විකලාංග රෝගීන්ට සුභාරංචියක්…ඇටකටු බද්ධ කරන්නත් ‘සිමෙන්ති’

98

මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාසගේ සොයාගැනීමක්

මිනිස් සිරුරේ සවිමත් ම කොටස අස්ථි පද්ධතිය ය. “දෙනවා ඇටකටු ටික කුඩු වෙන්න” ඉවසීමේ රතු ඉර ඉක්මවා ගිය කල සමහරු එසේ පවසන්නේ ද සවිමත් ම කොටස එය වූ බැවිනි. කුමන හෝ අනතුරකින් අස්ථියක සියුම් පිපිරීමක් ඇතිවූ විට දැනෙන වේදනාව දෙවැනි වනවා නම් දෙවැනි වන්නේ ප්‍රසූත වේදනාවකට පමණි. එය එතරම් ම වේදනාකාරී ය. එපමණක් නොව කාලයක් යනතුරු දෛනික කටයුතු සුපුරුදු ලෙස කරගෙන යෑමට බැරි තරම් රෝගියා එවැනි අනතුරකින් අසරණ වෙයි. මේ අසරණකම රෝගියාට මෙන් ම සංවේදී, අනුවේදී හදවතක් ඇති සැබෑ ජීවකයාට ද දැනෙයි.

මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස ජීවකයාට රෝගීන්ගේ වේදනාව මෙන් ම ආර්ථික අහේනියේ බර ද හොඳින් ම දැනිණි.

අස්ථියේ ඇති වන සුළු ඉරි තැලීමක් කාලයකදී හාවී යථා තත්ත්වයට පත් වෙයි. එහෙත් පැළුණු අස්ථි අතර පරතරයක් තිබුණොත්… එවිට එසේ වන්නේ නැත. ඒ පරතරය නැති කිරීමට නම් යම් ද්‍රව්‍යයකින් (මේවා bone graft material ලෙසින් හඳුන්වයි.) පිරවිය යුතු ය.

(ගඩොලින් ගඩොලක් සිමෙන්තිවලින් සම්බන්ධ කරනවා වාගේ මෙහිදී අස්ථි පරතරය ද සිමෙන්ති වැනි ද්‍රව්‍යයකින් පුරවනු ලැබෙයි.) ලෝක වෙළෙඳ පොළේ එවැනි කෘත්‍රිම දේ බොහෝ තිබුණ ද ඒවා මිලෙන් ඉතා ඉහළ ය. එවැනි ද්‍රව්‍ය ග්‍රෑම් 1 ක මිල ඩොලර් 180 ක් හෝ ඊට වැඩි අගයක් ගනියි. අපේ රටේ මුදලින් නම් එවැනි ද්‍රව්‍ය ග්‍රෑම් 1 ක් ගැනීමට රුපියල් 60000 කට අධික මුදලක් වැය කළ යුතුයි. එදා වේල සරි කර ගැනීමට නො විඳිනා දුක් විඳින ජනතාවකට එවැනි අධික මුදලක් සොයා ගැනීමට වඩා ආබාධය සමග මරණය දක්වා වේදනාකාරීව ජීවත් වීම පහසුය. මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස රෝගීන් කබලෙන් ළිපට නො දමා ඔවුන්ට සහනයක් ලබා දෙන මගක් සෙවී ය.

හරක් අස්ථි බදාමය

ඔහු මෙවැනි පර්යේෂණ පිළිබඳ සොයා බලද්දී නවසීලන්තයේ විද්‍යාඥයන් පිරිසක් හරකුන් ගේ අස්ථිවලින් මෙවැනි අස්ථි බද්ධ කිරීම් සිදු කළ හැකි දැයි බැලීමට පර්යේෂණ සිදුකරන බව දැනගැනීමට ලැබිණි. නවසීලන්තයේ මෑසේ සරසවිය ඒ වන විට හරකුන් ගේ අස්ථි බැටළුවකුට බද්ධ කර සාර්ථක ඵල නෙලා ගෙන තිබිණි. අනතුරුවලින් අස්ථි පිපිරීම්වලට ලක්වන, ගැටිති ඉවත් කිරීමේ හේතුවෙන් අස්ථි අහිමිවන රෝගීන්ට හරක් අස්ථි යොදා ගත නො හැකි ද? යන පැනය විද්‍යාඥයන්ට ඇති විය. පළමු වැනි ලෝක යුද සමයට පසු ජර්මනියේ විද්‍යාඥයන් මෙවැනි වෑයමක් දරා තිබුණ ද එය අසාර්ථක වී තිබිණි. වෙලින්ටන් වෛද්‍ය පාඨශාලාවේ විද්‍යාඥයන් සහ වයිකාටෝ සරසවියේ විද්‍යාඥයන් පර්යේෂණ කටයුතු ඇරැඹී ය. ප්‍රසන්න ප්‍රේමදාස මහාචාර්යවරයා ද ඔවුන් සමග කතා කර පර්යේෂණ කණ්ඩායමට එක් විය. ශ්‍රී ලාංකේය විකලාංග වෛද්‍ය විද්‍යාවේ මහා පෙරළියකට මුල පුරන ඔහුගේ නවසීලන්ත සංචාරය සිදුවූයේ 2019 වසරේදීය. මහාචාර්යවරයා මසක කාලයක් එහි ගත කළේය. පර්යේෂණය සිතුවාටත් වඩා සාර්ථක විය. වෙළෙඳ පොළේ ඇති කෘත්‍රිම ද්‍රව්‍ය හා සමාන හෝ ඊටත් වඩා සාර්ථක පිරවුම් ද්‍රව්‍යයක් හරක් අස්ථිවලින් නිපදවීමට පර්යේෂණ කණ්ඩායම සමත් විය. නව නිෂ්පාදනයේ ග්‍රෑම් 1 ක් රුපියල් දෙදහසක තරම් මුදලකට ලබා ගැනීමට හැකි වන අතර එය අසරණ රෝගියකුට මහමෙරක් හා සමාන වනු ඇත.

නවසීලන්ත විද්‍යාඥයන් සමග එක්ව මහාචාර්යවරයා අමෙරිකාවෙන් පේටන්ට් බලපත්‍රයට අයැදුම් කර තිබෙයි. ළඟදීම ඔහුට එහි පේටන්ට් හිමිකරුවකු වීමට වරම් ලැබෙයි.

පීඩාවට පත් රෝගීන් සුවපත් කිරීම අපේ ජීවකයාගේ ප්‍රධාන ඉලක්කයයි. ඊට අමතරව ඔහුට රට වෙනුවෙන් තවත් ඉලක්කයක් තිබෙයි. කලාපීය රටවලට නව නිෂ්පාදනය අලෙවි කළහොත් එය ලංකාවට ධන උල්පතක් කර ගත හැකි ය. නිෂ්පාදනයේ ග්‍රෑම් 1 ක් රුපියල් 30000කට පමණ අලෙවි කළ හැකි අතර එය ද රටට ආර්ථික වාසියකි. දැනටමත් සුළු පරිමාණයේ ඉන්දියානු සමාගමකින් ඔහු වෙත ඇරැයුම් ලැබී තිබෙයි. රටේ රෝගීන් ගේ අවශ්‍යතා සපුරමින් ඒ ඉලක්කය කරා ළඟාවීමට මහාචාර්යවරයා බලා සිටියි.

ඈත්වූ අස්ථි පිරවීමට හරකුන්ගේ අස්ථිවලින් සාදා ඇති කුඩු ස්වභාවයකින් ඇති නව නිපැයුම ඔහු තවදුරටත් වැඩි දියුණු කරමින් සිටින්නේ ය. දන්ත වෛද්‍යවරුන් ගේ ඉල්ලීම මත ඔහු ඊට දන්තාලේප මෙන් පල්ප ස්වභාවයක් ගෙන දීමට කටයුතු කරමින් සිටියි. විකලාංග වෛද්‍ය ක්ෂේත්‍රයට මෙන් ම දන්ත වෛද්‍ය විද්‍යාවේ ද නව පෙරළියකට නව නිෂ්පාදනය අනාගතයේදී හේතුවනවා නිසැක ය.

ඊළඟ ඉලක්කය පෝෂණ ඌනතාවට ප්‍රෝටීන අවශ්‍යතාවෙන් සියයට අසූවකට වඩා සපුරන අපේම දෙයක් නව නිපැයුම්කරුවකු ගේ සිහින ඉලක්කයන්හි නිමක් නැත. ඔහු ගේ අලුත් ම සිහිනය ලංකාවේ තවත් දැවෙන ප්‍රශ්නයකට විසඳුම් ලබා දීමයි. ඒ සිහිනය යථාර්ථයක් කිරීමට මේ වන විට ද ඔහු මුල පුරා පියවර රැසක් ගෙන අවසන් ය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව අපේ රටේ ජනගහනයෙන් සියයට විසි හතකට වැඩි ප්‍රතිශතයක් ප්‍රෝටීන ඌනතාවෙන් පීඩා විඳින්නේ ය. සතර වටේ මහ මුහුද තිබුණ ද ප්‍රෝටීන් අවශ්‍යතාවෙන් සියයට සියයක් ම වාගේ සපුරා ගත හැකි මාළු මිලදී ගැනීමට ගිය විට පාරිභෝගිකයාට මාසික වැටුපම වාගේ වැය කිරීමට සිදුවන තරමට ඒවා ගිනි

ගණන් ය. වෙළෙඳ පොළේ ඇති ප්‍රෝටීන ආහාර පාන නිෂ්පාදනවල මිල ඊටත් ඉහළ ය. මහාචාර්යවරයා ප්‍රෝටීන අවශ්‍යතාවෙන් සියයට අසූවකට වඩා සපුරන අපේම දෙයක් නිපදවමින් සිටියි. අප ගන්නා ආහාරවලට එක්කරගත හැකි පරිද්දෙන් නිපදවන එය මන්දපෝෂණ

ගැටලුවට ලබා දෙන සාර්ථක පිළිතුරක් වනු ඇත. මේ සියලු පර්යේෂණවලට කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පීඨාධිපති වන ප්‍රසන්න ප්‍රේමදාස මහාචාර්යවරයාට අවශ්‍ය මූල්‍යාධාර ඇතුළු සියලු සහාය උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් ඇතුළු කාර්ය මණ්ඩලයෙන් නො මදව ලබාදෙයි. බිරිය දරුවන් තිදෙනා ද රැක බලාගනිමින් නිවෙසේ බර කරට ගනිමින් ලබා දෙන සහාය ඔහුට නිදහසේ පර්යේෂණ සිදු කිරීමට නව නිපැයුම් සොයා ගැනීමට ලැබෙන විශාල අස්වැසිල්ලකි. අත්වැලකි. කොවිඩ් සමයේ මහාචාර්යවරයා වැසූ කාමරයක විෂබීජ රැඳුණු වාතය පිරිසිදු කරන උපකරණයක් නිපදවූ අතර එයට නව නිපැයුම් තරගයෙන් අගැයුම් සහතිකයක් ලැබිණි.

දස වසරක කාලයක් බ්‍රිතාන්‍යයේ සිටි ප්‍රසන්න මහතාට පින්බර ලංකාවේත් දියුණු යැයි සම්මත රටවලත් වෙනස හොඳින් දැනෙයි. ශ්‍රී ලංකාව වැටෙන සෑම අවස්ථාවක ම නැගී සිටින පාරාදීසයක් වැනි දේශයකි. සුනාමියේදී ශ්‍රී ලාංකිකයන් වැටුණේ නැත.

ලංකාව ආර්ථික අගාධයකට වැටී ඇති කාලයක මව්බිමේ ජනතාවගේ බදු මුදලින් උගත් බොහෝ විද්වතුන් රට හැර යද්දී ජාතියේ පිනට උපන් ප්‍රසන්න ප්‍රේමදාස වැනි මහාචාර්යවරුන් වැටුණු වළෙන් රට ගොඩ ගැනීමට වෙහෙසෙන්නේ ය. ලක් මාතාවට අවශ්‍ය එවැනි පුතුන් ය. එවැනි දූවරුන් ය.

චම්පිකා දීපානි රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment