ලක්‍ෂ 300ක් අයුතු ලෙස උපයා ගැනීමේ චෝදනාව: නාමල් ඇතුළු 5ක් නිදහස්

318

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමග සිදුකළ ගනුදෙනුවකදී රුපියල් ලක්‍ෂ 300ක මුදලක් අයුතු ලෙස උපයාගත්තේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩුවේ සියලුම චෝදනාවලින් නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (02දා) නියෝග කළේය. ගවර්ස් කෝපරේට් සමාගම ඇතුළු විත්තිකරුවන්ගේ සාක්‍ෂි කැඳවීමකින් තොරව එලෙස නිදොස් කොට නිදහස් කෙරිණි. තම අධිකරණය හමුවේ පැවැති සාක්‍ෂි විභාගයේදී පැමිණිල්ලේ ප්‍රධාන සාක්‍ෂිකරුවන් කිහිපදෙනකු ලබාදී ඇති සාක්‍ෂි අධිකරණයට පිළිගත නොහැකි විශ්වාසනීයත්වයෙන් තොර සාක්‍ෂි බවත් විටින් විට පරස්පර ආකාරයෙන් ලබාදුන් එම සාක්‍ෂි අසත්‍ය සාක්‍ෂි බව එම සාක්‍ෂිකරුවන් විසින්ම පිළිගෙන ඇති බවත් පෙන්වා දුන් විනිසුරුවරයා එම නියෝගය කළේය. තම අධිකරණය සලකා බලනුයේ විත්තිකරුවන්ගේ තරාතිරම නොව ඔවුනට එරෙහිව ගොනු කර ඇති චෝදනා සනාථ කළ හැකි සාක්‍ෂි කෙරෙහි පමණක් බව පෙන්වා දුන් විනිසුරුවරයා පැමිණිල්ල ඉදිරිපත් කළ සාක්‍ෂි අනුව දණ්ඩ නීති සංග්‍රහය, අල්ලස් පනත හෝ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති චෝදනා 11න් එක් චෝදනාවක් හෝ සනාථ කර නැතැයි ද සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දුන්නේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ශන උධෘත සලකා බැලූ නීතිපතිවරයා එම විමර්ශනවල සැකකරුවකු ලෙස නම් කළ එක්තරා සැකකරුවකු අත්අඩංගුවට නොගෙන එම සැකකරු පැමිණිල්ලේ සාක්‍ෂිකරුවකු ලෙස නම් කරන ලෙසට මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර නමැති නිලධාරියා පෞද්ගලිකව පෙනී සිටිමින්ම නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමෙන්ම එකී විමර්ශන ගමන් කළ මාර්ගය පිළිබඳව පැහැදිලි වන්නේ යැයි ද විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේදී පැවසීය. නියෝජ්‍ය පොලිස්පතිවරයා එලෙස ක්‍රියාකර ඇත්තේ කාගේ අවශ්‍යතාවය මත දැයි තම අධිකරණයට සැකයක් මතුවන්නේ යැයි ද විවෘත අධිකරණය හමුවේදී පැවසූ විනිසුරුවරයා විත්තිකරුවන්ට නගා ඇති චෝදනා ඉතා බරපතළ වුවත් ඒවා සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්‍ෂි නොමැතිවීම මත අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 (1) වගන්තිය අනුව විත්තියේ සාක්‍ෂි කැඳවීමකින් තොරව ඔවුන් නිදොස් කොට නිදහස් කරන බව සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ප්‍රකාශ කළේය.

එමෙන්ම එම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කොට තිබූ නීතිඥ ඉන්දික ප්‍රභාත් කරුණාජීව නමැත්තාට පනවා තිබූ විදේශ ගමන් තහනම් ඉවත් කිරීමටත් ඔහු දුටු තැන අත්අඩංගුවට ගැනීමට නිකුත් කර තිබූ වරෙන්තු නියෝග ආපසු කැඳවීමටත් විනිසුරුවරයා නියෝග කළේය. නඩුවේ හතරවන විත්තිකාරිය වන ඹරනෙලා ඉරේෂා ද සිල්වා නමැත්තියට පනවා තිබූ විදේශ ගමන් තහනම ද ඉවත් කිරීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

ඒ නියෝගය අනුව ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ, නීතිඥ ඉන්දික ප්‍රභාත් කරුණාජීව, සුජානි බෝගොල්ලාගම, ඹරනෙලා ඉරේෂා සිල්වා හා නිත්‍යා සේනානි සමරනායක නමැති විත්තිකරුවනුත් හයවන විත්තිකාර ගවර්ස් කෝපරේට් සමාගමත් එකී චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබූහ. නීතිඥ මුදිත ලොකුමුදලි, නිශ්ශංක ජෙරාජ් පීරිස්, නිර්මාල් කොඩිතුවක්කු, ජ්‍යෙෂ්ඨ නීතිඥ අසේල රැකව, ජනාධිපති නීතිඥවරුන් වන නලින් මාරපන, ගාමිණි මාරපන, සම්පත් මෙන්ඩිස් යන මහත්වරුන් විත්තිය නියෝජනය කළ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment