අවහිර නොකර සෙත සලසන බහිරව දෙවියෝ

480

පූජනීය ස්ථානයන්හි නිධන් ආරක්ෂා කිරීමේ යෙදී සිටින දෙවියෙකු ලෙස ද භූමිගත වස්තූන්ට අධිපති දෙවියකු ලෙස ද හඳුන්වනු ලබන බහිරව දෙවියන් වරෙක යක්ෂ විලාෂයෙන්ද පෙනී සිටියි. පැරැන්නන්ගේ විශ්වාසය බහිරව දෙවියන් භූමිගත වස්තූන්ට අධිපතිත්වය දරන බවයි. බහිරව දේව රූපය බිය උපදවන සුළු ය. නිවසක කිසියම් දෙයක් නැති වූ කල්හි බහිරවයා ගෙනිච්චා වගේ, යනුවෙන් ගැමියන්ගේ මුවගින් පිට වේ. කළු යෞවනියන්ට දැපනෙට ගෙන ලෙඩ කරවන කළු කුමාර යක්ෂයා මෙන් බහිරවයා ද එම කතුන් මරණයට පත් කරන බව ජනවහරේ පවතී.

විශේෂයෙන් මැණික් ගැරීමේ කටයුතුවල යෙදී සිටින පතල්කරුවන් මැණික් පතල් කැණීම් ආරම්භයේ දී බහිරව පූජාවක් තැබීමට අමතක නොකරති. මහනුවර යුගයේදී මෙම බහිරව පූජාව ඉතාමත්ම ජනප්‍රියව පැවති බව දේව පුරාණයෙහි සඳහන් වේ. (320 පිටුව) මහනුවර යුගයේදී බහිරවයා සඳහා බිලිපූජා පැවැත්වූ බවද කාන්තාවන්ට ලැබෙන බිළිඳුන්ට බහිරව දිෂ්ටිය ඇති වීමෙන් එම පවුල් විනාශයට පත්වේ යැයි යන බියක් ඔවුන් තුළ පැවති අතර එම කුළුඳුල් දරුවා බහිරවයාට බිලි දීමක් එකල පැවති බවත් එහි කියවේ. වර්තමානයේ ව්‍යවහාරයේ පවතින මහනුවර බහිරව කන්ද එබඳු බිලි පූජා පැවැත්වීම සඳහා යොදා ගැනීම හේතුවෙන් එම නම ප්‍රසිද්ධියට පත්ව ඇති බව ජනවහරේ පවතී. මහනුවර රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ දවසේ කාන්තාවන් බිලි දුන් බව පැවසේ.

බහිරවයන් දේව විලාශයෙන් පෙනී සිටින විට කඩුවක් අත දරා සිටින අතර සුනඛයා වාහනය කරගනී. වර්තමානයේ මෙම දෙවියන්ට බැතිමතුන්ගේ සෙත් ශාන්තිය පතා පුද පෙත් තැබීමට ද පෙළඹෙති.

බහිරව දෙවියන්ගේ බිරිය කාලි දෙවඟන බව පැවසේ. බහිරවයා කාලිය සමග රාත්‍රී කාලයේ නිදන් තිබෙන ස්ථාන කරා ගමන් ගන්නා බවත් ඉදිරියට පැමිණෙන කිසියම් අයකු වෙතොත් ඇය අත තිබෙන වේවැලෙන් පහර දෙන බවත්, පහරකෑමට ලක්වන අයගේ කොන්ද කඩා වැටෙන බවත් පැවසේ.

අනුරාධපුර අටමස්ථාන භූමියේ අභයගිරි චෛත්‍යයට ඇතුල්වන ස්ථානයේ බහිරව දෙවියන් සඳහා දේවාල දෙකක් ඉදිකර ඇති අතර මෙම දේවාල දෙක ඉදිවී ඇත්තේ විසිවන සියවස තරම් මෑත කාලයේදී බව කියැවේ. මෙහි සංඛ පද්ම රූප වලට පූජාවන් පැවැත්වෙන අතර වාර්ෂික බහිරවයන් සඳහා විශේෂ පූජාවක්ද පැවැත්වේ.

බහිරව දෙවියන් අනුරාධපුර අටමස්ථානය වන්දනා කොට මිහින්තලයට පැමිණෙන බවද මිහින්තලයෙන් නිදන් පවතින ස්ථාන කරා ගමන් කරන බව ද එසේ ගමන් ගන්නා විට නිල්වන් පාට ආලෝක දහරාවක් අහස් කුස සිසාරා විහිදෙන බව ද ජනප්‍රවාදයේ පවතී.

බහිරව දෙවියන් සඳහා පූජා රැසක් පවත්වනු ලබති. ගොවි ජනතාව සිය අස්වනු බහිරවයාගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා බහිරව පූජාව පවත්වති. බහිරවයා සිය අස්වැන්න ගිල ගනීවි යන බියක් ද ඔවුන් තුළ පවතී. ගොයම් වැඩීමේදී කමතේ මැද ආරක්ෂක වළල්ලක් තනා එහි යකඩ කැබැල්ලක් තබා ඒ මත ගොයම් කොළ එලීම නැකතට අනුව සිදුකරනු ලබන්නේ අස්වැන්න බහිරවයාගෙන් බේරා ගැනීමේ අපේක්ෂාවෙනි. බහිරව පූජාව සඳහා විශේෂයෙන් මාංශ වර්ගද මල් වර්ග පහක් පලතුරු ආදිය ද යොදා ගනියි.

නුවර කලාවියේ ප්‍රදේශ ගණනාවකම බහිරව දේවාල පවතී. හොරොව්පතාන, තිරප්පනේ, ගල්නෑව ගම, පලුගස්වැව, කහපත්විලගම, බහිරව දේවාල පවතින ප්‍රදේශ අතුරින් කීපයකි. පල්ලන් කුලම දේවාලය මහත් හාස්කම් පවතින දේවාලයකි. මෙම දේවාලයේ යමෙක් කිසියම් භාරයක් වුවහොත් එය නිසි වෙලාවට ඔප්පු කළ යුතුය. එසේ නොකළහොත් එම පුද්ගලයාට අනිසි ඵලවිපාක සිදුවෙන බව එම ගැමියන් තුළ දැඩි විශ්වාසයක් පවතී. යමෙක් කිසියම් බලාපොරොත්තුවක් ඇති කරගෙන භාරහාර වුවහොත් දින ගණනක් ගත වීමට මත්තෙන් එය ඉටුවන බවට ද ඔවුන් තුළ විශ්වාසයක් පවතී. තිරප්පනේ සුන්දරාරාමය ඉතාමත් පැරණි විහාරස්ථානයක් වන අතර එහි බහිරව දෙවියන් සඳහා දේවාලයක් පවතී. මෙම දේවාලයේ සෙනසුරාදා සහ බදාදා දිනවල පුද පූජා පවත්වනු ලබන අතර සෑම වසරකම ඇසළ මාසයේ වාර්ෂික බහිරව පූජෝත්සවය පවත්වති. මෙම දෙවොලට අධිගෘහිතව සිටින බහිරව දෙවියන් සුදු වස්ත්‍රයෙන් සැරසී කෙම්මුර දිනවල මහ රෑ යෑමේ ගම වටා ගමන් ගන්නා බවට ගැමියන්ගේ විශ්වාසයේ පවතී.

අනුරාධපුර පවතින බහිරව දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන දේව පූජෝත්සවය බැතිමතුන්ගේ ලෙඩ රෝග වලින් මිදීම, දරුපල ලබාගැනීම, අපල උපද්‍රව මෙන්ම බව භෝග සම්පත් ආරක්ෂාව මුල් කොටගෙන මෙම පූජාවන් පවත්වනු ලබයි. මෙම පූජෝත්සවය පැවැත්වීමේ දී පංච තූර්ය වාදනයන් ද නැටුම් ගැයුම් වලින් ද යුතුව පෙරහැරක් අභයගිරි චෛත්‍ය වටා ගොස් ගිලන්පස පූජාවෙන් අනතුරුව කපු මහතා විසින් බහිරව දෙවියන් සඳහා වන දේව පූජා පවත්වයි.

මේ සඳහා කැකුළු සහල් මිට දහයක්, මුංඇට මිටි දෙකක්, පොල් ගෙඩි 500 යොදා ගන්නා බව පැවසෙන අතර මෙහි අග්‍ර කොටස බහිරව දෙවියන්ට පූජා කොට ඉන් පසුව ඉතිරි කොටස බැතිමතුන්ට බෙදා දීමෙන් පසුව බහිරව දේව පූජෝත්සවය නිමාවට පත්වේ. මෙයින් ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටුවන බව ඔවුහු දැඩි සේ විශ්වාස කරති.

අදෘශ්‍යමාන බලවේගයක් වන බහිරව දේව සංකල්පය විශේෂයෙන් බෞද්ධයන් අතර ගොඩනැඟුණක් බව පෙනේ. ආතාල – පාතාල වශයෙන් බහිරවයන් අට දෙනෙකුන් වෙසෙන බවත් බහිරවයාගෙන් ගැමි ජනතාව සිය නිවාස ඉදිකිරීම් ඇතුළු කටයුතු වලදී ආරක්ෂාව පතා බහිරව පූජාවක් තැබීමට ද පෙළඹෙති.

අවහිර නොකර සෙත සලසන බහිරව දෙවියෝ

කලාභූෂණ ‘විශ්වාභිනන්දන’
සියනෑ ගෞරවකීර්ති’
සරණපාල නුවරපක්‍ෂ, පූගොඩ.
දුරකතනය 077 9139904

advertistmentadvertistment
advertistmentadvertistment