ONMAXDT

1012

පසුගිය කාලයේදී මේ රටේ ජනතාව තුළත් සෙන්ට්‍රල් බැංකුව සහ වෙනත් නීත්‍යනුකූල මූල්‍ය අධිකාරී ආයතන තුළත් (මුදල් අමාත්‍යාංශය) මහත් කම්පනයක් ඇතිකළ ONMAXDT නමැති පිරමීඩ් ගනුදෙනු ආයතනයේ ප්‍රධානීන් රටින් පැන යෑමට සූදානම් වන බැවින් ඔවුන් ළඟ මුදල් තැන්පත් කළ පුද්ගලයන් සිය ගණනක් onmax කාරයන්ගේ ගෙවල් වටලන ලදැයි දැනගන්නට තිබිණ. ඇත්තම කතාව නම් onmax කාරයන් රටින් පැන ගියත් කරන්නට දෙයක් නැත. එයට හේතුව onmax කාරයා ස්වකීය පිරමීඩ ගනුදෙනුව මෙහෙයවූ ආකාරයට අනුව ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට අවශ්‍ය නීති මේ රටේ තවමත් නොතිබීමය. පිරමීඩාකාර ගනුදෙනු කරන ආයතන යැයි හඳුන්වනු ලබන්නේ මරණයෙන් පසු මළ මිනී තැන්පත් කිරීම සඳහා පිරමීඩ සාදා දෙන ආයතන නොවේ. මේ ආයතන කිසිදු පූර්ව ආයෝජනයකින් තොරව ජනතාවගෙන් මුදල් එකතු කිරීමට පටන් ගනී. ජනතාවත් බබාලා නොවෙති. මේ ආයෝජනයේ ස්වරූපය කුමක්දැයි දන්නා ඔවුහු වැඩි වැඩියෙන් මුදල් හම්බකර පිරමීඩයේ ඉහළට යන අරමුණ සහිතව ගනුදෙනුවල යෙදෙති. හැබැයි කෙලවුණහම ඔවුන් කියන්නේ ආණ්ඩුව තමන් බලාගත යුතු බවය. හරිහමන් අධ්‍යාපනය ලැබූ එකෙක් තමන් සතු සියලු මුදල් එකතුකර වැඩි ආදායමක් ලබාගැනීම සඳහා පිරමීඩ ව්‍යාපෘතිවල ආයෝජනය කර කෙලවාගත් විට ඒ ගැන ආණ්ඩුව බලන්නේ කොහොමද? පිරමීඩ ගනුදෙනු යනු 1977 සිට මේ රටේ ක්‍රියාත්මක වන ගනුදෙනු විශේෂයකි. 1977 දී මේ ගනුදෙනු ජාවාරම පටන්ගන්නේ කූපන් ක්‍රමයක් මතය. 1977 දී මේ කූපනයක් රුපියලකි. මේ කූපන් තොගයක් මිලට ගෙන තවත් කෙනකුට විකිණීමට පුළුවන. එවිට විකුණුම්කරුට 50% ක කොමිස් එකක් ලැබෙන අතර ගැනුම්කරුට තිබෙන්නේද තමන් මිලට ගත් තොගය ඒ ආකාරයටම විකිණීමටය. මේ අනුව ගැනුම්කරු දිගින් දිගටම විකුණුම්කරුවන් සොයමින් කූපන් විකුණයි. මාස කීපයක් තුළ ඔහු ලක්ෂපතියෙකි. ඊළඟ මාස කිහිපය තුළ ඔහු දස ලක්ෂපතියෙකි. මේ ක්‍රමයෙහි ඇති අවුල නම් මේ මගින් කිසිදු නිෂ්පාදනයක් ඇති නොවීමය. නිෂ්පාදනයක් නැතිව එකතු කරන සල්ලි වලින් ආර්ථිකයට දායකත්වයක් නැත. පිරමීඩ් ජාවාරම් ගැන 1977 දී මුල් වරට එළිවූ විට ඒවා තහනම් කිරීමට තරම්වත් නීති පද්ධතියක් ආණ්ඩුවට තිබුණේ නැත. ඔවුන් කළේ මේ ජාවාරම්වලට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලමින් දැන්වීම් පළකිරීමය. අද වන විට මේ පළමු සිද්ධියෙන් අවුරුදු 50 ක් ගතව ඇතත් පිරමීඩ් ජාවාරම වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරගෙන යනු ලැබේ. කට්ටිය මෙයට මුලින් සෙට් වන්නේ රහසේය. එහෙත් කෙලවුණු තැනදී ඔවුහු එළියට බසිති. එක්දහස් නවසිය අසූ ගණන්වල මුලදී සේපාල ඒකනායක නමැති සිංහල තරුණයෙක් ඉතාලියේ අලිතාලියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පැහැර ගත්තේය. ඉතාලියේ සිටින සිය දරුවා හා බිරිය ලංකාවට ගෙන්වා නොදෙන්නේ නම් ගුවන්යානය ඒ මගීන්ද සමග පුපුරුවා හැර මරාගෙන මැරෙන බව සේපාල ඒකනායක ඉතාලි රජයට කීවේය. අවසානයේදී Negotiated Settlement එකකට පැමිණි සේපාල ඒකනායක ගුවන්යානය අත්හැර ලංකාවේ පොලිසියට භාරවිය. ඉන්පසු ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට බලද්දී හෙළිවූයේ ගුවන් යානා පැහැරගැනීම සම්බන්ධයෙන් ලංකාවේ නීති රීති නැති බවය. මේ නිසා ඒකනායක හිරේ යැවීම සඳහා අතීතයට ද බලපාන පරිදි නීති සම්පාදනය කිරීමට ලංකා ආණ්ඩුවට සිදුවිය. සාමාන්‍යයෙන් අතීතයට ගැළපෙන පරිදි නීති සම්පාදනය කිරීම දියුණු රටවල් මගින් කරනු නොලැබේ. එහෙත් මැච් එකේ ජය වාර්තා කිරීමට සේපාල ඒකනායකට ඉඩදුන්නේ නම් එයින් විය හැකි පසු කරදර මර්දනය කිරීම පිණිස අතීතයටද බලපාන ලෙස නීති හදා සේපාල හිරේ යවන ලදී. එයද පස් අවුරුද්දක හිර දඬුවමකි. හිර දඬුවම අවසන් කර ගෙදර පැමිණි සේපාල කසාදයකුත් බැඳගෙන නුවරඑළියේ අලුත් ජීවිතයක් පටන් ගත්තේය. එතැන් සිට කතාව මනරම් ය.

ONMAXDT පිරමීඩකරුවන්ගේ සාක්කුවේ මුදල් තැන්පත් කළ අය ඒවා ONMAX කට්ටියගෙන්ම ආපසු ඉල්ලාගත යුතු බව මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ පසුගියදා කීවේය. ONMAXDT සම්බන්ධයෙන් කිසිදු නීතියක් තවමත් නැති බව මෙයින් පෙනේ. නීතියක් සෑදීමට තුන්මාසයකින් බැරිය. ඒ සඳහා අවුරුදු ගාණක් ගතවේ. මුලින්ම අදාළ නීතිය කෙටුම්පත් කර අනුමැතිය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවටත්, පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළ යුතුය. මෙන්න මේ කොටස කර නිමවෙන විට පෙරහැරේ කරඬුව ගෙනියන අලියා අප පසුකර ගොසිනි. ඒ නිසා කරඬුව වැඳ පුදා ගැනීමේ අවස්ථාව අපට අහිමිය. ඊළඟට මේ නීතිය පාර්ලිමේන්තුවේදී විවාදයට ලක්කරනු ලැබේ. ඒ වනවිට පෙරහැරේ මොනර නැටුම් නටන කට්ටිය අප පසුකර ගොස් හමාරය. ඒ නිසා එයද බලාගැනීමට අපට බැරිය. නීතිය සම්මත වී පිරමීඩකාරයන්ට එරෙහිව නඩු කියා යුක්තිය ලබාගනු පිණිස තවත් සෑහෙන කාලයක් ගතවේ. එවිට පෙරහැරේ අන්තිම ටිකත් ගොස් අවසන් වන අතර මහපාරේ ඉතුරු වන්නේ හිස් කඩල බේසම් සහ හිස් වඩේ බේසම් සහිත වෙළෙන්දන් පමණි. සාරවිටකාරයාගේ තට්ටුව මත තිබෙන තීව්‍ර පහනේ කැල්සියම් කාබයිඩ් අවසන්වීම නිසා ඔහු තවදුරටත් බිස්නස් කරන්නේ නැතිව මගින් කසිප්පු කාලක් ගසා ගෙදර ගොස් නිදා ගනී. මේ ආකාරයෙන් කිසියම් නීතියක් සාදාගැනීම පිණිස ශතවර්ෂ භාගයක් පමණ ගතවන්නේ නම් ඒ නීතිය තඹ සල්ලියක් වටින්නේ නැත. ප්‍රමාද වී ලැබෙන විනිශ්චය සමාන වන්නේ ශූන්‍ය විනිශ්චයකට යැයි කීමක් පවතී. විනිශ්චය ප්‍රමාද වීම ආසියානු රටවල ඇති ලොකු ප්‍රශ්නයකි. සමහරවිට නීති රීතිවල ඇති අඩුපාඩු නිසා ඇතැම් ඉඩම් නඩු පනස් වසරකටත් එහා විභාග කෙරෙන අවස්ථා තිබේ. ලංකාව දියුණු වීමට නම් රටේ නීති පද්ධතියද දියුණු විය යුතුය. නොදියුණු නීතියක් ඇති රටක ONMAXDT පිරමීඩකාරයකුගේ ඇඟට අත තැබීමටවත් කාටවත් බැරිය. මේ සත්‍යය ආණ්ඩුවත් තැන්පතුකරුවනුත් තේරුම්ගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment