාලයේ රජය වුවමනාවෙන් අවුල් කරගත් නැතහොත් අනාගත් අංශ කිහිපය අතර මේ රටේ කෘෂිකර්මාන්තය ඉදිරියෙනි. එමෙන්ම ඒ හා බැඳුණු ජනතාවගේ ප‍්‍රධාන ආහාරය වන බත නිපදවීමට අවැසි සහල් පිළිබඳ කාරණයද ප‍්‍රමුඛය. ඒ අනුව සහල් ආනයනයට යොමුවීම අහඹු සිදුවීමක් නොව වැපුරූ දෙයෙහි අස්වැන්න නෙළා ගැනීමක් ලෙස හැඳින්වීමේ දොසක් නැත. ආහාර සුරක්‍ෂිතතාව නම්වූ අතිශය වැදගත් කාරණයේදී රජය පැත්තෙන් දක්නට ලැබුණු අසමත්කම මෙහිදී ප‍්‍රධානය. එමෙන්ම හදිසි නීතිය පවා උපයෝගීකර ගනිමින් සහල්, වී සම්බන්ධයෙන් පසුගිය කාලයේ කළ, කී ඇතැම් දේ මහජනයාගේ හාස්‍යයට පවා ලක්වූ අයුරු අපගේ මතකයට නැඟේ. එහිදී වී අස්වැන්න ගබඩාකිරීම සඳහා පැනැවූ තහංචි, වී තොග ප‍්‍රවාහණය තහනම් කිරීම් ආදිය මෙන්ම වී සහ සහල් තොග සොයා සිදුකළ මෙහෙයුම් විශේෂයෙන් සඳහන් කළ හැක. පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොවී අතරමැදියන් විසින් ගබඩාකර තිබෙන වී තොග සෙවීමේ විශේෂ මෙහෙයුමක්ද ඒ දිනවල පොලොන්නරුව, අම්පාර, ත‍්‍රිකුණාමලය ඇතුළු දිවයිනේ වී නිෂ්පාදනය කරන දිස්ත‍්‍රික්කවල ක‍්‍රියාත්මක කෙරිණි. ඒ තුළින් මෙරට වෙළෙඳපොළේ සහල් මිල ඉහළ යෑම කොතෙක් දුරට පාලනය කළහැකිවීද යන්න අපි නොදනිමු. එමෙන්ම ඊළඟට පැනනඟින ප‍්‍රශ්නය වනුයේ දේශීය සහල් අවශ්‍යතාවය සපුරාලිය හැකි විසඳුම් ක‍්‍රියාවලියක් මේ තුළින් ගොඩනැඟේනුයේද යන්නය.

බත නිපදවන දිස්ත‍්‍රික්කවලින් මේ මොහොතේත් රජයට නැෙඟන ප‍්‍රබල විරෝධය වී ඇත්තේ එක්වරම කාබනික වගාවකට ගොවීන් යොමුකර මෙතෙක් කරගෙන ආ වී ගොවිතැන අවුලෙන් අවුලට පත්කිරීම ගැනය. රටට අවශ්‍ය සහල් මේ දක්වා රට තුළ නිෂ්පාදනය කරමින් තිබූ වැඩපිළිවෙල අවුලෙන් අවුලට පත්වූ බව ගොවි ජනතාව කියති. රසායනික පොහොර භාවිතය එකවරම තහනම් නොකර ක‍්‍රමානුකූලව කාබනික වගාව සඳහා යොමුනොවීමේ ප‍්‍රතිවිපාකය දැන් මුළු රටක් විසින්ම අත්දකිමින් තිබෙන අතර එහි අහිතකර හෙණගෙඩිය ප‍්‍රධාන වශයෙන්ම පාත්වී ඇත්තේ ගොවියාගේ හිස මතට බව නොරහසකි. මෙවර මාස් කන්නයේ වී අස්වැන්න සියයට පනහකටත් වඩා අඩුවී ඇතැයි දැනට වී අස්වනු නෙළන ගොවිබිම්වලින් මේ වනවිට වාර්තාවී තිබේ.

පිටරට හාල් ගෙනාවොත් රටේ හාල්වලට මොකද වෙන්නේ

රටේ වී නිෂ්පාදනය පහත වැටීම යනු ගොවියාගේ ආර්ථිකය කඩා වැටීමට බලපාන මූලික කාරණයෙකි. එමෙන්ම මහජනතාවට පරිභෝජනයට අවශ්‍ය සහල් සම්බන්ධයෙන් ඇතිවන ප‍්‍රශ්න ඊට නොදෙවෙනිය. එපමණක් නොව දේශීය සහල් නිෂ්පාදන කර්මාන්තය කඩාවැටීම නිසා ඇතිවන අර්බුදයද වඩාත් බරපතළය. මේ වනවිට මේ රටේ ක‍්‍රියාත්මකව පැවැති සහල් මෝල් 500කට වැඩි ප‍්‍රමාණයක් වැසීගොස් ඇතැයි සහල් නිෂ්පාදකයන්ගේ සංගම් කියා සිටී. එයට බලපා ඇති ප‍්‍රධාන හේතුව සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය වී තොග ඔවුන් සතුව නොමැතිවීම බවද කියා සිටිති. මේ අතර රට සහල් වෙළෙඳපොළේ බහුලවීම නිසා මෙතෙක් සහල් නිෂ්පාදනය කරමින් තිබූ ඉතිරි සහල් මෝල් ප‍්‍රමාණයද වැසුණු බව සමස්ත ලංකා සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී. කේ. රංජිත් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මරඳගහමුල සහල් තොග වෙළෙඳපොළේ දැනට සති 03ක පමණ කාලයක පටන් දේශීය සහල් අලෙවිය මුළුමනින්ම ඇනහිට තිබෙන බවය.

රටේ සහල් නිෂ්පාදන ක‍්‍රියාවලිය ඇන හිටීමෙන් දේශීය ආර්ථිකයට ඇතිවන බලපෑම සුළුපටු නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. එහිදී විශේෂයෙන්ම සහල් ආනයනය සඳහා අතිවිශාල මුදල් සම්භාරයක් විදේශ රටවලට ඇදීයෑම නොවැළැක්විය හැකිය. සහල් නිෂ්පාදන කර්මාන්තයට සම්බන්ධ රැකියාවල නියුතු ලක්‍ෂ සංඛ්‍යාත පිරිසකට එම රැකියා අහිමිවීම මෙයින් සිදුවන බරපතළම පාඩුව ලෙස පෙන්වාදිය හැක. සහල් නිෂ්පාදනයට අමතරව සත්ව ආහාර නිපදවීම සඳහා උපයෝගිකර ගන්නා අමුද්‍රව්‍ය වන සහල් නිවුඩු, සහල් කුඩු ආදිය වෙළෙඳපොළට සැපයෙන ප‍්‍රමාණය මේ වනවිට විශාල වශයෙන් අඩුවී තිබේ. ඒ හේතුවෙන් දේශීය වශයෙන් සත්ව ආහාර නිෂ්පාදනය කිරීම මෙතෙක් කරගෙන ආ විශාල පිරිසකට එම ජීවනෝපාය අහිමිවී ඇති බව කියති. එපමණක් නොව සත්ව ආහාර මෙතෙක් පිටරටින් ගෙන්වූ ප‍්‍රමාණයට වඩා වැඩි ප‍්‍රමාණයක් රටින් ගෙන්වීමට රජයට සිදුවන අතර ඒ සඳහාද විශාල මුදලක් වැයකිරීමටද සිදුවනු අනිවාර්ය තත්ත්වයකි. මේ අන්දමට සෘජුව සහ වක‍්‍රව රටට සිදුවන පාඩුව පිළිබඳ බොහෝ කරුණු පෙළගැස්විය හැකි අතර ඒ සියල්ල අවමකර ගැනීම සඳහා පිලියම ලෙස බිඳවැටුණු සහල් නිෂ්පාදන කර්මාන්තය යළි ඇතිකිරීම බව පෙන්වාදිය හැකිය. රසායනික පොහොර නොමැතිව කාබනික පොහොර භාවිතයට යෑම නිසා මෙවර වී අස්වැන්න පහත වැටී ඇතැයි කණස්සල්ලෙන් පසුවන ගොවිජනතාවට කිසියම් සැනසිලිදායක පුවතක් මේ වනවිට අසන්නට ලැබී තිබේ. එනම් ජනාධිපති ගෝඨාභය රාජක්‍ෂ මහතාගේ උපදෙස් මත ඉතිහාසයේ මෙතෙක් කවරදාකවත් ලබානොදුන් සහතික මිලක් මෙවර ගොවියාගේ වී කිලෝවට ලබාදීමයි. එනම් වී කලෝවක් සඳහා රුපියල් 90ක් ඉක්මවා යන මිලකි. වී කිලෝවේ රජයේ සහතික මිල රුපියල් 75ක් ලෙස මීට පෙර ප‍්‍රකාශයට පත්වුණද එම මිලට ගොවියන්ගේ එකඟතාවයක් පලනොවුණි. පොලොන්නරුවේ ගොවි නායකයන් එම වී මිල සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ගොවීන් මෙවර වී කිලෝව රුපියල් 120ට වඩා අඩුවෙන් දෙන්නට සූදානම් නැති බවය. පසුගිය සඳුදා (31) වනවිට රජය වි මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භකර කළේ වී කිලෝවේ සහතික මිලද ඉහළ දමමිනි. ඒ අනුව නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 90ක් සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 92ක් සහ කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 95ක් වශයෙන් රජයේ සහතික මිලක් නියම කර තිබේ. වී අලෙවි මණ්ඩලයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන එන සෑම වී කිලෝවක් සඳහාම රුපියල් දෙක බැගින් ප‍්‍රවාහන ගාස්තුවක්ද ගෙවනු ලබන බව වී අලෙවි මණ්ඩලය කියයි. මෙවර මාස් කන්නයේ වී මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 03ක් මිලදී ගැනීමට රජය බලාපොරොත්තු වන බවද දැනගන්නට ඇත.

මේ අන්දමට ආරක්‍ෂක වී තොගයක් ලෙස රජය වී මිලදී ගනු ලැබුවද මීට පෙර බොහෝ අවස්ථාවල අවසානයේ එම වී තොග නතර වුණේ පෞද්ගලික මෝල් හිමියන්ගේ ගබඩාවේය. එයට හේතුව මිලදී වී තොග සහල් බවට පත්කිරීමේ වැඩපිළිවෙළක් රජයට නොමැතිකමය. කලකට පෙර එවැනි හැකියාවක් රාජ්‍ය අංශය සතුව පැවැති නමුත් රටේ විවිධ ප‍්‍රදේශවල තිබූ ඒ මහා පරිමාණ සහල් මෝල් සංකීර්ණ පිටින්ම මේ වනවිට පෞද්ගලික අංශයට විකුණා දමා තිබේ. එම නිසා සහල් නිෂ්පාදනය සම්බන්ධයෙන් මේ වනවිට ප‍්‍රාථමික මට්ටමේ හෝ හැකියාවක් තබා වංගෙඩියක් මෝල් ගහක් තරමවත් රජය සතුව නොමැති බව පෙන්වාදිය හැක. එම නිසා ගොවියාගේ වී අස්වනු මිලදී ගැනීමේ වැඩපිළිවෙළින් පමණක් නොනැවතී රාජ්‍ය අංශය සතු සහල් නිෂ්පාදන ක‍්‍රියාවලියකට යොමුවීම කාලීන අවශ්‍යතාවක් බව විෂය දැනුමැති පිරිස් පෙන්වා දෙති. වර්තමානයේ රට හමුවේ තිබෙන මූලික ගැටලූවක් වන ජනතාවගේ ප‍්‍රධාන ආහාරය වන බත සඳහා අවැසි සහල් සපයාදීම වෙනුවෙන් එවැනි දීර්ඝකාලීන විසඳුම් සෙවීමේ ක‍්‍රියාවලියකට යෑම අනිවාර්ය බවද ඔවුන්ගේ අදහසය. එමෙන්ම සහල් නිෂ්පාදනය සම්බන්ධයෙන් ගත්කළ අප රටේ පවතින ඒකාධිකාරිය වෙනුවට විමධ්‍යගත වැඩපිළිවෙළක අවශ්‍යතාවද ඔවුහු ගෙනහැර දක්වති. එහිදී මූලික වශයෙන් මේ රටේ දැනට වී නිෂ්පාදනය බහුල දිස්ත‍්‍රික්කවල ගොවි ජනතාව සහ ගොවි සංවිධාන ඒකරාශීකරවීම තුළ සහල් නිෂ්පාදන යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලා ඒ සඳහා රාජ්‍ය අනුග‍්‍රහය ලබාදීම කළහැකි බවද එම විද්වතුන් වැඩිදුරටත්් පෙන්වා දෙති. සහල් ආනයනය සඳහා දැනට වැය කෙරෙන විශාල මුදල් කන්දරාව රට තුළ ඉතිරිකර ගැනීමට එමගින් හැකියාව ලැබෙන අතර වී ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම දේශීය සහල් නිෂ්පාදකයා ආරක්‍ෂාකර ගැනීමටද අවස්ථාව සැලසෙන බව අවිවාදිතය.

ඉහළ යන සහල් මිල සම්බන්ධයෙන් මෙන්ම අප රටේ සහල් නිෂ්පාදන කර්මාන්තයත් වී ගොවියාත් පිළිබඳව අපට දිගින් දිගටම සාකච්ඡා කිරීමට සිදුවූයේ රජය සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කර එහි වගකීම මහා පරිමාණ සහල් මෝල් හිමියන් අතළොස්සකට පැවැරීමෙන් පසුවය. රටේ සහල් සම්බන්ධයෙන් අර්බුද රැසක් නිර්මාණය වූයේ ඉන්පසුව බව නොරහසකි. පිටරටින් සහල් ගෙන්වීම දක්වා යන්නට රජයට සිදුවූයේද එම නිසා බව පිලිගත යුතුය. එසේ වුවද කලක් සහලින් ස්වයංපෝෂිතව පැවැති අප රටේ වර්තමානයේ ඇතිවී තිබෙන මේ දුක්මුසු තත්ත්වයන්ට පිලියම් ලෙස දිගින් දිගටම සහල් ආනයනය කිරීමේ පිලිවෙතකට රජය අවතීර්ණය වීම කිසිසේත්ම නොගැළපෙන්නකි. එම නිසා සහල් නිෂ්පාදනය සම්බන්ධව දැනට තිබෙන ඒකාධිකාරියේ බල මහිමයෙන් සැලසුම් සහගතව සිදුකරන සහල් මිල ඉහළ දැමීම, කෘතිම ලෙස සහල් හිඟයන් මවාපෑම වැනි අර්බුද තවදුරටත් ඇති නොවීම සඳහා තිරසර විසඳුම් යෙදීමට කාලය පැමිණ තිබෙන බව වගකිවයුතු උදවිය අප‍්‍රමාදව තේරුම් ගතයුතුය. එසේ නොමැතිව ගජමිතුරු සුරක්‍ෂා පිලිවෙත්හි පිහිටා සිටිමින් අඳුරේ අතපතගෑම පමණක් ප‍්‍රමාණවත් නොවේ. එමගින් මේ රටේ බත්කන ජනයාගේ ගැටලූව සැබෑ ලෙස විසඳාලීමට නොහැකිවා පමණක් නොව අතීසාරයට අමුඩ ගසා හත්පොලේ ගාගැනීමක් වැනි යැයි කීමේ කිසිදු වරදක්ද නැත.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment