කවීන්ද්‍ර පරාක්‍රම කොඩිතුවක්කු ගේ නිර්මාණ විඳුම් ලොව ඉතාම දීර්ඝ එකකි. 1972 දී පොඩි මල්ලියේ කාව්‍ය සංග්‍රහයෙන් ඇරැඹෙන ඔහුගේ නිර්මාණ විඳුම් ලොව 2023 වන තෙක්ම නොසිඳෙන දිය ගඟුලක් ලෙසින් ගලා යනු අපි දකිමු. කාව්‍ය සංග්‍රහ (සිංහල, දෙමළ කවි පරිවර්තන, නව ලොව, චීන නව කවි හා පශ්චාත් නූතන කවි පරිවර්තන), කෙටිකතා, නවකතා, තීරු ලිපි සංග්‍රහ හා තවත් වෙනස්ම නිර්මාණ ප්‍රකාශන රාශියක් පරාක්‍රම කොඩිතුවක්කුගේ නොසිඳෙන දිය ගඟුලින් අප පවස නිවා ගැන්මට දෝතක් ලෙසින් ගන්නට හැකි මහා ජලයයි. ඔබ සමග නමින් තම ප්‍රථම නවකතාව 2010 දී රචනා කරන පරාක්‍රම, ක්ලැරා නමින් ද නවකතාවක් රචනා කොට ඇත.

ඔහුගේ තෙවන නවකතාව 2023 අග භාගයේ දී සරසවි ප්‍රකාශනයක් ලෙස අප අතට පත් වී ඇත්තේ දෙවියන්ගේ මල්ලි සමග ගිය මිනිසෙක් නමිනි. මුද්‍රිත පිටු 88 න් යුත් මේ නවකතාව එම ප්‍රවර්ගයට අයත් කෘතියක් දැයි විවාදසම්පන්න ය. මහාචාර්ය ඒ. වී. සුරවීරගේ තම සාහිත්‍ය කලා ප්‍රදීපිකා ග්‍රන්ථයෙහි මැල්කම් කව්ලි උපුටා දක්වමින් නවකතාව නිර්වචනය කරන්නේ මෙසේය. කිසියම් වෙනස් වීමකට තුඩු දෙන චරිත සමූහයක අනන්‍ය සම්බන්ධය ප්‍රකාශ වන්නා වූ ද එක් වරෙකදී දිගටම කියවා අවසන් කළ නොහැකි තරම් ප්‍රමාණයකින් යුක්ත වූ ද දීර්ඝ එහෙත් ඒකාබද්ධතාවකින් යුක්ත වූ ද කතාව නවකතාව යි. දිගටම කියවා අවසන් කළ නොහැකි තරම් ප්‍රමාණයකින් යුක්ත වූ ද දීර්ඝ යන්න හැරුන කල මෙම කෘතිය නවකතාවක් ලෙස සැලකිය හැකි වූවත් තවත් විචාරකයකු විසින් මේ වර්ගයේ නවකතා off beat narrative හෙවත් අසම්මත වෘතාන්ත ලෙසින්ද හඳුන්වනු ලබන බව දනිමු. පසුගිය කාලය පුරා සාහිත්‍ය සම්මාන උළෙල සියල්ලෙහිම නිර්දේශිත නවකතා ලෙස පළ වී ඇති බොහෝ කතා කියවීම ඉතා වෙහෙසකර අභ්‍යාසයක් බවට පත්ව ඇති සමයක පරාක්‍රමගේ මෙම කෙටි නවකතාව එක හුස්මට කියවා අවසන් කළ හැකි කෘතියක් වීම විශේෂත්වයක් ලෙස පවසමි. මෙම කෙටි සටහන පරාක්‍රමගේ කෙටි නවකතාව පිළිබඳ විචාරයක් නොව එකී නිර්මාණයේ අපට හමුවන විවිධ චරිත ඔවුන් මුහුණදෙන නෙක ජීවන ප්‍රශ්න හැලහැප්පීම්, ගැටුම් දෙස විම්සුම් ඇසින් බලන්නටත් සමස්ත නිර්මාණය කෙතරම් විශ්වසනීයත්වයෙන් (credibility) යුක්තව රචනා කිරීමට කතාකරු සමත් වී තිබේද යන්න, කතාව කෙතරම් පාඨක අවධානය දිනාගන්නේ ද වැනි කරුණු පිළිබඳ ආලෝක ධාරාවක් හෙළීමට ගනු ලබන උත්සාහයක් පමණි.

කතානායකයා සහබන්දුය. විශ්‍රාමික ගුරුවරයෙකි. බිරිඳ සීතා මිය ගොසිනි. දියණිය අයිරින් විප්‍රවාසයේ ය. ඔහුගේ ප්‍රාණප්‍රිය මිත්‍රයා නීතිඥ අජිත් ය. ත්‍රිරෝද රියැදුරු සහබන්දුගේ ශිෂ්‍ය විනෝද්, සුමනසිරි, සිදත්, සිදත්ගේ දෙමාපියන්, සුජාතා ඉංග්‍රීසි මිස් ආදීහු සෙසු චරිත වෙත්. සහබන්දු ගීත ලෝලියෙකි. සිංහල ජනප්‍රිය ගීත සමග ඔහුට ඇත්තේ අපුරු සම්බන්ධතාවකි. ඔහුගේ ජීවිතයේ නෙක අවස්ථා හා සම්බන්ධයක් ඇති ගීත සහබන්දුගේ මුවට නැගෙන්නේ නිරායාසයෙනි. වසන්තයේ මල් කැකුලයි, කවදාක කොහොම කොයි තැනකද අප හමුවූයේ, තනිවී සිටින්නැයි මා අදහස් කළේ වැනි ජනප්‍රිය ගීත සහබන්දුගේ මුවින් නික්මෙන අපගේ ද ආදරය දිනූ ගිත වේ. ගීත ලෝලියකු මෙන් ම විනෝදකාමී සැහැල්ලු ජීවිතයකට හුරු වූ පුද්ගලයකු සහබන්දු තුළින් අපි දකිමු. ඔහු මිත්‍රශීලී සමාජශීලී චරිතයකි. ඉඳහිට දුලබ සුරාවක් පානයට හිතැත්තෙකි. ඔහු පදිකයේ මුල්ලක තිබූ ලොතරැයි කූඩුවකින් මිලට ගත් ලොතරැයි පතකට රුපියල් දස කෝටියක ත්‍යාගයක් හිමි වී ඇත, අහම්බයක් නොවේ දැයි සිතුණ ද ජීවිතය යනු අහම්බවලින් (co incidents) පිරුණක් බවත් සහබන්දුගේ ලොතරැයි දිනුම සමග ඔහුගේ ජීවිතය වෙනස්වන අන්දම හා ඔහුට හමුවන විවිධාකාර මිනිසුන්, දරුවන්ගේ චර්යා සමග ඔහුගේ සිතුම් පැතුම් ජීවන රටාව වෙනස්වීම පාඨකයන්ට අදහන්නට හැකිදැයි විමතියක් මතු වේ. එහෙත් ඒ එකදු සිතිවිල්ලක් හෝ තීරණයක්, ක්‍රියාවක් යථාර්ථයෙන් ඈත් වූවක් නොවේය යන්න සමග පාඨකයා සිටී. සහබන්දු ගේ සරල සැහැල්ලු ජීවන රටාව ඔහුට කෝටි දහයක මුදලක් ලැබීමෙන් වෙනස් වන්නක් ද? ඔහු කිසි විටෙක මුදලට ගිජු චරිතයක් ලෙස අපට නොපෙනේ. විශාල මුදලක් ලැබීමෙන් මේ තරම් පරිත්‍යාගශීලී වන පරමාදර්ශී මිනිසුන් ලොව සිටී ද කියා පාඨකයා තුළ කුකුසක් හට ගැනුණ ද ඒ පිළිබඳ මහා ගැටලුවක් නොවන‘යුරින් සහබන්දුගේ හැසිරීම් කතුවරයා නිර්මාණය කිරීමට සමත් වේ. ත්‍රිරෝද රියැදුරා විනෝද් සහබන්දුගේ ගෝලයෙක් වීම මෙන් ම දෙවියන්ගේ මල්ලී ඔහු සොයා පැමිණි පසු ඔහු හමුවන ප්‍රාණප්‍රිය මිතුරා, නීතිඥ අජිත් ද ඔහුගෙන් සාහිත්‍යය උගත් ගෝලයෙකි. සහබන්දු පළමුව විනෝද් ට උදව් කරයි. ඉන් පසු පුවත්පත් වාර්තාවක කියවා තිබූ කැලෑබද ගමක පැල්පතක සිටි දෑත් අහිමි තරුණයකුගේ ජීවිත සටන ජයගන්නට උදව් කරයි. ඇඹිලිපිටියේ හුලංයායට විනෝද් සමග යන සහබන්දු සුමනසිරි හමුවී ඔහුට මුදලක් දී ඔහුගේ නිවෙස පිළිවෙළක් කරගන්නැයි පවසයි. සුමනසිරිගේ ගෙදර සිට එන විට සහබන්දුගේ සිතෙහි සැහැල්ලුව සිත මිමිණූ ගීයක රැඳී තිබුණේ මෙසේය.

ගලන දොළේ දිය දෝත වගේ
ජීවිතයේ අම සුවඳ දැනේ
මලක් වගේ රොන් සුවඳ වගේ
ජීවිතයේ සුව අපමණ වේ
දුකම කොයි තරම් සතුටක්දෝ

සහබන්දුගේ සතුටෙහි හිමිකරුවා දෙවියන්ගේ මල්ලී නොවෙද කියා ඔහුගෙන්ම ප්‍රශ්න කරන්නේ නින්දේ දුටු සිහිනයකිනි.

‘එදා නින්දට ගිය විට ඔහුට අඳුරු තලයේ විනිවිද පෙනුනේ රථයට නගිද්දී සුමනසිරි අත්කොට දෙක පපුවට හරස් කොට ගෙන බලා සිටි ඇස් දෙක ය. තමාගේ බිලියන දහස් සංඛ්‍යාත ශරීර සෛලවල පැතිරී යන්නේ සිහින් ප්‍රීති සිතක්ය. මේ සතුට ගෙන දුන්නේ දෙවියන්ගේ මල්ලී නොවේද ? සහබන්දුට සිතේ.

නිශ්ඵල නෑ මේ ජීවිතේ

අර පත්‍ර වාර්තාවේ හෙඩිමට යොදා තිබුණු සිංදුවේ පද පෙළ ඔහු තනිවම ගයන්නට විය (පිටුව 18)

දෙවියන්ගේ මල්ලී මුණගැසීමෙන් වෙනස්වන සහබන්දුගේ චරිතයේ අතිශය සංවේදී හා අර්ථවත් වෙනස සිදුවන්නේ පාසල් සාහිත්‍ය උත්සවයක රචනා තරග විනිශ්චයක දී ප්‍රථම ස්ථානය දිනූ රචනාව ලියූ කුඩා රචකයා හමුවීමයි. දරුවාගේ රචනයෙහි වූ පරිසරයට තිබිය යුතු ආදරය සහබන්දු ගේ සිත්ගත්තා විය යුතුය. ‘ගසක් මුදුණට යන්නට මට ද ආශාවක් ඇත. එවිට ලෝකය ලොකුවට පේනවා ඇති. මිනිස්සු ගස් විනාශ කරති. ගස්වලට නම් ඒ මිනිසුන්ව මතක නැතුව ඇති. ඒත් පොරොවට නම් ගස් ගැන හොඳින් මතක ඇති. අපේ අම්මාත් තාත්තාත් ගස් රකිති. මම ද එසේ කරමි (පිටුව 19) රචක සිසුවා සිදත් බවත් ඔහුගේ පියා වැව ළඟ වත්තක් බලාගන්නා මුරකරුවකු බවත් ය. දෙවියන්ගේ මල්ලී සමග සිටින සහබන්දු හමුවට පැමිණෙන විවිධාකාර ආධාර පතන්නන් අතර රක්ෂණ සමාගම් නියෝජිතයන්, වැඩිහිටි නිවාස පාලකයන් මෙන්ම ඥාති පුතුන් ද වේ. එසේ පැමිණ ආධාර ඉල්ලා සිටි අවස්ථාවක ඔහුට පහර දුන් ඥාති පුත්‍රයකු සම්බන්ධ සිදුවීමක් ද කතුවරයා විස්තර කරයි.

‘දෙවියන්ගේ මල්ලී සමග සිටින තුරු මේ ගැටුම් වැටුම්වලින් ගැලවුමක් නැති බව සහබන්දු හොඳින් දනී, ඇත්තේ ආරක්ෂාවේ ක්‍රීඩාව කරගෙන යෑම ය. Make every move – a Safe one.. පිටුව 39)

නවකතාකරුගේ චරිත නිරූපණයෙහි ප්‍රතිභාව පෙනෙන්නට පටන් ගන්නේ සහබන්දු විසින් හොඳම රචනාව ලියූ පරිසරයට හිතැති සිසුවා තම පුතෙකු ලෙස හදා වඩා ගැනීමට තීරණය කොට ඔහු ගෙදරට කැඳවාගෙන ඒමේ සිදුවීමෙන් පසුව ය. ඔහු සිදත් තම පුතකු ලෙස හදා වඩාගන්නා බව දියණි අයිරින්ට දන්වයි. ‘මට දැන් පුතෙක් ඉන්නවා නේ දුප්පත් පවුලක හතේ පන්තියෙ ශිෂ්‍යයෙක්ව හදා ගන්නවා. බලා ගන්නවා. මට අවශ්‍ය හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නයි. සිදත්ට දුව කැමති වෙයි. හොඳ දක්ෂයෙක් (පිටුව 41)

සහබන්දු සිදත්ව හදාවඩා ගැනීමේ තීරණයෙහි ප්‍රීතිය ඔහුගේ ප්‍රියතම ගී ඛණ්ඩයකට එකතු කරන්නට පරාක්‍රම උත්සාහ ගනී.

‘ඔහු නාන කාමරයේ මුහුණ සෝදන්නේ ගීතයක පද මුමුණමින්. සිඳුණු වැව් පිටියක් හදිසියේ සොරොව්වක් ඇරීමෙන් පිරී ඉතිරී යන පින්තූරයකට සමාන හිතකින්.

කවදාක කොහොම කොයි තැනක ද
අප හමු වූයේ
හැමදාම ඇසිමි ඔබ නැත මට
පිළිතුරු කීවේ’ (පිටුව 43)

සහබන්දු ළඟට පැමිණ සිටින දෙවියන්ගේන් මල්ලී නොවෙද ඔහුගේ ජීවිතයේ මේ සියලු වෙනස්කම් සිදුකරන්නේ? මුදල් කන්දරාවක් අහම්බෙන් ලැබුණු සාමාන්‍ය පුද්ගලයකුගේ හැසිරීම් හඳුනාගන්නා කතාකරුවා ඊට හාත්පසින්ම වෙනස් සිතුම් පැතුම් සතු පුද්ගලයෙක් අප හමුවට කැඳවයි. ඔහු ඉඳහිට අඩියක් ගැසූවත් හුදකලා ජීවිතය ඊට යටවන්නට ඉඩ නොදෙන සැබෑ විශ්‍රාමික ගුරු භූමිකාවක ඇතුළු හද විවරණයට සමත වෙයි. ඔහු කෙරෙන් ප්‍රකට වන මානවීය ගුණය දයාව අනුකම්පාව පාඨක අප සිත් ගනී. දියණිය මෙරට පැමිණි පසු ඇයට මුණ ගැසෙන ඥාති සොහොයුරා වැනි සිදත් කෙරෙහි ඇගේ ආදරය වටහා ගැනීම කතුවරයා අපූරුවට ගොඩනඟනු පෙනේ. අහම්බයකින් මෙන් ඔහුගේ ජීවිතයේ තනිකම පාළුව බිඳක් හෝ තුනීකර ගන්නට සමත් වෙතැයි අප සිතූ රොෂාන්තිගේ සිහිනය බිඳී ගියද සහබන්දු කම්පාවට පත් නොවේ. පිළිකා සුවසහන පදනම සහබන්දුගේ ජීවිතයේ කඩඉමකි. එහිම ප්‍රතිකාර ලබන්නට වීමත් සහබන්දුගේ ජීවිතයේ තවත් එක් අහම්බයකි.

පරාක්‍රමගේ කෙටි නවප්‍රබන්ධය අවසන් වන්නේ විශ්මයාවහ (surprised) අපූරු උත්සවයකිනි. එතෙර සිටි දියණි අයිරින් පැමිණ සිදත් සමග පියා වෙනුවෙන් සියල්ල සංවිධානය කරන්නී ය. සහබන්දුගේ උදව් උපකාර ලද ඔහු දන්නා හඳුනනා පිරිසකි උපන් දින සාදයට පැමිණෙන්නේ. ‘පළමුවෙන් ඇවිත් සිටගත්තේ ඇඳන් පහේ අම්මලාය.

ඊළඟට ආවේ අජිත් චමීර හා සිදත් පුතාය.

ඊළඟට එන්නේ සිදත්ගේ අම්මා තාත්තාය.

දැන් එන්නේ අත්දෙක නැති ගොවියා සුමනසිරිය.

ඊළඟට ආවේ සුජාතා ඉංග්‍රීසි මිස් ය.

ඉන් පසු ආවේ කොරියාවට ගිය විනෝද්. (පිටුව 87)

අහම්බයෙන් කෝටිපතියකු වූවත් ජීවිතයේ පුරුෂාර්ථ, සාරධර්ම රකිමින් දූෂ්‍ය නොවූ චරිතයකට හිමිකම් කියූ පරමාදර්ශී මිනිසකුගේ චරිතයක් ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන් පාඨක කෘතඥතාව පළ කරමින් ඔහු විරචිත කෙටි නවකතාව වෙනුවෙන් ලියැවුණු කෙටි සටහන මෙතනින් අවසන් කරමි. ඔහු සමග ගිය දෙවියන්ගේ මල්ලී දුටු පරමාදර්ශී සහබන්දු අප සිත රැඳී සිටින බව පවසමු.

බුද්ධදාස ගලප්පත්ති
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment