ආණ්ඩුව ආර්ථිකය හැකිළීමේ කුමන්ත්‍රණයකද?

162

2023 නොවැම්බර් 2 වන දින පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස් මතු දැක්වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුම අනුව ආණ්ඩුව 2023 මාර්තු 31 දිනට එකතු කළ යුතු බදු ආදායම රුපියල් බිලියන 650ක්. ජූනි 31 දිනට රුපියල් බිලියන 1,300ක්. මේ ඉලක්ක දෙකම සපුරා ගන්න ආණ්ඩුව අසමත් වුණු නිසා තමයි අයි.එම්.එෆ්. දෙවන වාරිකය අපට නොලැබීමට ප්‍රධාන හේතුව. දැන් ඒ ඉලක්කයට යන්න ආණ්ඩුව ෂෝට් කට් එකක් විධියට වැට් බද්ද 18% කරන්න තීරණය කර තිබෙනවා. මතක තියා ගන්න ගිය වසර මුල 8%ට තිබුණු වැට් තමයි මේ 18% වෙන්නේ. දෙගුණයකටත් වඩා වැඩි වීමක්. සෘණ ආර්ථිකයක් තිබෙන රටක වක්‍ර බදු දැවැන්ත වැඩි කිරීමක් කරන්නේ නෑ. එහෙම කළාම භාණ්ඩ පිරිවැය වැඩි වීමෙන් මිල ඉහළ යනවා. ඉල්ලුම අඩු වෙනවා. සුළු පරිමාණ කර්මාන්ත වැහිලා ගිහින් විරැකියාව තව උග්‍ර වෙනවා. මේ වන විට බටහිර ආසියාවේ යුද තත්ත්වයත් එක්ක තෙල් මිල වැඩි වීමෙන් ලෝක පරිමාණයෙන් උද්ධමනයක් ඇති වෙලා ලෝක ආර්ථිකය හැකිළෙමින් තිබෙන්නේ. ආණ්ඩුව කටයුතු කරන්න ඕනි ඒක සමනය කරන්න මිස වක්‍ර බදු වැඩි කරලා ඒක උග්‍ර කරන එක නොවේ. මේ ආර්ථික අර්බූදයෙන් ගොඩ එන්න ලංකාවට ඇති අවස්ථාව අහිමි කරන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා.

● හොරුන් බදු සහන දෙන්නේ ඇයි?

ලෝකයේ සාතිශය බහුතරයක් රටවල වක්‍ර බදු තරමටම සෘජු බදු අය කරනවා. ලංකාවේ වක්‍ර බදුවලින් හතරෙන් එකයි සෘජු බදු තිබෙන්නේ. ඒකට ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. පළමු හේතුව තමයි බදු ගෙවිය යුතු බහුතරයක් බදු ගෙවන්නේ නෑ. බදු දැල පුළුල් කරන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් ඇත්තෙත් නෑ. දෙවනුව ලංකාවේ ඉහළම ලාභ ලබන බහුතරයක් සමාගම් බදු ගෙවන්නේ නෑ. ආයෝජන මණ්ඩලයෙන් දිගු කාලීන බදු විරාම ලබා ගෙන තිබෙන්නේ. එහෙම සහන ගන්න බැරි වුණු අය මුදල් අමාත්‍යාංශය අල්ලා ගෙන 2008 අංක 14 දරණ උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ඇමැති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරලා දැවැන්ත බදු සහන ලබා ගන්නවා. ඊට පස්සේ බදු ඉලක්ක සපුරා ගන්න බැරි වුණාම අහිංසක දුප්පත් ජනතාවගේ කර මතටම බදු බර පටවනවා. මේක ආණ්ඩුව කරන මහ දවල් මහා මංකොල්ලයක්. විශේෂයෙන්ම බදු ගෙවන්න අවශ්‍ය දැවැන්තම සමාගම් ටික ආණ්ඩුව සමග ඩීල් දාගන්නවා අමාත්‍ය මණ්ඩලය හරහා බදු සහන ලබාගන්න. අමාත්‍ය මණ්ඩලය හරහා බදු සහන ලබා ගන්න ගිහාම තමයි දූෂණයට පෙළඹෙන්නේ. මොකද ආයෝජන මණ්ඩලයෙන් බදු සහන ලබාදීමේ දී ඒ සඳහා නිර්ණායක තිබෙනවා. ඒවා සපුරන්නේ නැති සමාගම්වලට බදු සහන ලැබෙන්නේ නැහැ. නමුත් අමාත්‍ය මණ්ඩලය වෙත ගියහම තමන්ට හිතවත් අයට බදු සහන ලබා දීමට ආණ්ඩුව හොර පාරක් කපා ගෙන තිබෙනවා. නමුත් අඩුම ගණනේ මූල්‍ය අරමුදලේ අවධානයවත් මේකට යොමු වෙලා නෑ. වාහන තීරු බදු සහන ලබා දුන් අය, ටෙන්ඩර් ප්‍රදානය කරපු අය වැනි විස්තර වෙබ් අඩවියක් හරහා ප්‍රසිද්ධ කළ යුතු බවට අයිඑම්එෆ් කොන්දේසියක් තිබෙනවා. නමුත් උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ලබා දුන් සහන ප්‍රසිද්ධ කළ යුතු බවට කොන්දේසියක් අයිඑම්එෆ් ගිවිසුමේ නෑ. කෙටියෙන්ම කියනවා නම් මේ සම්බන්ධනේ අයිඑම්එෆ් එකටත් කොකා පෙන්වන්න ආණ්ඩුව සමත් වෙලා තිබෙනවා. 2008 අංක 14 දරණ උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ලබා දුන් බදු සහන පිළිබඳ විස්තර ඉල්ලා මම ලබන සතියේ මුදල් අමාත්‍යාංශයට ලිපියක් යවන්න බලාපොරොත්තු වෙනවා.

● පුද්ගල ආදායම් බදු ඉලක්ක පැනලා

ආණ්ඩුව සෘජු බදු වැඩි කරන්න උත්සාහ කරන්නේ ව්‍යාපාරික ලාභ මත නොවේ පුද්ගල ආදායම් බදු මතයි. විශේෂයෙන්ම වෘත්තීයවේදීන්ට සහ විධායක නිලධාරීන්ට තමන්ගේ ආදායම සඟවන්න බෑ. වැටුප් ගෙවන ආයතන විසින්ම ඒවා ප්‍රසිද්ධ කරන නිසා. ඒ නිසා බොහෝ රටවල් සමාගම් බද්දට වඩා අඩු බද්දක් පුද්ගලයන්ගෙන් අය කරන්නේ. නමුත් අපේ ආණ්ඩුව දැවැන්ත ව්‍යාපාරවලට අය කරන බදු ප්‍රතිශතයම වැටුප් ලබන්නන්ගෙනුත් අය කරනවා. පුද්ගල ආදායම් බදුවලින් ආණ්ඩුව බලාපොරොත්තු වුණේ රුපියල් බිලියන 100යි. නමුත් සැප්තැම්බර් 30 වන විට බිලියන 123ක් උපයලා තිබෙනවා. වසර අග දී එය බිලියන 160 ඉක්මවා යාවි. ඒ කියන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බදු ආදායමක් අපේක්ෂිත ඉලක්කය 60%කින් ඉක්මවා යනවා. හැබැයි ඒ අතරේ වෘත්තීයවේදීන් රට අත්හැර යෑමෙන් ග්‍රාමීය රෝහල් වැහෙන තත්ත්වයක් ඇති වෙලා. විශ්වවිද්‍යාලවල සමහර පාඨමාලා නතර කරලා. වෛද්‍යවරයකු විශ්වවිද්‍යාල ඇදුරෙකු බිහි කරන්න දරන වියදමත් කාලයත් එක්ක බලන විට මේක ආර්ථිකයට දැරිය නොහැකි පාඩුවක්. ඒ නිසා වෘත්තීයවේදීන් මත අය කරන බදු ප්‍රතිශතය අඩු කිරීමටත් වෘත්තීයවේදීන් ජාතික මට්ටමින් හිඟ ක්ෂේත්‍රවලට බදු සහනයක් ලබා දීමටත් ආණ්ඩුව කටයුතු කළ යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment