‘වෙස්ගත් කතාවක්’…. පුදුමාකාරය රැඳි නවකතාවක්

503

පරාක‍්‍රම කොඩිතුවක්කු චිර ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ හැත්තෑව දසකයේ සිංහල කවියේ මහ පිපුරුම ඇති කළ විදග්ධ කවියා ලෙසිනි. කාව්‍යකරණයට සමගාමීව කෙටිකතා සහ නවකතාකරණයට පිවිසි පරාක‍්‍රමගේ ප‍්‍රථම නවකතාව වන්නේ සත්‍ය ජීවන ප‍්‍රවෘත්තියක් ආශ‍්‍රය භූමි කරගෙන රචිත ‘‘ඔබ සමග’’ නවකතාවයි. ඉක්බිතිව ඔහු ලියූ ‘‘ක්ලැරා’’ නවකතාව ක්ලැරන්ස් විජේවර්ධන නමැති අසිරිමත් සංගීතඥයාගේ තථ්‍ය ජීවිතය ඇසුරෙන් නිමැවූ සංගීතමය නව කතාවකි. පරාක‍්‍රම කොඩිතුවක්කු සිය තෙවන නවකතාව ලෙස අප හමුවට පත් කරන්නේ සත්‍යයත් – කල්පිතයත් අතර ජීවත්වන චරිතයක් තුළින් විදාරණය වන වෙස්වලාගත් මිනිසකුගේ පුදුමාකාරය රැඳි යථාර්ථවාදීවුත් මායාකාරීවුත් ‘‘වෙස්ගත් කතාවක්’’ නමැති නවකතාවයි.

'වෙස්ගත් කතාවක්'.... පුදුමාකාරය රැඳි නවකතාවක්

මෙම නවකතාව ආරම්භ වන්නේ ධර්මේ නමැති ලේඛකයා රෝහලෙන් කැඳවා ගෙන යෑමට සිය ප‍්‍රාණ ප‍්‍රිය මිත‍්‍ර සෝමරත්නගේ පැමිණීමෙනි.

”….ධර්මෙ සිහි විසඥ වෙලා සිටිය හැම දවසකම මං රෝහලේ දැඩි සත්කාරෙ වීදුරු බිත්තිය ළඟට ඇවිත් බලාගෙන සිටියා. නැවත පියවි සිහිය ලැබේවිද කියා. දොස්තරලාට තිබුණෙ දෙගිඩියාවක්. ඔයාට ජීවිතේට එන්ඩ වාසනාව තිබුණා.’’

”…වාසනාව? නැවත ජීවත්වෙන්නෙ කොහොමද’’

මහ රෝහලෙන් පිටව ගොස් සිය නිවසේ සුපුරුදු ඇඳට වැටෙන ඔහුගේ මතකය සිය දෑස් අබියස විවරවන්නේ තිරපටයක් පරිද්දෙනි.

‘‘කොහොමද ….කොහොමද… දෙයියනේ එක දෙයක් මතකයි. රේල් පාර මැද්දෙම කාරෙක නැවතුණා. හූ හ`ඩක් ඇහුණා. පුතා කෝච්චිය…. සුජාතාට කියවුණා. එ් එක්කම නිසල් පිටිපස්සට ගියර් එක දැම්මා. එක අඩියක් ඇවිත් කාරෙක හෙල්ලිලා නැවතුණා. ජීවිතේට අසා නොතිබුණු මහ ශබ්දයක් හිමාලය දෙදරන්නා වගේ පිපීරි ගියා. මං දන්නේ එච්චරයි.’’

සිය බිරිඳ සුජාතාත්, සිය පුතණු නිසල් සමග ගිය ගමනේදී රේල් පාරේ ගේට්ටුව පසුකර යෑමේදී කාරය නතර වීමෙන් පසු ඇතිවූ අනපේක්ෂිත සිදුවීම අවසන් වූයේ සිය පුතණුවන් සහ සිය බිරිඳ ධර්මෙට අහිමි කර ඔහු හුදකලා කරමිනි. ජීවිතයේ සියල්ල අහිමිව, තනිවූ ධර්මෙ නමැති ලේඛකයාට සිය දිවි නසාගත නොහැකිය. ඔහුට ජීවිතයට කෙසේ හෝ මුහුණ දිය යුතුය. මෙබඳු අවස්ථාවන්ට මුහුණ දුන්විට අප ජීවිතයට යළි මුහුණ දෙන්නේ කෙසේද? මෙම උභතෝකෝටික ප‍්‍රශ්නයට මුහුණ දෙන ධර්මේට අලූත් ජීවිතයක් ලබා ගැනීමට නොහැකි වූවත්, වෙනස් ජීවිතයක් ලබාගත නොහැක්කේද? එම වෙනස් ජීවිතය නම් ජීවිතය තුළ වෙස්වලා ගැනීමයි. මෙබඳු තීරණයකට එලැඹි ධර්මේ මෙම කතාව නමෝවිත්තියෙන්ම විදාරණය කරන්නේ් මෙබඳු වදන් තුළිනි.

‘‘හිතවත් පාඨකය’’

දැන් මා ඔබට කලින්ම මේ ටික කිව යුතුය. අතීත පරිපථයක ගමනක් දැන් මට නැති නිසා පසුගිය දිවියේ දේවල් ඔබට විස්තර කළ හැකි සිතක් මට නැත. එසේ කළත් එය ඔබට බෙදා දිය හැක්කේ කුඩා කෝපි හැන්දකින්ය. බිරිඳත් පුතාත් ගැන ඔබ මගෙන් වැඩි දෙයක් ඉල්ලා නොසිටින බව මට විශ්වාසය.’’

මෙම වෙස්වලාගත් ජීවිතය විදාරණය කිරීමේදී පාඨකයාත්, ලේඛකයාත් අතර සජීවි සබඳතාවක් ගොඩ නගා ගැනීමට සමත්වන කතුවරයා වෙස්වලාගත් ජීවිතය තුළ ගත කරන ජීවිතය කෙබඳුවීද?

නුගේගොඩ පදිංචි සිරිනාථ රුක්මල්ගොඩ විශ‍්‍රාමික කොමසාරිස්වරයාගේත්, වයස්ගත බිරිඳගේත්, යොවුන් දියණියකගේත් නිවසේ මෙහෙකරුවෙකු ලෙස සේවය බැඳෙන ධර්මේ, ‘‘විජේ’’ නමින් වෙස්ගෙන සේවයට පිවිසෙන්නේ මෙලෙසිනි. සිරිනාථ විජේ අමතා පවසන්නේ මෙවදන්ය.

‘‘විජේ මේ ගෙදර ඉන්නේ මමයි මගේ නෝනයි. දුව චාමලී. කුස්සියේ වැඩ කරන එංගල්තිනා. දැනුම් දුන් වෙලාවට ඩ‍්‍රයිවර් කෙනෙක් එනවා. මිදුලේ වැඩවලට කම්කරුවෙක් ගෙන්න ගන්නවා. මේ තමයි ගෙදර ජනගහනය.’’

ධර්මෙගේ වෙස්ගත් ජීවිතය සුන්දර පිටුවලින් යුතුය. එසේ වන්නේ සිරිනාථගේ සිත දිනා ගැනීමට ධර්මේ සමත් වූ හෙයිනි. සිරිනාථ විජේ අමතන සොඳුරු බසට සවන් දුන මැනවි.

‘‘තමුන්නැහේටත් ටිකක් ගන්ඩ පුළුවන්’’

‘‘සැර බීමක් ගන්නේ නැත්නම් බීම ටිකක් බොන්ඩ පුළුවන්. අද ඩ‍්‍රයිවින් නැහැනේ’’

විජේ සිරිනාථ නිවසේ වැඩ කරන්නේ පී‍්‍රති සිතකිනි. ලොකු සාලාව ළ`ගින් යනවිට චාමලී මිස් කතා කරන්නේ මෙලෙසිනි.

‘‘විජේ මියුසික්වලට ආසද?’’

‘‘සෑම මිනිසෙක්ම සංගීතෙට කැමතියි නෝනා’’

‘‘ඔව් සංගීතේ හිතේ විතරක් නෙවෙයි. ඇ`ග ඇතුළේ තියෙන දෙයක් හැබැයි සංගීතයක් ජීවිතේ නැති මිනිසුන් ඉන්නවා’’

කතුවරයා විජේගේ වෙස්වලාගත් ජීවිතය වෙනත් චරිත සමග මුසු කිරීමෙන් ඔහුගේ අලූත් ජීවිතයේ අපූර්වත්වය සිත්තම් කරන්නේ සංගීත රිද්මයෙන් යුත් බස් වහරකිනි.

‘‘නැටුම් ගැන විජේ මොනවාද කියන්නේ?’’

‘‘මිනිසුන් නැටීමේදී හරි අමුතුයි කියලා මට හිතෙනවා මිස්’’

‘‘මොනවද? විජේ කියන දේ පුදුමයි. ඩාන්සින් මියුසික්වලින් තමයි මිනිසුන්ගේ ජීවිතේ අඩුව වෙන්නේ. විජේ හොඳ කල්පනාකාරයෙක්’

සිරිනාථ සර් සමග විජේ ‘‘ලෝකාන්ත ලෝඡ්’’ එකට ගිය ගමන කතුවරයා කදිම සිත්තමකට නගන්නේ දක්‍ෂ සිත්තරකු පරිද්දෙනි.

‘‘….. අර බලනවා, මහගස්වල අතු ඉති සේරම අහසේ පැද්දෙනවා. නිදහසේ අත් කකුල් වගේ. සේරම ගස් ඉන්නේ ඔළුවෙන් හිටගෙනයි. මොළේ පොළොවට මුල් ඇදලා.’’

‘‘විජේ, සොබාධර්මය දකිනවාද?’’

‘‘මම දන්නෙ නෑ සර්. මමත් සොබාධර්මය ඇතුළේ තමයි.’’

දැන් වෙස්ගත් භාෂාව මට අමතකව යන්නේද? සිරිනාථ සර්ට මුකුත් දැනේවිද? කවුද මේ මිනිහා? ධර්මේගේ සිත ඔහුට පවසන්නේ එලෙසිනි.

මිනිසෙකුට වෙස් ගැන්වීම පහසු වුවත්, ඔහුගේ අධ්‍යාත්මය වෙස් ගැන්වීම සරල සුගම කාර්යයක් නොවේ. ඔහුගේ අධ්‍යාත්මය තුළින් නිස`ගව පිටවන වදන් තුළ ඇත්තේ ඔහු සතු පුරුෂාර්ථ හා සාරධර්මයන්ය. එබැවින් විජේගේ වෙස්ගත් ජීවිතය හසුරුවා ලිය යුත්තේ සීරුමාරුවෙනි. ඒ සඳහා කතුවරයා වදන් භාවිතයේදී වඩාත් පරිස්සම්වන ආකාරයත් අපට දැනේ.

‘‘විජේ ඔයත් තැනකට යන බව මට දැනෙනවා. තැනක ඉන්නවා. මට දේවල් තියෙනවා තමුන්ගෙන් අහන්ඩ. විජේ ගැන මම මුකුත් දන්නේ නැහැ මට කියලත් නැහැ.’’

‘‘මම සර්ට කියන්න පුළුවන් දේ කිව්වා. කියන්න බැරිදේත් තියෙනවා තමයි.’’

සංගීතයට හා නැටුමට ප‍්‍රිය චාමලී මිස්ගේ පැවතුම් හා ඩග්ලස්ගේ සිතුම් අතර ඇත්තේ විසල් පරතරයකි. එනිසාම චාමිලී මිස් හා ඩග්ලස් අතර ඇති පෙම් සබඳතාව අනිසි ගැටුම් මැද දිව යයි.

‘‘අද මම නටන්න යන්නේ සල්සා ඩාන්ස් එකක්. ඒක ලැටින් නැටුමක්. ලන්ඩන්වලදී සල්සා නැටුම් වලට මාව තේරුණා.’’

යූ ඩාන්ස් ක්ලබ් එකට ශාමිලී මිස් විජේ සමග රථයෙන් බැස ශාලාවට ගොස් නැටුමේ රැල්ල ඉහළටම එසවුණු මොහොතේ පය පැකිලී ඈතට විසිවී ගිය විට ඩග්ලස් පැමිණ ඇය වත්තන් කර ගනී.

මෙම සිද්ධියෙන් පසු ඩග්ලස් සිරිනාථගෙන් ඉල්ලන්නේ මෙවැන්නකි.

‘‘අන්කල් මම සිංහලෙන් කියනවා මෙයාට ඕනේ ඩාන්ස්ද? මාවද? දෙකෙන් එකක් තෝර ගන්න කියන්ඩ.’’

එවැන්නකට සිරිනාථගෙන් අනුබලයත් නොලත් ඩග්ලස් ගියේ කෝපයෙනි.

වෙස්ගත් විජේ බංගලාවට පැමිණියේ පැවැත්මක් උදෙසා වුවත් ඔහුට දැන් හැෙ`ගන්නේ යම් දැනුම් විසේසයක් ගලා එන බවකි.

සිරිනාථ සර් ඇතුළු බංගලාවේ පිරිස සමග නුවරඑළි යන ගමනේදී සිරිනාථ අසන්නේ මෙවන් පැනයකි.

‘‘විජේ කැමති අනුරාධපුරද? නුවරඑළියද?

‘‘සර් එකක් සිංහලයො හදපු එකක්. එකක් සොබාදහම මවපු එකක්.’’

සිය හැ`ගීම්, දැනීම් සිය ආත්මගත බසින් නොදොඩා සිටීම දුෂ්කර බන්ධනයකි. විජේ එලෙසින් පරිස්සම් වන්නේ ඔහු කවුදැයි හඳුනා ගැනීමට අසීරු වන ලෙසිනි.

සිරිනාථ සර් හදිසියේ අසනීප වීමෙන් පසු ඔහුගේ නිහඬ සේවකයා බවට පත්වන්නේ විජේය. එමගින් වෙස්ගත් ජීවිතයට අඩිතාලමක් වැටී ඇත. විජේ සමග දොඩමළු වන සිරිනාථ සර්ගේ මෙවදන් තුළින් විජේ තුළ ඇතිවන්නේ කිසියම් කුතුහලයකි.

‘‘විජේ අපි ළගට ඇවිත් අවුරුදු හතරකටත් වැඩියි. කොහේවත් ගියේ නැහැ නේද? සුමානෙකට විතර ගිහින් එන්ඩ. මම සල්ලි ටිකක් දෙන්නම්.’’

‘‘මම සර්ට කියලා ඇතිනේ. මම වැටිච්ච මිනිහෙක්. මට යන්න කියලා විශේෂ තැනක් නැහැ. මටයි කියලා කවුරුත් නැහැ. ඕනෑ වුණොත් කියන්නම්.’’

සිරිනාථ සර් ජීවිතයෙන් සමුගත් පසු විජේ මෙතෙක් කලක් වෙස්වලා ගත් ජීවිතය ලොකු නෝනා සහ චාමිලී මිස් ඉදිරියේ අනාවරණය කරන්නේ ඔවුන් කෙරෙහි ඇත්තා වූ අසීමිත සෙනෙහසිනි.

‘‘මේක කථා කරන්ඩ හු`ගාක් අමාරු දෙයක්. මීට පස් අවුරුද්දකට කලින් මගේ බිරිඳත්, එකම පුතාත් අනතුරකදී එතැනම නැතිවුණා. ගැලවුණේ මම විතරයි. මේක මම සර්ට කියා තිබෙනවා.’’

‘‘එදායින් පස්සේ මට ජීවිතයක් තිබුණේ නැහැ. දිවි නහගන්න බැහැ. එ් නිසා මම හිතුවා වෙනස් ජීවිතයකට යන්න. වෙස් වලාගෙන කොහේ හරි වැඩ කරමින් ඉන්න සිතුවා. මේ බංගලාවට ආවේ ඔහොමයි.’’

‘‘ධර්මරත්න විජේසේකර රටේ මිනිස්සු මාව දන්නේ විජය ධර්මරත්න කියලා. මම ලේඛකයෙක්’’

‘‘එතකොට මේ විජය ධර්මරත්නද? අර ප‍්‍රසිද්ධ ලේඛකයා’’

සියල්ල අනාවරණය කිරීමෙන් පසු විජේ නමින් වෙස්ගත් ධර්මේ යළි අමතන්නේ සිය ප‍්‍රාණප‍්‍රිය මිත‍්‍ර සොමීය.

‘‘ධර්මෙ, මම අවසාන වතාවටත් කියනවා මොන ජීවිතයක් ගත කළත් ලේඛක ජීවිතේ අතහරින්න එපා.’

”සොමී… දැන් මම විජය ධර්මරත්න නොවෙයි. එදා ගජමන් නෝනා වෙස් මාරු කරගත්තේ කවි ලොව සොයා යන්නයි. මම වෙස් වලා ගත්තේ ඒ ලෝකය අත් හැර යන්ඩ.’’

සිරිනාථ සර්ගේ අන්තිම කැමති පත‍්‍රයට අනුව ධර්මරත්න විජේසුන්දර නමට අක්කරයක ඉඩමේ වලාකුළුපොල කොටේඡ් හිමිකම පවරා දී තිබුණි. කොටේඡ් එක පස් දෙනකුට සරිලන පරිදි සකස්කර අසරණයන්ට සරණ වෙමින් ඔහු අපිස් ජීවිතයකට නැඹුරු විය.

සොමීගේ ඉල්ලීමට අවනත වෙමින් වෙස් නොලාගත් ධර්මෙ විසින් රචිත කවියකින් ‘‘වෙස්ගත් කතාවක්” කතුවරයා විසින් සමාප්ත කරන්නේ ලේඛකයා කිසි දිනෙක මිය නොයන බැව් සනාථ කරමිනි.

‘‘සුදු වලා නෙලි නෙලී
ඈත ආකාසයේ
ඇදෙන සේ මගේ සිත
ඔබ සොයා පාවේය
ඔබ නැතුව මට බැහැ’’

‘‘වෙස්ගත් කතාවක්’’ නවකතාව කියවීමේදී පිළිඹිමුවන වැදගත් ලක්ෂණයක් වන්නේ කතුවරයා විසින් මෙම විස්මිත කතාව ගෙත්තම් කිරීමේදී නවකතාවේ ප‍්‍රස්තුතයට උචිත ආඛ්‍යාන රටාවක් නිමවා ඇති බවයි. මේ නිසාම මෙම නවකතාව එක හුස්මට කියවා හමාර කළ හැක.

අනිත් විශේෂතාව වන්නේ නවකතාව සඳහා යොදා ගෙන ඇති භාෂාවේ ඇති අපූර්වත්වයයි. මෙහි දී කතුවරයා ලිඛිත භාෂාවට වඩා කථික භාෂාව භාවිත කිරීම තුළින්ද, යොදා ගෙන ඇති කවි බස තුළින්ද, භාෂාවේ ඇති සංගීත ධ්වනිය නාද නින්නාද වේ.

‘‘වෙස්වලාගත් කතාවක්’’ යනු යථාර්ථයෙන් උපන් මායාවෙන් ජීවිතයේ පුදුමාකාරය පිළිඹිබු කරන අපූර්ව අත්දැකීමකින් යුතු හෘදයානන්ද නවකතාවකි.

උදේනි සරත්චන්ද්‍ර

'වෙස්ගත් කතාවක්'.... පුදුමාකාරය රැඳි නවකතාවක්
advertistmentadvertistment
advertistmentadvertistment