ආණ්ඩුවට එරෙහි අරගලයට පාරට බැසිය යුතු කාලය එළැඹිලා – විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස වත්තලදී කියයි

109

* රන්ජන්ට නිදහස දෙනවනම් මගේ මන්තී‍්‍ර ධුරය ඔහුට දෙනවා – බදුල්ල දිනපු අපට ගම්පහින් බැසිල් අභියෝගයක් නොවේ – හරීන් ප‍්‍රනාන්දු

වත්මන් ආණ්ඩුවට එරෙහි අරගලය වෙනුවෙන් මහ පාරට බැසිය යුතු කාලය එළැඹ ඇතැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය.

හෙතෙම මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය මෙහෙයුම් ප‍්‍රධානි පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු මහතාගේ වත්තල පක්‍ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

ආණ්ඩුව ගනු ලැබූ වැරදි තීන්දු තීරණ හේතුවෙන් රට පත්ව ඇති බරපතළ තත්ත්වය අතිශය ඛේදනීය බව පැවසූ විපක්‍ෂ නායකතුමා යම් අතපසුවීමක් හෝ වරදක් සිදුවූවා නම් අඩියක් පස්සට ගොස් එම තීන්දුව වෙනස් කොට ගමන නිවැරදි කිරීම නම්‍යශීලී නායකයකුගේ වගකීම බවද පැවැසීය.

පොහොර සම්බන්ධයෙන් ආණ්ඩුව ගනු ලැබූ තීන්දුව හේතුකොටගෙන අද මුළු රටම බරපතළ ව්‍යසනයකට ලක්ව ඇති බවද විපක්‍ෂ නායකතුමා පැවැසීය. මේ ගනු ලැබූ වැරදි තීන්දුව නිවැරදි කර ගැනීම උදෙසා අඩියක් පස්සට යන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පැවසූ විපක්‍ෂ නායකතුමා එලෙස අඩියක් පස්සට ගෙන නිවැරදි වීම හැර විකල්පයක් ආණ්ඩුවට නැති බවද පැවැසීය.

කාර්ය සාධක බළකාය පත්කිරීමේදීත් ආණ්ඩුව නොකළ යුත්තක් කළ බව පැවසූ විපක්‍ෂ නායකතුමා මේවායෙන් සිදුවන්නේ රටේ සංහිඳියාව නැතිවී යෑම බවද පැවැසීය.

තමන් බුද්ධි අංශ ප‍්‍රධානියා සමඟ සම්බන්ධ වෙමින් තම පක්‍ෂයේම මන්ත‍්‍රීවරුන්ට එරෙහිව කටයුතු කරන බවට ඇතැම් පාර්ශ්ව විසින් සහමුලින්ම අසත්‍ය මඩ ප‍්‍රචාරයක් ගෙන යමින් සිටින බව පැවසූ හෙතෙම රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාටද එල්ල කළේ මෙවැනිම ප‍්‍රහාරයන් බවද පැවැසීය.

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ වූවන්ට ත‍්‍රස්තවාදීන්ට දෙන මට්ටමේ දඬුවම් ලබාදිය යුතු බවත්, සමගි ජන බලවේග රජයක් යටතේ ඒකාන්තවම එය සිදුවන බවත් ඒ මහතා පැවැසීය.

වඩා වැදගත් වන්නේ වයසට වඩා හැකියාව කුසලතාවය සහ දක්‍ෂතාවය බව පැවසූ විපක්‍ෂ නායකතුමා දේශපාලනයටද එය අදාළ බව පැවැසීය.

දේශපාලනයේ පෙරළිකාර චරිතයක් ලෙස හරින් ප‍්‍රනාන්දු මහතා අභියෝගාත්මක තීන්දු තීරණ ගැනීමට කිසිවිටෙකත් පසුබට වී නැති බව පැවැසූ ඒ මහතා ඉහළම තැන දක්වා ගමන් කිරීමේ ශක්තිය හරින් ප‍්‍රනාන්දුට ඇති බවද පැවැසීය.

මෙම අවස්ථාවට සජබ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

 රන්ජන්ට නිදහස දෙනවනම් මගේ මන්තී‍්‍ර ධුරය ඔහුට දෙනවා – බදුල්ල දිනපු අපට ගම්පහින් බැසිල් අභියෝගයක් නොවේ – හරීන් ප‍්‍රනාන්දු

රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේ සිටිය යුතු පුද්ගලයෙක් බවත් තමා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින්නේ රංජන්ට නිදහස ලබාදෙනවානම් ඔහුට පාර්ලිමේන්තු ඒම සඳහා තමා ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයෙන් ඉල්ලා අස්වන බව සමගි ජනබලවේගය පක්‍ෂයේ මෙහෙයුම් ප‍්‍රධානී හරීන් ප‍්‍රනාන්දු මහතා මෙහිදී පැවැසීය.

ඔහු මේ බැව් පැවසුවේ ඊයේ (01 දා) වත්තල ප‍්‍රදේශයේ සජබ පක්‍ෂ කාර්යාලයක් විවෘත කරමිනි.

විපක්‍ෂ නායක සහ සජබ නායක සජිත් පේ‍්‍රමදාස මහතාද මෙම අවස්ථාවට එක්විය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසුවේ තමා බදුල්ලට ගියේ ගම්පහ දිස්ති‍්‍රක් ජනතාව සමග තරහින් නොවේ යැයිද කියාය.

තවදුරටත් ප‍්‍රාදේශීය නායකයෙක් ලෙස සිටින්න තමා සූදානම් නැති බවත් එනිසා ලොකු ලොකු ගේම්වලට තමා සූදානම් බවත් පැවසූ ඒ මහතා බදුල්ලේදී ශෂීන්ද්‍ර පරාජය කළ තමාට ගම්පහින් බැසිල් පරාජය කරන එක අභියෝගයක් නොවේ යැයිද කීවේය.

වත්තල – සරත් චින්තක

advertistmentadvertistment
advertistmentadvertistment