වර්ණ-හැඩතල අපේ ජීවිතයට ලබාදෙන දේ බොහෝමයි – ශිරානි නානායක්කාර

417

වචනවලට යා හැකි දුර නිමවන්නේ කොතැනද එතැනින් සංගීතය ඇරැඹෙන්නා සේ, හැඟුම් කියාගත නොහැකි තැන චිත්‍රය පටන්ගනී. චිත්‍රයක් ඇඳීමේදී පැන්සල, පෑන, පින්සල භාවිතා කරත් වර්ණ කිරීමේදී තෙල් සායම්, ඇක්‍රලික් සායම්වලින් වර්ණ ගැන්වුවත් දියසායම් මාධ්‍යයෙන් වර්ණ ගැන්වීම සැලකිල්ලෙන් සහ පරිස්සමෙන් සීරුවෙන් කළ යුතුය. ශිරානි නානායක්කාර දිය සායම් මාධ්‍යයෙන් චිත්‍ර ඇඳීම පිළිබඳ විශිෂ්ට හැකියාවක් දක්වන්නීය. ජාතික රූපවාහිනියේ මුල්ම සජීවීකරණ අක්‍ෂර හා මාධ්‍ය රූප ශිල්පීන් කිහිපදෙනා අතරට එකතු වෙමින් 2015 දී ‘ධ්‍යාන’ චිත්‍ර ප්‍රදර්ශනයක් ද පවත්වා ඇත. ශ්‍රී ලංකාවේ පළමු වරට ද්විමාන සජීවීකරණ නිර්මාණයක් වෙනුවෙන් 2009 රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේදී රාජ්‍ය සම්මාන ලබා ඇත.

● අපි චිත්‍ර අඳින්නේ ඇයි…?

වර්ණ-හැඩතල අපේ ජීවිතයට ලබාදෙන දේ බොහෝමයි - ශිරානි නානායක්කාර

යම් කෙනකුට යම් හැඟීමක් හෝ අදහසක් ප්‍රකාශ කළ හැකි දෘෂ්‍ය ප්‍රකාශන මාධ්‍යයක් තමයි චිත්‍ර කියන්නෙ. ප්‍රකාශන සඳහා අකුරු බිහිවෙන්නත් කලින් තමයි මිනිස්සු ප්‍රකාශන මාධ්‍යයක් ලෙස චිත්‍ර යොදාගෙන තියෙන්නෙ. මේ චිත්‍ර නිර්මාණශීලී සහ ආකර්ෂණීය වූ තරමට එහි අගය වැඩියි. චිත්‍ර ශිල්පියකුගේ නිර්මාණශීලී බවට හොඳ වටිනාකමක් තියෙනවා. චිත්‍ර විඳින අය එය අගය කරනවා. ඒ නිසා සාර්ථක චිත්‍ර නිර්මාණ ශිල්පීන්ගේ ආර්ථිකය ශක්තිමත්. ඒත් ඒ හැම දෙයටම වඩා වටින්නෙ චිත්‍රයක් ඇඳීමේ දී ශිල්පියා ලබන ප්‍රමෝදය තෘප්තිය. චිත්‍රයක් අඳින වෙලාවෙ හිත එක අරමුණක දැහැන්ගත වෙනවා. ඇත්තටම එය භාවනාවක් වගේ. එහෙම දැහැන්ගත වෙලා විඳින්නට හැකි නිර්මාණයක් නිමා කළාට පසු දැනෙන තෘප්තිය නම් කිසිම විටෙක මිල කරන්නට බෑ. ඒ ප්‍රහර්ෂය අමිල යි.

● ඔබේ නිර්මාණ දියසායම් ශෛලිය නියෝජනය කරනවා. දියසායම් මාධ්‍යයට මෙතරම් විශේෂත්වයක් දක්වන්නේ ඇයි ?

දියසායම් මම වැඩියෙන්ම ආදරේ කරන මාධ්‍යය. ඒ ගැන කතාකරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසාම තමයි මම දියසායම් වර්ණයේ රිද්මය නමින් පොතක් ලිව්වෙ. උදාහරණ ලෙස එහි තියෙන්නෙ මම නිර්මාණය කළ සිතුවම්. දියසායම් චිත්‍ර අඳින්න යොමුවන සිතුවම්කාරයාට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න ගැන මම ඒ පොතේ කතා කරල තියෙනවා. වර්ණ සහ ජලය නිසි පරිදි සංකලනයෙන් ඊටම විශේෂිත වූ කඩදාසිය මත නිර්මාණාත්මකව අතුරාලීමෙන් තමයි දියසායම් චිත්‍රයක් අඳින්නෙ. දිය සායම් චිත්‍ර අඳින්න මනා සංයමයකින් යුතු මනසක් තිබිය යුතුමයි. ඒ සංයමය අභ්‍යාස වල යෙදෙමින් අත්දැකීම් ලබමින් ඉවසීමෙන් ටිකෙන් ටික ප්‍රගුණ කරමින් ලබාගත යුතුයි. ඒ වගේම වර්ණ ගැළපීම චිත්‍ර අඳින ශිල්පියාගේ නිර්මාණශීලී බව මත යැපෙන දෙයක්. වර්ණ ගැලපෙන රටාව, රිද්මය තමයි ශිල්පියාගෙ අනන්‍යතාව. නමුත් දියසායම් කලාවට ලැදි කෙනකුට ඒ හැම දෙයක්ම නිසි මඟපෙන්වීමක් සමග පියවරෙන් පියවර ප්‍රගුණ කිරීමෙන් දියුණු කරගන්න පුළුවන්. දිය සායම් චිත්‍ර කලාව මම මගේම ආරයකින් දියුණු කරගත්තේ තනිවම අභ්‍යාසවල යෙදෙමින්. මගේ දියසායම් චිත්‍රයක මගේ අනන්‍යතාවය තියෙනවා. මගේ දිය සායම් චිත්‍රයක් දුටු කෙනකුට එය හඳුනාගන්න පුළුවන් වෙන්නේ ඒ නිසායි.

දියසායම් වලින් චිත්‍ර නිර්මාණ කරනවිට අපට එහි වන වැරදීම් මකන්න හෝ වෙනස් කරන්න බෑ. එය අපහසු කාර්යයක්. තෙල් සායම් හෝ ඇක්‍රලික් වගේ මාධ්‍යවලින් චිත්‍ර අඳිනවිට වැරදීම් වුණොත් ඕනෑ තරම් එක මත එක වර්ණ තවරලා වෙනස් කරන්න හෝ නිවැරදි කරන්න පුළුවන්. ඒ නිසාම දියසායම් චිත්‍ර කලාව විශේෂිතයි. විශ්වාසයෙන් නිවැරදි ව පින්සල හා වර්ණ පරිහරණය කරමින් නිර්මාණ කළ යුතු දියසායම් චිත්‍ර ඇඳීම ප්‍රගුණ කළ කෙනකුට අනිත් මාධ්‍ය පරිහරණය කරමින් චිත්‍ර ඇඳීම ඉතා පහසු වෙනවා. එය මට අත්දැකීමෙන් සහ විශ්වාසයෙන් කියන්න පුළුවන්. කුමන මාධ්‍යයෙන් චිත්‍ර ඇන්දත් නිර්මාණශීලී බව ඉතා වැදගත්. නිර්මාණශීලී චිත්‍ර ශිල්පියෙකුට ඕනෑම මාධ්‍යයකින් පෑ හැකි දස්කම් අපමණයි.

● ආලේඛ්‍ය චිත්‍ර කලාව කියන්නෙ චිත්‍ර කලාවේ මුදුන්මල්කඩක්. ඒ ගැන ඔබේ සිතුවිලි කොහොමද ?

කැමරාව බිහිවෙන්නටත් පෙර අතීතයේ සිටම ආලේඛ්‍ය චිත්‍රවලට වටිනාකමක් තිබුණු බව මේ ක්‍ෂේත්‍රය ගැන යමක් හිතන ඕනෑම කෙනෙක් දන්නවා. රජවරු, ප්‍රභූවරු උනත් තමන්ගේ ආලේඛ්‍ය චිත්‍ර ඒ කාලේ අන්දවා ගෙන රස විඳින්නට කැමැත්තක් තිබුණා. අද වුණත් ඕනෑම කෙනෙක් තාක්‍ෂණයෙන් බිහිවන ඡායාරූපයකට වඩා ආලේඛ්‍ය නිර්මාණයක් ඉතා ආදරයෙන් භක්තියෙන් වැළඳ ගන්නවා. එය විඳිනවා.

ආලේඛ්‍ය චිත්‍ර අඳින්න විවිධ මාධ්‍ය යොදාගන්නට හැකියි. තෙල් සායම් ඇක්‍රිලික්, දියසායම්, පැස්ටල්, චාකෝල් පැන්සල් යනාදී වශයෙන්. කැන්වස් හෝ කඩදාසි මත අවශ්‍ය පරිදි පරිහරණය කළ හැකියි. මේ කුමන ආකාරයෙන් චිත්‍රය ඇන්දත් ආලේඛ්‍ය චිත්‍රයේ හිමිකරුවා ගේ මුහුණේ ඇති හැඟීම නම් එයින් පිළිබිඹු විය යුතුමයි. එසේ නොවුණොත් එය අසාර්ථක වෙන මූලික ම හේතුව එය වෙනවා. ආලේඛ්‍ය චිත්‍රයක් සාර්ථක කර ගැනීමට තව කරුණු තියෙනවා. ආලෝකය සහ අඳුර නිසි පරිදි අවබෝධයෙන් ආලේඛ්‍ය චිත්‍ර නිර්මාණය කළ යුතුයි. ආලේඛ්‍ය චිත්‍ර ඇඳීමේදී පරිමාණය ගැන හරියටම අවබෝධයක් තිබිය යුතුයි . මෙවැනි කරුණු ගැන මම ඉතා සූක්‍ෂම ව හැදෑරීම් කරලා තියෙනවා. එම හැදෑරීම්වල අවසානයක් නැහැ. මම තවමත් හදාරනවා. මම හිතනවා මම නිර්මාණය කරන ආලේඛ්‍ය චිත්‍රවල සාර්ථක බවක් ඔබ දකිනවා නම්, එයට හේතුව මම එය ඉතා සූක්‍ෂම ලෙස හදාරමින් අඳින නිසා වගේම වෙනස් වෙනස් මාධ්‍ය පරිහරණය කරමින් කලාත්මකව හා පර්යේෂණාත්මකව ඉදිරිපත් කිරීම් කරන නිසා කියලා.

● තනි පියවරකින් ඇරඹුනු සරල ගමනක්නෙ උත්තම ගමනාන්තයක් වෙන්නෙ. ජීවිතය,චිත්‍ර කලාව ඔස්සේ ඔබ ආ ගමන…?

ඒ ගැන කතාකළොත් නම් මගේ පුංචිම කාලය ගැනත් කියන්නම වෙනවා. මම ඉපදුණේ කිතුල්ගලත් යටියන්තොටත් අතර කැලණි ගඟට මායිම් වුණ බදුල්ලවල කියන සුන්දර ගමේ. කඳු, හෙල්, දියඇලි, තේ, රබර් වතු, කුඹුරු අතරේ මගේ පුංචි කාලෙ ගෙවුණා. සාමාජිකයන් නව දෙනකුගෙන් යුතු ආදරයෙන් පිරුණ පවුලක සුන්දර මතක තවමත් හිතට ගෙනෙන්නේ මිහිරක්. මම හිතනව මගේ චිත්‍ර ඇඳීමේ හැකියාව සහජයෙන්ම එන දෙයක් කියලා. එයට හේතුව මගේ තාත්තා. ඔහු සමාජයට විවෘත නොවුණු නිහඬ කලාකාරයෙක්. ඔහු ගේ ඒ කාලේ ක්‍රියාකාරකම් අද මතකයට නැඟෙද්දී තමයි මට හිතෙන්නෙ මගේ මේ හැකියාව මට ජන්මයෙන් ලැබුණු දායාදයක් කියල. පුංචි කාලෙ හක්බෙල්ලාවක කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. අතට අහුවුණ හැම දේක ම චිත්‍ර අඳින කාලයක් තිබුණා. අඟුරු කෑල්ලෙන් බිත්තිවල ඇඳලා ගුටි කාලත් තියෙනවා. ශිෂ්‍යත්වයෙන් පාස්වෙලා මාව යොමු වුණේ තෝලංගමුව මැදි මහ විදුහලේ විද්‍යා ගණිත අංශයට. විද්‍යා විෂයෙනුත් මම හරි කැමැත්තෙන් ඉගෙන ගත්තා. 9, 10 පන්තිවල දී අපි ඉගෙන ගත්තා ජ්‍යාමිතික සහ යාන්ත්‍රික ඇඳීම කියල විෂයක්. ඒ විෂය ඉගැන්නුව ගුරුවරයා ඉගැන්නුවා නෙවෙයි. ඒ විෂය අපිට පෙව්වා. ඔහු නම් ජීවිතේට අමතක නොවන ගුරුවරයෙක්. ඒ සෝමපාල සර්. ඒ විෂය තුල ඉගෙන ගත් දැනුම චිත්‍ර ශිල්පියකු ලෙස අදටත් මට ඉතා ප්‍රයෝජනවත්. මම විද්‍යා විෂයන් ඉගෙන ගත්තට දැඩි ඇල්මක් තිබුණෙ චිත්‍ර කලාවට. මම ජීවිතය වින්දෙ චිත්‍ර කලාවට යොමුවීමෙන්. ඒ නිසා පසු කාලෙක මම චිත්‍ර කලාව මගේ රැකියාව ලෙස තෝරා ගත්තා. ජාතික රූපවාහිනියේ මුල්ම සජීවීකරණ අක්‍ෂර හා මාධ්‍ය රූප ශිල්පීන් 5 දෙනා අතරට මටත් එකතු වෙන්නට වාසනාව ලැබුණා. මගේ සැමියා සුසන්ත නානායක්කාර සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්යවරයෙක්. මගේ මේ ගමන සාර්ථක කරගන්නට ඔහුගෙන් ලැබුණේ විශාල පිටිවහලක්.

● වෘත්තිය තෘප්තිමත් වෙන්නෙ ඊට ඔබ දක්වන ආදරයත් එක්ක.. මොනවද ඔබේ මතකයන් වෘත්තීය ජීවිතයේ ?

ජාතික රූපවාහිනියේ දී දවසින් දවස අලුත් වන වැඩසටහන් සඳහා මගේ නිර්මාණ දායකත්වය දෙමින් තෘප්තිමත් ගමනක් ආවා. මම රූපවාහිනියේ සේවය ආරම්භ කරනවිට ඒ සඳහා නවීන තාක්‍ෂණය පරිහරණය වුණේ නැහැ. අපි කඩදාසියේ චිත්‍ර ඇඳලා අකුරු ඇඳලා තමයි වැඩසටහන් වලට යොමු කළේ. කාලීන අවශ්‍යතාවයක් ලෙස නවීන තාක්‍ෂණය පරිහරණය කරන්න පටන්ගත්තට පස්සෙ අපි මේ චිත්‍ර කලාවත් ඊට අනුගත කරගත්තා. ඊට පස්සෙ කොම්පියුටර් ග්‍රැෆික්ස් අනුසාරයෙන් වැඩසටහන්වලට දායකත්වය දුන්නා. ද්විමාන, ත්‍රිමාන සජීවිකරණ කලාවත් ප්‍රගුණ කළා. ජාතික රූපවාහිනියේ කාටුන් ලෙස ඔබ ඒ කාලෙ දැක්කේ පිටරටවල නිර්මාණය කරන ලද ඒවා. මම නවීන තාක්‍ෂණය සමග මුසුවී ද්විමාන සජීවීකරණ නිර්මාණ ඉදිරිපත් කළා. මම ද්විමාන සජීවීකරණ කලාවේ තාක්‍ෂණය ඉගෙන ගත්තෙ අරෝෂා මැදිවක ශිල්පිනියගෙන්. අපි අධ්‍යාපන සේවය ඔස්සේ ද්විමාන සජීවීකරණ කලාව පාසල් ළමයින් අතරට ගෙනාවා. ලංකාවේ පළමු වරට ද්විමාන සජීවීකරණ නිර්මාණයක් වෙනුවෙන් 2009 රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ දී රාජ්‍ය සම්මානය මම ලබා ගත්තා.

මම 2015 දී චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වූවා ‘ධ්‍යාන’ නමින්. වැඩිපුර තිබුණේ දියසායම් චිත්‍ර. ප්‍රදර්ශනයෙන් පසුව මගෙන් දියසායම් චිත්‍ර අඳින්න ඉගෙන ගන්න පිරිසක් මා වටා එකතු වුණා. චිත්‍ර උගන්වන ගුරුවරියක් වෙන්නත් මගේ අදහසක් තිබුණේ නැහැ. චිත්‍ර කියන විෂය අවබෝධයෙන් උගන්වද්දි පියවරෙන් පියවර අපේ ශිෂ්‍යයන් සාර්ථකත්වය කරා ඉදිරියට යනවිට එය දකිද්දි ලැබෙන තෘප්තිය අමිලයි. ඒ නිසාම මම ගුරුකම ආදරයෙන් වැළඳ ගන්නවා. මම තනියම ප්‍රගුණ කළ දේ ඉගැන්වීම මගේ ජීවිතයට ගෙනෙන්නෙ පුදුමාකාර තෘප්තියක්.

