මැතිවරණ නොපැවැත්වීම හෝ කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන බරපතළ ප්‍රහාරයක්

53

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී

විපක්‍ෂ නායකගේ අත්සනින් යුතුව ඊයේ (09 දා) නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

මේ වන විටත් මැතිවරණ කල් දමා ඇති ආණ්ඩුව ලබන වසරේදී පැවැත්වීමට නියමිත මැතිවරණත් කල් දැමීම සඳහා අවශ්‍ය කරන කූට උපක්‍රම සහ පිඹුරුපත් සකසමින් සිටින බව නොරහසකි.

ඊට ආණ්ඩුව සූදානම් වන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම නමැති අයිසින් තැවරූ කේක් කැබැල්ල දිගු කරමිනි. එය විෂ තැවරූ කේක් කැබැල්ලක් බවත් ඒවාට මේ රටේ ජනතාව නොරැවටෙන බවත් ආණ්ඩුවට අවධාරණය කළ යුතුය.

ජනතාවගේ පරමාධිපත්‍ය බලය සමඟ සෙල්ලම් කරන වර්තමාන ආණ්ඩුව එහි තීරණාත්මක ආරම්භය සනිටුහන් කළේ පැවැත්විය යුතුව තිබූ පළාත් පාලන මැතිවරණය අනීතික ලෙස කල් දමමිනි.

ජන වරමක් නැති පාලකයන්ට ජනතාවගේ ආශිර්වාදය කෙලෙසකවත් හිමි වන්නේ නැත. එහෙත් අවස්ථාවාදී ලෙස බලය ඩැහැගත් පාලකයන් ජනවරම හෝ හෝ ජනතා කැමැත්ත පිළිබඳව මායිම් නොකොට විවිධ දේශපාලන උපාය උපක්‍රම භාවිතා කරමින් සිය පාලන කටයුතු කරගෙන යෑමට දරන උත්සාහයේ අවසානය ඛේදවාචකයක් බව මුළු ලෝකයෙන්ම අත්දැකිය හැකි සත්‍යයි.

එමෙන්ම මෙරට ද මැතිවරණ කල් දැමීමෙන් සිදුව ඇති ඛේදවාචකයන් පිළිබඳව ඕනෑ තරම් උදාහරණ ලබාගත හැකි අතර වර්තමාන ආණ්ඩුව සූදානම් වන්නේ නැවතත් අන්ධකාර අතීතයකට මේ රට රැගෙන යෑමට දැයි අපි ප්‍රශ්න කර සිටිමු.

ව්‍යවස්ථාවට අනුව පැවැත්විය යුතු මැතිවරණ කල් දැමීම හෝ මැතිවරණ නොපවත්වා සිටීම රටක ප්‍රජාතන්ත්‍රවාදය ඉලක්ක කර ගනිමින් එල්ල කරන බරපතළ ප්‍රහාරයක් බව නොරහසකි.

“මැතිවරණය කල් දමන්නේ නෑ. කල් දමන්න මැතිවරණයක් නැහැ” යනුවෙන් ජනතා පරමාධිපත්‍ය පාර්ලිමේන්තුව තුළම උපහාසයෙන්, අපහාසයෙන් සහ නින්දා සහගත ලෙස සුනු විසුනු කළ ජනාධිපතිවරයෙක් සිටින ආණ්ඩුවකින් මැතිවරණයක් බලාපොරොත්තු වීම සිහිනයක් පමණක් වන නමුත්, ඒ දුර්දාන්ත ක්‍රියාවලියට එරෙහිව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට අප සූදානම් බව ද ආණ්ඩුවට අවධාරණය කරනු කැමැත්තෙමු.

ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා පරමාධිපත්‍යය මර්දනය කිරීමට ඒකාධිපති ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුව විසින් ගනු ලබන සිය ක්‍රියාමාර්ග ජනතා බලය මගින් ඒකාන්තව පරාජය කරන බව ද අපි ආණ්ඩුවට අවධාරණය කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment