ප්‍රේම්ගේ හා ප්‍රියන්තනීගේ ආත්ම භාෂණ

231

පසුගිය දහහත් වැනි දා මහරගම’ ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී ද විසිපස් වැනිදා කොළඹ ශ්‍රී ලංකා පදනමේ දී ද ග්‍රන්ථ ද්වයක් ජනගත කෙරුණු අසිරිමත් උත්සව දෙකකට සහභාගී වීමේ දුලබ අවස්ථාව ලදිමි. පළමුවැන්න ප්‍රියන්තනී ගමගේ යහම්පත් නම් ගුවන් විදුලි මාධ්‍යවේදිනියගේ ඉන්ද්‍රඛීලයක් සේ නම් වූ කෘතියයි. දෙවැන්න ප්‍රේම් දිසානායක නම් බහුවිධ කලා නිර්මාණයෙහි විස්මිත දස්කම් පානා සහෘදයාගේ ප්‍රේම පුරාණය නම් අතීත මගක විත්ති ඇතුළත් එම ප්‍රභේදයට අයත් අපූර්ව කෘතියයි. ප්‍රියන්තනී ගමගේ මාධ්‍යවේදිනිය ගුවන් විදුලි මාධ්‍යයෙන් ලේඛිකාවක ලෙස දොරට වැඩියා ය.

ප්‍රේම් දිසානායක බහුවිධ කලා නිර්මාණකරුවා ද ලේඛක භූමිකාවට අත් පොත් තබන්නේ ප්‍රේම පුරාණය නම් කෘතිය රචනා කොට ප්‍රකාශයට පත් කිරීමෙනි. දෙදෙනා ම පාසල් සමයේ සිටම නිර්මාණාත්මක රචනයෙහි හපනුන් ව සිටිය ද ඉන්ද්‍රඛීලයක් සේ හා ප්‍රේම පුරාණය දෙදෙනාගේ ම කුළුඳුල් ග්‍රන්ථ වීම විශේෂත්වයකි.

මාධ්‍යයට හා ඒ ආශ්‍රිත නිර්මාණ කලාවන්හි නිරත නිර්මාණකරුවන්ගේ වෘත්තීය ජීවන අත්දැකීම් මෙන් ම ජීවන තතු ද දැනගත හැකි කෘතීන් මෙරටෙහි මෙන් ම එතෙර ද ලියැවී ඇති බව සිහි වේ. එංගලන්තයෙහි හා’ අමෙරිකාවේ වරින් වර ශ්‍රව්‍ය දෘශ්‍ය හා මුද්‍රිත මාධ්‍යයන්හි නියැළුණු, ජනමාධ්‍යවේදියකු ලෙස පිදුම් ලද ආචාර්ය David Frost විරචිත මාධ්‍යයේ ගත වූ මගේ ජීවිතයෙන් බිඳක් නම් කෘතිය එවැන්නකි. බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවාවෙහි හා රූපවාහිනී සේවයෙහි අඛණ්ඩ සේවයක් කළ Joan Bakewell මාධ්‍යවේදිනිය විසින් ද මාධ්‍ය ලෝකයේ කලාකරුවන්ගේ ජීවිත ගෙවී ගිය ආකාරය My Life spent in Media කෘතිය මගින් හෙළිදරව් කොට ඇති බව කියැවේ. මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ, මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍ර, මහැදුරු ඒ.වී.සුරවීර, සාහිත්‍යධරයන් වූ කේ.ජයතිලක, ජී.බී. සේනානායක ඇතුළු බොහෝ දෙනා විසින් ද තම ජීවන හා වෘත්තීය අත්දැකීම් ඇතුළත් කෘති පළකොට ඇති බව ප්‍රකට කරුණකි. පසුගිය දා ජනගත වූ මෙම කෘති ද්වයෙහි හිමිකාරිය හා හිමිකරුවාගේ ජීවන හා වෘත්තීය පසුබිමෙහි පරාසයන් එකිනෙකට වෙනස් ය. ප්‍රේම් දිසානායක යනු මුද්‍රණ ශිල්පය, ප්‍රකාශන කලාව, පුවත්පත් කලාව, කාටූන් ඇතුළු චිත්‍ර ශිල්පය, බතික් කලාව, වෙළඳ දැන්වීම් ප්‍රචාරණ කලාව, පෝස්ටර් නිර්මාණය ප්‍රමුඛ තවත් නිර්මාණ ක්ෂේත්‍ර රැසක දීර්ඝ කාලීන අත්දැකීමෙන් මෙන් ම ජීවන අරගලයේ දී අතිශය බියකරු හා අභියෝගාත්මක සිදුවීම් දාමයකට මුහුණ දෙමින් ඒවා ජයගෙන ජීවිතයට මුහුණ දෙමින් ජීවත්වන පරමාදර්ශී නිර්මාණකරුවෙකි. ප්‍රියන්තනී ගමගේ මාධ්‍යවේදිනිය ගුවන් විදුලිය ප්‍රමුඛ විද්‍යුත් ජනමාධ්‍යයෙහි ඉතාම පහළ ස්ථරයකින් පටන් ගෙන නිර්මාණශීලීත්වය හා අභියෝගවලට මුහුණ දීමෙහි හා ඒවා ජය ගැනීමෙහි අධිෂ්ඨාන ශක්තියකින් යුත් තරුණ නිර්මාණකාරියකි. පාසල් සිසුවියක්, තරුණ බිරිඳක්, දෙදරු මවක් මතු නොව මාධ්‍යවේදිනියක් වීමට පූර්වයෙහි සිටම අනේක දුක් ගැහැට අභියෝගවලට මුහුණ දීමෙන් ලද පන්නරයෙන් ජීවිතය හඳුනාගත්තියකගේ භූමිකා රැසකට හිමිකම් කියන්නී ය. ගුවන් විදුලි මාධ්‍යයෙහි විවිධ තනතුරු දරමින් නිෂ්පාදිකාවක් ලෙස ජනාධිපති සම්මාන තෙක් දිගු ගමනක් පැමිණි දිරිය කාන්තාවකි. ඉන්ද්‍රඛීලයක් සේ කෘතියෙහි අඩක් ඇගේ වෘත්තීය ජීවිතය තුළ ලද අත්දැකීම්, නව නිර්මාණ සංකල්ප හඳුන්වාදෙමින් ශ්‍රාවක ප්‍රජාව ගුවන් විදුලියට ළං කර ගැනීමේ කලාව මනාව ප්‍රගුණ කළ හා දත් මාධ්‍යවේදිනියකගේ රුව ගුණ පිළිබිඹුවකි. ඉතිරි අඩ වෙන් වී ඇත්තේ කොවිඩ් 19 වසංගතය ලොව පැතිරුණු සමයෙහි කුටුම්භයක හිමිකාරිය ලෙස ඇගේ පවුල් ජීවිතය හා වෘත්තීය වගකීම් හා යුතුකම් අතර දෝලනය වූ දීර්ඝ ජීවන අන්දරයක තොරතුරු වෙනුවෙනි.

චරිතාපදාන රචනාවක දී පාඨකයන්ට වැදගත් වන්නේ රචකයාගේ ජීවන අත්දැකීම් තුළින් ඉදිරිපත් වන විශිෂ්ටත්වය කෙතරම් ද යන්නයි. වෙසෙසින් ම නිර්මාණකරුවකුගේ විවිධ භූමිකා පිළිබඳ කියවෙන ස්වයං චරිතාපදානයක් රචනයේ දී ඔහු හෝ ඇය ජීවිතයේ විවිධ අවස්ථාවන්හි මුහුණ දුන් දුෂ්කරතා, අභියෝග, වෘත්තීය හා පෞද්ගලික ජීවිතයේ කඩා වැටීම්, රිදුම් සීරුම්, එවැනි අවස්ථාවන්හි ජීවිතයට බල පෑ දෙමාපියන්, හිත මිතුරන්, වෘත්තීය සගයන් ගෙන් ලද උපදෙස්, උගත් පාඩම්හි අගය යනාදී පසුබිම් කාරණා වැදගත් වන බව නොකිවමනාය. මෙම කෘති ද්වයෙහි ම රචක හා රචිකාවියගේ අත්දැකීම් පරාස අහසට පොළොව සේ වෙනස් හා විසාල වූවත් එම අත්දැකීම් තෝරා ගැනීමෙහි හා රචනා කිරීමෙහි ලා ඔවුන් දක්වා ඇති රචනා ශෛලිය භාෂා නිපුණත්වය පාඨක ග්‍රහණය ඇද බැඳ ගැනීමෙහි ලා මහෝපකාරී වී ඇති බව පෙනේ. ප්‍රේම් දිසානායක වැන්නෙකුගේ දීර්ඝකාලීන ජීවන හා වෘත්තීය අත්දැකීම් සමුදාය පාඨකයනට වැදගත් වන්නේ කවර කරුණු කාරණා නිසාද යන්නට නිදසුන් කීපයක් දක්වමි. ‘බිස්නස්වල ලාභ පාඩු කියල දෙකක් තියෙනවා… පුතේ… ලාභ වගේම පාඩුත් විඳින්න ඉගෙන ගත්තොත් ඔයාට වරදින්නෙ නෑ. තාත්තාගේ නෙත් අග කඳුළක් දිලිසෙනු මම දිටිමි. දේපළ අහිමි වෙද්දී මගේ දෑස නොදුටු කඳුළු තාත්තාගේ දෑසින් මතුවන්නට තරම් වේදනාවකින් ඔහු පෙළෙන බව දැක මා තුළ ඇතිවූයේ දැඩි කම්පනයකි ‘(පිටුව 114)’ මේ කතන්දර අස්සේ මම තුසිතා ගෙනා කමිසයක් ඇඟලා ගත්තෙමි. මොන හේතුවක් මත හෝ මා මරා දමන බව මට දැන් සහතිකය. මරා දැමූ පසු මගේ මිනිය හඳුනා ගන්නටවත් දෙයක් තිබිය යුතුය. මම මගේ හැඳුනුම් පත ද කමිස සාක්කුවේ රුවා ගත්තෙමි. මට ආයෙ එන්න වෙන එකක් නෑ… ඔයා දරුවො දෙන්නත් එක්ක අපේ මහ ගෙදරට යන්න.. (පිටුව 151) ප්‍රියන්තනී ගමගේ මාධ්‍යවේදිනියගේ ඉන්ද්‍රඛීලයක් සේ කෘතියෙන් පහත උපුටන දක්වමි. ‘මේ සියලු වැඩ සටහන්වලින් මා ප්‍රගුණ කළේ මාගේ වැඩ සටහන් කියවීමයි. සංවාදශීලීත්වයයි. විචිත්‍රත්වයයි. ජීවිත ඥානයයි. කොටින්ම කියතොත් ජීවිතයයි. ජීවිතය ජීවත් කරවන්නේ බලාපොරොත්තුවයි. බලාපොරොත්තු අතහැරීමට මේ කාලය නොවේ. එනමුදු ජීවිතය වනාහි තන අග පිනිබිඳු වැනිය. ඒ බව ද දනිමි. ඒ නිසාම ජීවිතයේ බොහෝ දේ තෝරා බේරා ගෙන පදවාගෙන යාමට මම නිරන්තරයෙන් උත්සාහ කළෙමි. (පිටුව 57 ) ‘ඒක එක පැත්තක්. මොන දේ කළත් කාලයත් එක්ක දැන් නම් හොඳට ම අවබෝධ වෙලා තියෙන්නෙ මේ සිස්ටම් එක, මේ ගුවන් විදුලියේ වෙනස් කරන්න මෙහෙම බෑ කියලා! මොකද අය්යේ අපි දැක්ක නේ, අපිට පස්සෙ ආපු පරම්පරාවත් හැසිරෙන විදිය. ඒ අය පෙර පරම්පරාවට වඩා හපන් නේ… ගුවන් විදුලියෙ නුසුදුස්සන් සුදුස්සන් කරන මහා බලවේගය වූ කලී දේශපාලනය කියල තමයි අය්යෙ මම කියන්නෙ. මේ හැමදේම උපේක්ෂාවෙන් දරාගන්න මට දැන්නම් පුළුවන්…. ( පිටුව 164 )

මෙම කෘති ජනගතවීමේ උලෙළ ද අසිරිමත් වූයේ ආකෘතිමය වෙනස්කමින් හා දේශකයන්ගේ කාලොචිත අදහස් දැක්වීම් නිසා ය. ප්‍රියන්තනීගේ කෘතිය ජනගත වූ උත්සවය සැරසුණේ එක් දෙසුමකිනි. රජරට විශ්වවිද්‍යාලයේ දෙටු මහැදුරු සේන නානායක්කාර ඉතා අපූරුවට මෙම මාධ්‍යවේදිනියගේ ජීවන හා වෘත්තීය තොරතුරු ඇතුළත් ග්‍රන්ථය පිළිබඳ අපූරු විවරණයක් ඉදිරිපත් කළ අතර මහැදුරු සුනන්ද මහේන්ද්‍ර හා මාධ්‍ය දෙටු තිලකරත්න කුරුවිට බණ්ඩාරගේ කෙටි අදහස් දැක්වීමක් ද වීය. ප්‍රේම් දිසානායක ප්‍රේම පුරාණය ජනගත වූයේ වෙනස් ම ආකෘතියක පිහිටා ය. මහාචාර්ය සුනිල් ආරියරත්න හා ආචාර්ය සරත් අමුණුගමගේ සාරගර්භ දේශන හැරුණු කල සංවාද මණ්ඩපයට ඇරැයුම් ලැබ සිටි ආචාර්ය මාලිනී ෆොන්සේකා, මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, තිලකරත්න කුරුවිට බණ්ඩාර, ප්‍රසන්න විතානගේ හා කුලරත්න ආරියවංශ ආදී ශානර කිහිපයක් නියෝජනය කළ සුලවතුන්ගේ අදහස් දැක්වීමෙන් ප්‍රේම පුරණය වර්ණවත් වීය. නිර්මාණශීලී පුරුෂයකුගේ හා කාන්තාවකගේ ආත්ම භාෂණ තුළින් ඔවුන් නිරතව සිටින කලා ක්ෂේත්‍ර පිළිබඳ නවමු අදහස් රැසක් හා ආභාසයක් නිසැකවම ලැබෙන බව කීමට කැමැත්තෙමි. ජනමාධ්‍යය, සාහිත්‍යය, වෙළෙඳ දැන්වීම් අලෙවිකරණය, චිත්‍ර කලාව ප්‍රමුඛ කොට ගත් කලාංශ රැසක ආධුනිකයන්ට මෙම කෘති ඇසුරින් ලද හැකි දැනුම අපමණ යයි විශ්වාස කරමි.

● බුද්ධදාස ගලප්පත්ති
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment