ඉන්දීය ධීවරයන් මෙරට මාළු සම්පත කොල්ලකෑම වැළැක්වීමට – ගුවන් හමුදා සහාය ලබාගන්න

47

උතුරේ ධීවරයෝ පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලති

ඉන්දියානු ධීවරයන් උතුරු මුහුදේ ශ්‍රී ලංකා ජලතීරයට බලහත්කාරයෙන් කඩැවැදී බොටම් ට්‍රෝලින් නමැති තහනම් ධීවර ආම්පන්න භාවිත කරමින් සිය මත්ස්‍ය සම්පත කොල්ලකා සිදුකරන විනාශය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ලබාගන්නා ලෙසට උතුරු පළාතේ ධීවරයෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ.

මන්නාරම හා යාපනය ප්‍රදේශවල පදිංචි ධීවරයන් පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (06දා) වැඩබලන අගවිනිසුරු විජිත් කේ. මලල්ගොඩ, ගාමිණී අමරසේකර හා අචල වෙන්නප්පුලි යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර ධීවරයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එම ඉල්ලීම කළේය. ඉන්දියන් ධීවරයන් රෑ දහවල් තැන නොතැන නොබලා අතිවිශාල ට්‍රෝලර් යාත්‍රා භාවිත කරමින් ශ්‍රී ලාංකික ධීවරයන්ගේ ධීවර ආම්පන්නවලට පවා හානි සිදුකරමින් බලහත්කාරයෙන් සිදුකරන එකී අනවසර ක්‍රියා නිසා තමන්ට නෙළා ගැනීමට ඇති මත්ස්‍ය සම්පත මුළුමනින්ම පාහේ විනාශ වන බවත් තහනම් ධීවර ආම්පන්න භාවිතය නිසා මුහුදු පතුලේ පිහිටි මසුන් බෝවන ස්ථාන පවා මුළුමනින්ම පාහේ විනාශයට ලක්වී ඇති බවත් එකී ධීවරයන් සිය පෙත්සම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබිණි. වෙරළ ආරක්ෂක බළකායට එකී නීති විරෝධී ක්‍රියා සම්පූර්ණයෙන්ම මැඬපැවැත්විය නොහැකි බවක් පෙනී යන බැවින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ඍජු මැදිහත්වීම ලබාගෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ඒ සඳහා ලබාගන්නා ලෙසට නියෝගයක් කරන්නැයිද උතුරු පළාත් ධීවරයන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

උතුරු මුහුදේ පිහිටි දූපත් හා සාගර සීමාවන් පිළිබඳව ශ්‍රී ලංකා රජය හා ඉන්දියානු රජය අතර ගිවිසුම් අත්සන් කර ඇති බැවින් විදේශ කටයුතු අමාත්‍යාංශය ද සම්බන්ධ කරගෙන තවදුරටත් පෙත්සමේ සඳහන් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය මතුවී ඇති බැවින් විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම නඩුවේ පාර්ශ්වයක් කරගත යුතුව ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ගංගා වාකිෂ්ටආරච්චි මහත්මිය අධිකරණයට පැවසුවාය. එලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම පෙත්සමේ පාර්ශ්වයක් කර සාකච්ඡා කර සුදුසු පියවර ගැනීම වඩා උචිත බව තම අධිකරණයට ද පෙනී යන්නේ යැයි පෙන්වා දුන් විනිසුරු මඬුල්ල ඒ අනුව පියවර ගැනීම සඳහා එම පෙත්සම ලබන අගෝස්තු 5 දක්වා කල්තැබීමට නියෝග කළේය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, ධීවර අමාත්‍යවරයා, එම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, පොලිස්පතිවරයා, නාවික හමුදාපතිවරයා, නීතිපතිවරයා, වෙරළාරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නවදෙනකු එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment