උපන් දින සතුටට යහළුවන් සමග මුහුදේ  දිය නෑ 17 වියැති සිසුවා දියේ ගිලී අතුරුදන්

374

පයාගල, කලමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකු සිය 17 වන උපන්දිනදා මිතුරන් දෙදෙනෙකු සමග දිය නාමින් සිටියදී මුහුදේ ගිලී අතුරුදන්ව ඇතැයි පයාගල පොලිසිය පවසයි.

රන්මුතු ඩෙරන් සිල්වා නමැති 17 හැවිරිදි පාසල් සිසුවෙකු මෙසේ මුහුදේ ගිලී අතුරුදහන්ව ඇතැයි පොලිසිය කීය.

ඔහුගේ උපන්දින සැමරුම වෙනුවෙන් මිතුරන් සහ පවුලේ සමීප සාමාජිකයින් එදින උපන්දින සාදයක් පැවැත්වීමට සූදානම් කර සිටි බවද සඳහන් වේ.

මිතුරන් කිහිප දෙනෙකු උපන්දින සාදයට අවශ්‍ය ත්‍යාග රැගෙන ඒමට ගොස් ඇති අතරතුර එයට සහභාගි වීමට පැමිණි තවත් මිතුරන් දෙදෙනෙකු සමග ඔහු පයාගල, කලමුල්ල සාන්ත අන්තෝනි පාර කෙලවර මුහුදු වෙරළේ ගල් වැටිය අසල දිය නාමින් සිටියදී අනතුර සිදුව ඇත.

තිදෙනා එක්වරම රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර, අසල සිටි තරුණයෙක් වහා මුහුදට පැන එක් සිසුවෙකු බේරාගෙන තිබේ. අනෙක් සිසුන් දෙදෙනා ලී කොටයක එල්ලී සිට ඇති බවත් ඉන් එක් සිසුවෙකු බේරාගැනීමේදී අතුරුදහන් සිසුවා එක්වරම දියේ ගිලී නොපෙනී ගිය බවත් බේරාගැනීමට මුල්වූ තරුණයා පැවසීය.

අතුරුදහන්ව ඇති සිසුවා කළුතර සිරිකුරුස විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන දක්ෂ සිසුවෙකු බවත්, අපොස සාපෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිට ඇති බවත් සඳහන් වේ.

අතුරුදන් වූ සිසුවා සොයා නාවික, පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් මෙහෙයුම් සිදුකරන නමුත් ඊයේ උදෑසන වනවිටත් ඔහු හමුවී නොතිබුණි.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment