රජයේ රෝහල්වල බෙහෙත් වර්ග 56ක හිඟයක්

48

රජයේ රෝහල්වල ඖෂධ වර්ග 56ක හිඟයක් පවතින බැව් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේ දී අනාවරණය විය.

වෛද්‍ය සැපයුම් අංශයේ දත්ත පද්ධතිය අනුව ඖෂධ වර්ග 188ක හිඟයක් පවතින බවට පෙන්නුම් කළ ද රජයේ රෝහල්වල හිඟව පවතින්නේ ඖෂධ වර්ග 56ක් පමණක් බැව් මෙහිදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය.

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14 ම තිබෙන බවත් හිගව ඇත්තේ ඖෂධ වර්ග 860න් 56ක් පමණක් බවත් ඇතැම් රෝහල්වල අඩුවක්ව පවතින්නේ ඖෂධ වර්ග අට, දහය, පහළොව, විස්ස ආදි වශයෙන් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කීය. ඉකුත් මාස තුනේ දී ඖෂධ සැපයීමේ විශාල ප්‍රගතියක් සෞඛ්‍ය පද්ධතියේ ඇති වී තිබෙන බවත් පසුගිය කාලයේ ඖෂධ වර්ග 280ක හිඟයක් පැවැති බවත් මේ වන විට එම ඖෂධ හිඟය 56 දක්වා අඩු වී ඇති බවත් හෙතෙම පවසයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නිෂ්පාදනය කරනු ලබන ඖෂධ වර්ග 84ක් පළාත් ගබඩා මගින් නිකුත් කරනු ලබන බවත් ඖෂධ වර්ග 100කට වඩා වැඩි සංඛ්‍යාවක් දේශීය නිෂ්පාදකයින්ගෙන් ලැබෙන බවත් සඳහන් කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ධාරිතාවය වැඩිකොට ඇති බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment