මේ මගේ කතාව – අසිහියෙන් ලියූ සටහන්

158

ජාතික ගීය !

වටපිටේ වෙන දේවල් කොච්චර ගානකට නොගෙන ඉන්න හැදුවත් ඉන් මට ගැලවිල්ලක් නෑ. දැන් උදේ හන්දියට ගිය වෙලාවේ ගමේ කට්ටියක් දෙපිල බෙදිලා කෑකෝගහගන්නවා. මං බැලුවා ආපහු තෙල් පෝළිම් පටන්ගෙනද කියල. නැත්නම් පැය දහතුනක විදුලි කප්පාදුවක්ද කියල. එහෙමත් නැත්නම් කවුරුහරි අස්වැසුම කප්පාදු කරලාද කියල. ඒත් එහෙම එකක් නෙවෙයි වෙලා තියෙන්නෙ. කොණ්ඩෙ තඹ ගාපු කවුදෝ ගායිකාවක් ජාතික ගීය වැරදියට ගායනා කරලාලු. කෑකෝගහන කට්ටියගෙන් පිරිසක් ඒක වැරදියි කියනවා. පිරිසක් හරියි කියනවා. ඒක කියපු ගායිකාව එල්ලන්න ඕන කියල එතන හිටපු ද්විත්ව පුරවැසිභාවය තියෙන කටහැකර ගෑනියෙක් කියනවාත් ඇහුණා. ඔවුන්ට ඕන වුණේ මගෙනුත් කාගෙ හරි පැත්තකට හූමිටියක් ගන්න. ඒත් මං නෙවෙයි ඒවාට අහු වුණේ. මං ඕවාට කටඅරින්නෙ නෑ. මොකද මං ‘ජාතික’ කියන තැන්වලදි ඉන්නෙ එක දැඩි ස්ථාවරයක. ඒ තමයි අපට ජාතික දෙකක් නෑ, එකයි තියෙන්නෙ, ඒ එක අපි රකින්න ඕන කියන තැන. උදාහරණයකට එක්සත් ජාතික පක්ෂය ගමු. එතන එකයි තියෙන්නෙ. ඒකෙ ලොක්කත් එක්කෙනයි. සදහටම, මතු උපදින ආත්මභවයක් ගානෙත් එක ලොක්කයි. ජාතික ජනබලවේගය ගමු. ඒකත් එකයි. ඒ එක මොකක්ද? ඒක දන්නෙ නැද්ද අප්පා! අර කැලේ මාරු වුණත් පුල්ලි වෙනස් නොවන රතු කට්ටිය. අන්න ඒක. ඉතින් ඒවා, ඒවායේ ලොක්කන්ගේ ධූරාවලිය එක එක්කෙනාට ඕන විධියට වෙනස් කරන්න දෙන්න හොඳ නෑ.

කමක් නෑ, ජාතික ගීය වෙනස් කරන්න. හැබැයි ඒක අවසර අරගෙන කරන්න. කාගෙන්ද අවසර ගන්නෙ? ඒ, අපේ ලංකා මහතාගෙන්. ලංකා මහත්තයා නැත්නම් අවසර ගන්න මං ළඟට එන්න. මං එතකොට ආනන්ද සමරකෝන් මහත්තයා ළඟට යවන්නම්. මොකද ජාතික ගීයෙ හරි පදමාලාව දන්නෙ එතුමා විතරයි. හැබැයි එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අද අපි ඔය වෙනස් කරන්න බෑම කියල දත්මිටි කන ජාතික ගීයත් එතුමා ලියපු මුල් ජාතික ගීය නෙවෙයි. මොකද ඉස්සරත් අද වගේ ගරිල්ලා මාර්කටින්ලා ඉඳලා තියෙනවා. ඒ කිව්වෙ එතුමා ලියලා දීපු මුල් ගීය කවුදෝ මදාවියො ටිකක් වෙනස් කරලා තියෙනවා. සමහරු කියනවා එතුමා මියපරලොව ගිහින් තියෙන්නෙත් ඒක වෙනස් කරපු සෝකෙන් කියල. ඉතින් ඒවා එහෙම තමයි. මේ ඉන්දියන් සාගරයේ මුතුඇටේ වෙන්න බැරි මොනවාද!

ඒත් මොනවා වුණත් දෙපිරිසේ කලකෝලාහලයට මැදි වෙච්ච මං ගෙදර ආවේ අර කාණ්ඩෙන් එක පිරිසකට හූමිටි තියලා. ඒ තමයි ජාතික ගීය වෙනස් කරපු එක හොඳයි කියල. ඇයි එහෙම කළේ? එහෙම කරන්න පුළුවන්ද? ඇයි එහෙම කරන්න බැරි? මට සිගරට්ටුවක් දික්කරන මිනිහා කවුද මං එතනදි කවුද – කින්ද – මන්ද, ජාතිකද – විජාතිකද, ඒකීයද – ෆෙඩරල්ද කියල බලන්නෙ නෑ. ඇත්ත වශයෙන් මං කැමතියි මේ ජාතික ගීයේ කෑල්ලක් විතරක් නෙවෙයි, මුළු ගීයම කහළගොඩට දාලා ඉන්දියාවේ ජාතික ගීය අපි ගන්නවා නම්. මොකද දැනටමත් අපි ඉන්දියානු ඔයිල් අරන් තියෙනවානෙ අයිඕසී කියල. ඒවගේම ඉන්දියානු රුපියල අපේ රුපියලට ආදේශ කරන්නත් යනවානෙ. මට ඇහුණා ලංකාවයි ඉන්දියාවයි යා කරන පාලමක් හදන්න යනවාත් කියල. ඇත්තටම ඒවා හොඳ වැඩ. ඒ වගේ හොඳ වැඩ වුණෝතින් අපේ ගොඩක් ප්‍රශ්නවලට නිකන්ම විසඳුම් ලැබෙන්න ඉඩ තියෙනවා. උදාහරණයකට සම්බන්දන්ලා, විග්නේෂ්වරන්ලා උතුරට වෙනම විසඳුමක් ඉල්ලන එකත් ඒකෙන් දූරීභූත වෙලා යයි. ෂම්මි මල්ලිලා, ධර්මෙ මල්ලිලා ක්‍රිකට් බෝඩ් එකේ සල්ලිවලින් නළු නිළියො පිටරට ගෙනියන එකත් නැවතෙයි. ක්‍රිකට් බෝඩ් එක කොම්පැණියක් වෙන එකත් නතර වෙයි. මොකද ලංකාවටයි ඉන්දියාවටයි එතකොට එක ක්‍රිකට් ටීම් එකක්, එක නායකයෙක්, එක බෝඩ් එකක් තියෙන්න පුළුවන්. ඒවා කොච්චර හොඳ ප්‍රතිසංස්කරණද!

මං කවදාවත් අපේ ජාතික ගීයට අපහාස කරන්නෙ නෑ. දැන් අපේ කන්තෝරුවේ ජාතික ගීය වැයෙනකොට මං කොතන හිටියත් නැගිටිනවා. නැගිටලා ටෙලිෆෝන් එකට උත්තර දෙන්න පුළුවන්. කවුරුවත් ළඟපාත නැත්නම් ඒක උදේට ඔෆිස්වල වයන්න අණ දුන්න එකාට අම්මා මුත්තා නැතිව බැණ වදින්නත් පුළුවන්. ඒත් ඒ වුණාට මං ජාතික ගීයට ගරු කරනවා. මොකද මට උදේට කන්න හීල් බත්දංකුඩ ටික හරි ලැබෙන්නෙ ජාතික ගීය හින්දා. මතකද අර එංගලන්ත ක්‍රිකට් ටීම් එකේ හිටපු නායකයා? අර මයිකල් වෝන්ද මොකෙක්ද කියන්නෙ. ඌ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක විස්තර විචාරය කරන ගමන් කියනවා “මට ලංකාවේ ජාතික ගීය යද්දි දෙපාරක් වැසිකිළියට ගිහිල්ලා එන්න පුළුවන්” කියල. ඒක එච්චර දිගයිලු. සුද්දො ඔහොම තමයි මිත්‍රවරුනි. උන් අපේ රට කෑවා. හප කළා. ඒ මදිවාට අපේ ජාතික ගීයටත් උන් අපහාස කරනවා. අපි කියනවාද නිකමටවත් උන්ගෙ රටේ ජාතික ගීය ඝෝෂාවක් කියල. කියන්නෙ නෑ. මොකද උන් ජාතික ගීය කියනවා අපට තේරෙන්නෙ නෑ. උන් ජව්,, ජව්,, ජව්,, ගානවා විතරයි අපට ඇහෙන්නෙ, පේන්නෙ. බලන්න උන්ගෙ ජාතික කොඩිය. නිකන්ම රතෙනුයි නිලෙනුයි ගහපු කතිර දෙකක්. අපටත් තිබුණා ඕන තරම් කතිර ගහන්න දිගට හරහට. ඒත් අපි කතිර ගහන්න කාලයක් වෙන් කළා. අපට හැම දේටම පිළිවෙළක් තියෙනවා. අපි කතිර ගහන්න වෙන් කරපු කාලය සැරින් සැරේ එහෙ මෙහෙ වෙන්න පුළුවන්. ඒත් අපි කතිරෙට ඉඩ තියල තියනවා. හැබැයි ඉතින් කතිරෙ කියන එක මහ බාල වැඩක්. මොකද ඒ කතිරෙ ඕන පොඩි එකෙකුට අඳින්න පුළුවන්. බලන්න අපේ ජාතික කොඩියේ සිංහයා. බලු බල්ලෙකුට අපේ සිංහ කොඩියෙ සිංහයා අඳින්න පුළුවන්ද? බෑ. ජාතික ගීයත් ඒ වගේ. අපේ ජාතික ගීය අපිට විතරයි කියන්න පුළුවන්. දෙමළ මිනිසුන්ටවත් අපි අපේ ජාතික ගීය දෙමළෙන් කියන්න දෙන්නෙ නෑ. මොකද ඒක අපේ අභිමානය. ඒ අභිමානය හින්දා තමයි මං අද උදේට – දවල්ට – රෑට කාලා මිනිහෙක් වගේ ඉන්නෙ. කාටහරි සිංහල බැරි නම් සිංහල ඉගෙනගෙන ජාතික ගීය කියපල්ලා. නැතුව අපේ ජාතික ගීතයට අත තියන්න එන්න එපා. අත තිබ්බොත් අම්මපා! මරාගෙන මැරෙනවා!

මට හිතෙන්නෙ මේ කාලය අපි කාටවත් හොඳ කාලයක් නෙවෙයි. අපි හැමෝටම රාහු මහදසාව ලබලා තියෙන්නෙ. අර ඇස් පේන්නෙ නැති හාදයා ඒක ටීවී එකේ කිව්වෙ. රාහු කාලයට එළිබහින්නවත් හොඳ නෑ හරි නම්. ඒත් අපි එළිබැහැලා අනිත් වැඩත් කරනවා. වෙලාවකට හිතෙනවා ඒ නොකළ යුතු වැඩ කරන එකේ ආදිනවද අපි මේ බුක්ති විඳින්නෙ කියල. මුලින්ම මං හිතන්නෙ අපි කවුද කියල අපට මතක නෑ. අපි වඳුරාගෙන් පැවත එන්නෙ කියල, අපි හිටියේ ගස් උඩ කියල අපි මතක් කරගන්න ඕන. ගස් උඩ හිටි මිනිස්සුන්ට ගහෙන් බිමට බැස්සාම ගස් කපලා දාන්න, ගස් පොළොවේ වළලලා දාන්න කොහොමටවත් සදාචාරාත්මක අයිතියක් නෑ. ඒත් අපි එහෙම අයිතියක් බුක්ති විඳිනවා. ඒවගේම අපට මුලින් භාෂාවක් නොතිබුණු බවත් අපි අදහස් හුවමාරු කරගත්තෙ හොහ්… හොහ්… ගාලා ගෝරිලි ස්වරයෙන් බවත් අපි මතකයට නගාගන්න ඕන. ඒත් අපි ඒකත් අමතක කරලා. කොච්චර අමතක කරලාද කිව්වොත් දැන් අපි සිංදුවකට මරා ගන්නවා. ඇත්තටම ජාතික ගීය කියන්නෙ අමුතු දෙයක් නෙවෙයි, සිංදුවක්. ඔය ෆ්ලෑෂ් බෑක්ලාට කියන්නකො ඒකට හොඳ බැකින් එකක් දෙන්න කියල. මරුවට දෙයි ජොක්කො ජොකොං ගාලා. ඉතින් සිංදුවකට ගහමරාගන්න එක අපි මෙතනම නවත්තලා දාන්න ඕන. දැන් අපි කරන්න ඕන සිංදුවලට මරාගන්න එක නෙවෙයි, අපේ පාලකයො, අපේ මිනිස්සු අපට නටන්න දාලා තියෙන සිංදුවට නටන එක නවත්තන එක. මේ සිංදු එකම ඝෝෂාවක්. බලන්නකො බස් එකක අද යන්න පුළුවන්ද කියල. වෙලාවකට බස් එකේ සිංදු දාන කොන්දාට දෙන්න හිතෙනවා සෙරෙප්පු පාරක්. ඒ තරම් තුප්පහි සිංදු සංස්කෘතියකට අපි නටන්නෙ දැන්. ජාතික ගීයත් ඒකෙන් වැඩි වෙනසක් නෑ. තුප්පහියො ඔය අලුත් සිංදුකාරයින්ගෙ වමනේ යන සිංදු ගැයුවත් ජාතික ගී ගැයුවත් කිසි වෙනසක් නෑ. දෙකම එකයි. ජාතික ගීය ජාතික වෙන්නෙ මං හිතන්නෙ මේ තුප්පහි සංස්කෘතියෙන් අපි අත්මිදුණොත්. තාගෝර්තුමා ලියපු ජාතික ගීයක් වුණත් කියන්නෙ හොරු නම් ඒ ගීය ජාතික නෑ. හැබැයි ඉතින් මාතා මහතා කරපු එක නම් හරි නෑ නංගි!

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment