සිවුපසය ලබාදී ජීවිතය ස්වභාවධර්මයට සමීපකොට ගන්න

87

පිංවත අපි හැමෝටම සාංසාරික පුරුදු තිබෙනවා. මේ සාංසාරික පුරුදු කලඑළි බහින්නේ සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය තුළින්. යම් පිංවත් දරුවෙක් ළමා වයසේදිම අසාමාන්‍ය ලෙස කේන්ති ගන්නවා නම්, එම දරුවා පෙර පටිච්චසමුප්පන්න ජීවිතයේදී කේන්තිය හොඳින් පුහුණු කළ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ දරුවා තුළ අසාමාන්‍ය ලෙස රාග සිත් ඇතිවෙනවා නම්, එම දරුවා පෙර ජීවිතයේදි කාමයේ වරදවා හැසිරීම තදින් පුහුණු කළ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ ළදරුවා නින්දේදි සිහිනෙන් බියට පත්වී හඬනවා නම්, පෙර ජීවිතයේදි මරණාසන්න මොහොතේ බියජනක මරණීය අත්දැකීමකට මුහුණ දුන්න කෙනෙක් වෙන්න පුළුවන්.

ඔබේ දරුවා අධ්‍යාපන කටයුතුවලදි අසාමාන්‍ය ලෙස දුර්වල නම්, පෙර ජීවිතයේදි එම දරුවා මහණ බමුණන්ගේ, වැඩිහිටියන්ගේ අවවාද නොතැකූ දරුවෙක් වෙන්න පුළුවන්. පිංවත මෙම අතීත සංස්කාර හේතුවෙන් සකස්වෙන දැනීම්වලට යටත්ව අපි සමාජය දැක්කොත්, අපිට සමාජය තේරුම් ගන්න පහසු වෙනවා. වරක් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරත්දි එක් පිංවතෙක් ගොරවමින් හොඳටෝම නින්ද ගිහින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මොහු දීර්ඝ කාලයක් සර්ප කුලයේ ඉපදුන කෙනෙක්ය කියලා. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරත්දි, ධර්මයට සවන් නොදී තම මහපට ඇඟිල්ලෙන් වැලි මළුවේ ඉරි අඳිමින් සිටින පිංවතෙක් මුල්කොටගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මොහු දීර්ඝ කාලයක් ගැඩවිලි පණු කුලයේ ඉපදුන කෙනෙක්ය කියලා. පිංවත වේගයෙන් සමාජගතවෙන අසම්මත මනුෂ්‍ය හැසිරීම් ගැන ගැටෙන්න එපා. මේවා ඔබේ ධර්මාවබෝධය උදෙසා සුන්දර හේතුඵල ධර්මයන්ම බව නුවණින් තේරුම් ගන්න.

පිංවත අතීතයේ ලන්දේසි, පෘතුගීසි සහ ඉංග්‍රීසි ජාතිකයින් මව්බිම යටත්කොටගෙන සිටියදී, තම උපන් මව්බිම පාවා දී, තනතුරු, වරප්‍රසාද උදෙසා විදේශීය පාලකයින් සතුටු කළ අපේම ඇත්තෝ, වර්තමානයේ පටිච්චසමුප්පන්නව මනුෂ්‍යයින් වී ඉපදී සිටිනවා නම්, එම පිංවතුන්ලාගේ එකම ව්‍යායාමය රට, ජාතිය, ජාතික සම්පත් විදේශිකයින්ට යටත්කොටදීම උදෙසාමය. පිංවත සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය අපේ ටයිකොට් සහ ජාතික ඇඳුම් විනිවිද, අතීත ජාති අනාලයේ නිරුවත කදිමට පෙන්නා දෙනවා. පිංවත තෘෂ්ණා පච්චයා උපාදානං ධර්මය තිබෙන්නේ ඇලෙන්න හෝ ගැටෙන්න නොවේ. හේතුඵල ධර්මයන් නුවණින් දකින ධර්මයේ උපේක්ෂාව ඇතිකොට ගන්නයි. එම ධර්මයේ උපේක්ෂාවෙන් ඇතිකොට ගන්නා සම්මා සමාධිමත් සිතයි, තෘෂ්ණා නිරෝධා උපාදාන නිරෝධෝ කියන අර්ථය දැකීමේ පිවිසුම් දොරටුව වෙන්නේ. පිංවත ශ්‍රද්ධාවෙන් තොරව ප්‍රඥාවක් ලැබෙන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් තොරව අපි සොයන ප්‍රඥාව මිච්ඡා ප්‍රඥාවක්ම වෙනවා. මිච්ඡා ප්‍රඥාව තුළ අන්තර්ගතවෙලා තිබෙන්නේ මිච්ඡා සමාධියක්, මිච්ඡා ශීලයක්, මිච්ඡා මෛත්‍රියක්, මිච්ඡා සතියක් පමණක්මයි. එම නිසාම අපිට පුළුවන්කම ලැබිලා තිබෙනවා, තෙරුවන් සරණයි යැයි කිය කියා, සුවපත් වේවා යැයි කිය කියා, අනිත්‍යයි, අනිත්‍යයි යැයි කිය කියා ශිල්පද දුර්වලකොට ගන්න, ලෝභ, ද්වේශ, මෝහයෝ වඩන්න. පිංවත භික්ෂුව මේ සටහන් තබන්නේ පිංවත් ඔබේ වරදක් නොවේ. අවිද්‍යාවේ ජන්ම ගතියයි. මායාකාරී විඤ්ඤාණය ඔබට සුබ පතමින් දෙන, දුක පාර්සල් කළ වර්ණවත් භව තෑගි පාර්සලයයි. පිංවත අපේ හෘද සාක්ෂියට අපි අවංකව තට්ටු කරමු. එවිට අපේ හෘද සාක්ෂිය අපිට කියාවි, ඉහත කතාවේ ඇත්ත හෝ නැත්ත. පිංවත ලෞකික අරමුණු යනු එකකි. විදර්ශනා නුවණ යනු තවත් එකකි. මේ දෙක පටලවා ගන්නා පිංවතා, පටලවා ගන්නේ, තමාගේම පටිච්චසමුප්පන්න නූල් බෝලයයි.

සිවුපසය ලබාදී ජීවිතය ස්වභාවධර්මයට සමීපකොට ගන්න

පිංවත තෘෂ්ණාව හේතුවෙන් සකස්වෙන උපාදානයෝ, සංකීර්ණ පංච උපාදානස්කන්ධ ලෝකය තව තවත් සංකීර්ණ කරනවා. වර්තමානයේ සම්මා සම්බුද්ධ ශාසනය විදර්ශනා නුවණ කියන අර්ථයෙන් බැහැර කරලා, අපේ ආරක්ෂාවට, ලෞකික සැප සම්පත්වලට, ව්‍යාපාරික අරමුණුවලට වේගයෙන් යොමුකර ගන්නා ස්වභාවයක් පෙනෙන්නට තිබෙනවා. පිංවත විඤ්ඤාණය නමැති මැජික්කරුවා දක්ෂයි, කෙසෙල් මුවත්, මලක් කොට දකින්න. ඒ නිසාමයි වරද අපේ හිස මත තිබුණත්, සියල්ලන්ටම වඩා මම මයි නිවැරදිම සංදර්ශකයා යැයි ඔබටම, ඔබම චරිත සහතික දෙන්නේ. පිංවත ඔබේ ජීවිතයට ස්වභාවධර්මය තුළ ජීවත් වෙන්න ඉඩ හරින්න. ජීවිතයට බාධා, හිරිහැර කරන්න එපා. එය ඔබම, ඔබේ ජීවිතයට මනුෂ්‍ය හිංසනයන් කළා වෙන්න පුළුවන්. නිදහසේ ගලායන ගඟක් සේම, නිදහසේ පිපෙන මලක් සේම, නිදහසේ පායන හිරු, සඳු සේම, නිදහසේ දළුලන ගසක් සේම ඔබේ ජීවිතයටත් නිදහසේ පවතින්න ඉඩ දෙන්න. මධ්‍යස්ථ ප්‍රතිපදාවෙන් ජීවිතයට සිවුපසය ලබාදීලා ජීවිතය ස්වභාවධර්මයට සමීපකොට ගන්න. පිංවත ඔබේ ජීවිතයට තෘෂ්ණාවට ඇඟිලි ගහන්න දෙන්න එපා. ඔබේ ජීවිතය ස්වභාවධර්මයට අතහරින්න. පිංවත් ඔබ මෙම සටහනෙන් දෑස් බැහැරකොට, ඔබේ දෑස් වසාගෙන හෝ විවෘත කොටගෙන, මොහොතක් ඔබේ ජීවිතය ස්වභාවධර්මයට අතහරින්න. තෘෂ්ණාවෙන් තොරව ජීවිතයට පවතින්න ඉඩ දෙන්න. තෘෂ්ණාවේ එන්නත් කටුව ඵස්සය තුළින් තාවකාලිකව ගලවා ඉවත් කරන්න. නිහඬ, නිසල ඔබේ ආශ්වාස ප්‍රශ්වාසයෝ අනිත්‍ය වූ ධම්මානුපස්සනාවක් යැයි දකින්න. එම දැක්ක සිතත් ධම්මානුපස්සනාවටම බාර දෙන්න. ජීවිතයට පිටතින් මුකුත්ම ගන්න එපා. ජීවිතයෙන් පිටතට මුකුත්ම දෙන්නත් එපා. ජීවිතයට ස්වභාවිකව පවතින්න ඉඩ දෙන්න. ඇසෙන් දකින රූපය දැක්කාය කියන තැන නවතින්න. කනට ඇසෙන ශබ්දය ඇසුනාය කියන තැන නවතින්න. නාසයට, දිවට, ශරීරයට, මනසට දැනෙන දෙය දැනුනාය කියන තැන නවතින්න. උපාදානයන්ගෙන් තාවකාලිකව මිදුන පංචස්කන්ධය සති සම්බොජ්ඣංගයේ ජවයෙන් විදර්ශනාත්මක ප්‍රීතියේ, පස්සද්ධියේ සැහැල්ලුවට ජීවිතයට ඉඩ දෙන්න. නිදහසේ ජීවිතයට කෙලෙස් මල බර පටවන්න එපා. කෙලෙස් මල බර පටවාගත්ත ජීවිතය මහ පොළොවටමයි බර වෙන්නේ, සැහැල්ලුවෙන් ජීවිතය ඉහළට ඉසවෙන්නේ නැහැ.

පිංවත ඔබේම අතීත කුසල් සංස්කාරයන්ට, ඔබ අසාධාරණයක් කරන්න එපා. ඔබේම කුසල් සංස්කාරයෝ අකුසලයට ගිලගන්න දෙන්නත් එපා. ජීවිතය කාමචAPන්දයන්ට නොව සති සම්බොජ්ඣංගයටම බාර දෙන්න. ප්‍රඥාව මැද්දේ සළායතනයන් පිනවන්න එපා. ප්‍රඥාව මැද්දේ සතර සතිපට්ඨානයෝම ජීවත් කරවන්න. පිංවත සෝවාන්ඵලයට පත්වීමේ බලාපොරොත්තුවෙන්, මඟුල් සූට් මසන පිංවත් මනුෂ්‍යයෝ ජීවත්වෙන සමාජයක, ඵස්සය හේතුවෙන් සකස්වෙන විඳීම්, වේදනානුපස්සනාවෙන්ම පිරිසිදු කොටගන්න. පිංවත චතුරාර්ය සත්‍යයෝ ඔබ මේ ජීවිතයේදි නොදැක්කොත්, මහමෙරක් වගේ දුරක් ඔබට යන්න තිබෙනවා. පිංවත ඔබේ ලෝකය දුවන්න නොදී ඵස්සයේ ඇරඹුම මතම නවතා ගන්න. ඔබේම ජීවිතයට සංස්කාරයන්ගෙන් හිංසා කරන්න එපා. විඤ්ඤාණය හෙවත් දැනීම් ඔබෙන් හීන් නූලෙන් දුකෙන්ම පළිගනීවි. පිංවත භවාත්‍රයේ දිග සහ පළල පුරාවට අවිද්‍යාවටම පාරවල් කපාගෙන, පටිච්චසමුප්පන්නව එක්කරගෙන යන ගමනකයි අපි සැවොම මේ යන්නේ. අවිද්‍යාව “මම ය” කියලා දකින තාක්කල් අපිට මේ ගමන වැටහෙන්නේ නැහැ. අපි අවිද්‍යාවේ දෑසින්, සංස්කාරයන්ගේ ගඳ සහ සුවඳින්, විඤ්ඤාණයේ රසයෙන් ලෝකය යළි, යළිත් ළදරුභාවයෙන් ගොඩනඟා ගන්නා අවිද්‍යාවේ රූකඩයෝමයි. පිංවත අපි තවම මේ ඇත්ත තේරුම් අරගෙන නැතිනම් ඔබත්, භික්ෂුවත් තවම මනසින් උසස් මනුෂ්‍යයෙක් බවට පත්වෙලා නැහැ.

පිංවත පරදත්තරූපජීවී ප්‍රේත ලෝකය දුකේ උල්පතක් වුවත්, එම දුක තුළත් තාරුණ්‍යය සහ ලස්සන තිබෙන්න පුළුවන්. පිංවත ඔබ මෙහෙම සිතන්නකෝ. පරදත්තරූපජීවී ප්‍රේත ලෝකයේ සුරූපී කඩවසම් ප්‍රේත තරුණියක් සිටිනවා. ඇය බොහෝම සංවරව සහ පිළිවෙළට සාරියකින් හැට්ටයකින් සැරසිලයි සිටින්නේ. ඇයගේ දුඹුරු පැහැ, දිගැති සහ පළලැති කේශ කලාපය නිසොල්මනේ පිට පුරා මුදා හැරලයි තිබෙන්නේ. මෙවැනි රූප ස්වභාවයකට ප්‍රේත ලෝකයේ රූපසුන්දරියක් යැයි කීවොත් වරදක් නැහැ. අපි සිතමු ඇය පසුපසින් තවත් කඩවසම් පිරිසිදු ප්‍රේත තරුණයෙකුත්, ඒ වගේම තරුණ සුදු සමෙන් යුත් විදේශීය ප්‍රේතයෙක් සහ ප්‍රේතියකුත් සිටිනවා. කණ්ඩායමේ හතර දෙනාම තරුණ, ගුප්ත, පිරිසිදු ඇඳුම් පැලඳුම් පැලඳගත් පරදත්තරූපජීවී ප්‍රේත ලෝකයේ සාමාජිකයන්. පිංවත විදේශීය ප්‍රේත ස්වභාවයන් සමග මෙවැනි ප්‍රේත කණ්ඩායම් පිංවත් ඔබට සුනාමියෙන් විනාශයට පත් වූ ප්‍රදේශ ආශ්‍රිතව මුණ ගැසෙන්න පුළුවන්. පිංවත් ඔබ සමාධිමත් සිතින් පසුවෙත්දි මෙවැනි ප්‍රේත ලෝකයේ සාමාජිකයින් මුණගැසුණොත්, පින්වත් ඔබේ මනුෂ්‍ය ධර්මයන්ට අදාළව පියාගත් දෑසින්ම, ඉදම්මේ ඥාතී ගාථාව මොහොතක් සිතෙන් මුමුණලා පින් අනුමෝදන් කරලා, ඊළඟ සිතෙන් මේ සියලු ධර්මතාවයෝ ධම්මානුපස්සනාවෙන් අනිත්‍ය යැයි දකින්න. එසේ නොවුණොත් පිංවත් ඔබට ප්‍රේත ලෝකයේ සුරූපී සුන්දරියන් කෙරෙහි ආදර සිත්, රාග සිත් ඇති වෙන්න පුළුවන්. පිංවත අපේ මස් ඇසට නොපෙනෙන බාහිර ලෝකය සංකීර්ණයි, විවිධයි, විචිත්‍රයි, ගුප්තයි. ඒත් මේ සියලු ධර්මතාවයෝ අවිද්‍යාවෙන්ම උපන් තෘෂ්ණාවේ උපාදානයෝමයි.

පිංවත ජනතාවගේ දැනුමෙන්, බුද්ධියෙන් උපදින තාක්ෂණය යැයි කියන්නේ ජනතාවගේම පිනේ ඵලයක් වෙනවා. පිංවත සංස්කාර කියන්නේ, පින කියන්නේ මාරයාමයි. පිංවත් ඔබට මුහුණු පොත් ආදී වූ තාක්ෂණික ක්‍රමවේදයන් තුළින් වර්තමානයේ සම්මා සම්බුද්ධ ශාසනයේ ආත්මගරුත්වයට සිදුවන හානිය හොඳින්ම පෙනෙනවා නේද? පිංවත මේ ඔබ දකින්නේ තාක්ෂණ මාරාවේශයේ ඇරඹුමයි. පිංවත් ජනතාවගේ සම්මා දිට්ඨිය තව තවත් දුර්වල වී යත්දි, මුදල් කෙරෙහි තෘෂ්ණාව මානසික රෝගයක් වෙත්දි, තාක්ෂණ මාරයා අනාගතයේ දී මහා වියරුවක්ම වේවි. මෙම තාක්ෂණ තෘෂ්ණාවේ මාරාවේශය සුදුසු නීතිරීති පනවා පාලනය නොකළොත්, මෙම තෘෂ්ණාවෙන් තිරිහන්වෙන තාක්ෂණ මාරයා නිවැරදි ඔබ හැමෝගේම ආත්මගරුත්වයට අභියෝග කරනවා නියතයක්මය. පිංවත නීතිය, සාධාරණය සහ ඇත්ත ඉදිරියේ නිදිගත් සමාජයක, ඔබේ ආරක්ෂකයා ඔබේම කුසල් ධර්මයෝමයි. මෙය සටහන් තබන භික්ෂුව අනතුරටම විවෘත වූ මේ සමාජය තුළ, භික්ෂුවගේම අතීත අකුසල් සංස්කාර විපාකයන් ගැන හොඳ අවදියකින්මයි සිටින්නේ. භික්ෂුවගේ විශ්වාසවන්තම ආරක්ෂකයා සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ මෛත්‍රිය, ශීලය සහ සතියමයි. පිංවත මෙම ආරක්ෂකයින් සිහිනුවණින් සන්නද්ධ නොකළොත්, මුදලින් මාරාවේශ වූ සමාජ මාධ්‍ය ජාලාවන් තුළින් කිනම් මොහොතක, කිනම් අසත්‍ය විකෘතියක් සමාජගත කරයි ද කියලා කියන්න බැහැ. පිංවත ලොව්තුරා බුදුරජාණන් වහන්සේට, මහ රහතන් වහන්සේලාට මිච්ඡා වාචාවන්ගෙන් බරපතළ චෝදනා කළ සමාජයකයි අපි ජීවත් වෙන්නේ. පිංවත බොරු චෝදනා ඉදිරියේ නොසැලී තව තවත් අවංක වෙන්න.

පිංවත වචනයෙන් සිදුකොටගන්නා මිච්ඡා වාචාවන්ගේ ආදීනවයන් සිහිනුවණින් තේරුම් ගන්න. පිංවත ගොඩාක් බොරු කියන පුද්ගලයෝ මෙලොව සහ පරලොව අභූත චෝදනාවන්ටම ලක්වෙනවා. පිංවත වර්තමානයේ සිරගෙවල්වල වැරදි නොකළ මනුෂ්‍යයෝ කොතෙක් නම් සිරදඬුවම් විඳිනවා ඇති ද? මේවා අතීත බොරුවේ විපාකයෝයි. පිංවත ඔබ නිතර කේලම් කිවුවොත්, එහි ආදීනවය සමාජය සහ මිතුරන් සමග භේදභින්නවීමයි. පිංවත අපේ සමාජයේ සමගිය කියන කාරණය හුඟාක්ම දුර්වලයි නේද? මේවා අතීත කේලාම්කීමේ විපාකයෝයි. පිංවත ඔබව යමෙක් පිළිගන්නේ නැතිනම්, ඔබේ වචනවලට යමෙක් ගරු කරන්නේ නැතිනම් ඊට හේතුව නිතර හිස් වචන කතා කිරීමේ විපාකයෝමයි. සමාජ මාධ්‍ය ජාලාවල මුදල් තෘෂ්ණාවේ මාරාවේශයෙන් මිච්ඡා වාචාවන් සමාජගත කරන පිංවතුනේ, වචී සංස්කාරයන්ගේ කෙටි ආශ්වාදය පසුපස සැඟවුණ දීර්ඝ දුකේ ආදීනවය නුවණින් දකින්න.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment
advertistmentadvertistment