● විශ්‍රාමික අයටත් ඔබ චිත්‍ර කලාව උගන්වනවා.?

වර්ණ-හැඩතල අපේ ජීවිතයට ලබාදෙන දේ බොහෝමයි - ශිරානි නානායක්කාර

ඉස්සර වගේ කලාවට ආසාවෙන් චිත්‍ර අඳින දරුවො අද අඩුයි. බොහෝ පාසල් සිසුන් චිත්‍ර ඉගෙන ගන්නේ ඔවුන්ගේ කඩඉම් විභාග සමත් වෙන්න තියෙන අවශ්‍යතාවය නිසා. පාසල් සිසුන්ගේ චිත්‍ර ප්‍රායෝගික දැනුම ගැන මම වෙන වෙනම බලමින් විමසිලිමත්ව උගන්වනවා. ඔවුන්ගේ හැකියාවන් සහ දුර්වලකම් වෙන වෙනම හඳුනාගෙන තමයි මම ඔවුන්ට චිත්‍ර උගන්වන්නේ. මම දැක්කා සමාජයේ චිත්‍රවලට යොමුවෙන්න කැමැත්තෙන් සිටින වැඩිහිටි පිරිසක් ඉන්න බව. රැකියාවල නියුතු අය විශ්‍රාමික අය, රැකියා නොකරන අය, ඒ අය චිත්‍රවලට ආදරය කරන චිත්‍ර අඳින, විඳින අය. චිත්‍ර කලාව ප්‍රගුණ කරන්න අවස්ථාවක් නැතිව හිටපු අය. මම ඒ අය එකතු කරගන්නවා වයස් බේදයක් නැතිව. නමුත් වැඩිහිටියන්ට චිත්‍ර ඉගැන්වීම ළමයින්ට උගන්වනවාට වඩා ටිකක් සංකීර්ණයි. අපහසුයි.

මම දැනට පවත්වන චිත්‍ර පන්තියට විවිධාකාර අය එනවා. වැඩිහිටි සමහර අයට අවශ්‍ය වෙන්නේ තමන්ට තියෙන හැකියාව වර්ධනය කරගෙන ඒ මතින් තමන්ගේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට. තවත් සමහර වැඩිහිටි අය ආත්ම තෘප්තිය සඳහාම චිත්‍ර ප්‍රගුණ කරනවා. ඒ අතරින් සමහර අය ආලේඛ්‍ය චිත්‍ර විතරයි. සමහරු භූමි දර්ශන විතරයි. සමහරු මල් අඳින්න කැමති. සමහරු කුරුල්ලෝ අඳින්නෙ. ඔය වගේ තමන් කැමති දේ විතරක් ප්‍රගුණ කරමින් සිටිනවා. එයින් තෘප්තියක් ලබනවා. වැඩිහිටි බොහෝ දෙනෙක් චිත්‍ර කලාව මුල ඉඳලා ඉගෙන ගන්න කැමති නැහැ. එයාලා කැමති තැනින් තමයි පටන් ගන්නේ. ඉතින් මම ඔවුන්ව තේරුම් අරගෙන එකිනෙකා ගැන වෙන වෙනම හිතලා ඒ අවශ්‍ය දේ උගන්වලා බලාපොරොත්තු වන ප්‍රගුණ කිරීම්වලට අතහිත දෙනවා. එය ඉතා සීරුවෙන් කළ යුතු දෙයක්.

චිත්‍රයකට දැහැන්ගත වන සිත අපට මොන තරම් තෘප්තියක් ලබා දෙනවාද කියලා චිත්‍ර අඳින අය දන්නවා. වර්ණ හා හැඩතල ගළපමින් චිත්‍ර ඉගෙන ගැනීමෙන් අපි අපේ ජීවිතයට ලබාගන්නා දේ බොහොමයි. අංගසම්පූර්ණ කලාත්මක කාර්යයක් වෙන්නෙ චිත්‍රයක් විතරක්ම නෙවෙයි. සාමාන්‍ය ජීවිතයේදී අපි අතගහන හැම දෙයක්ම නිර්මාණාත්මකව ඉටුකර තෘප්තියක් ලැබීමට චිත්‍ර කලාව දැනීම ම රුකුලක් වෙනවා.

● හර්ෂණ ජයතිලක

advertistmentadvertistment
advertistmentadvertistment