ශ්‍රීපාද වන්දනා සමය වෙසක් පෝයෙන් අවසන් – පෙරහැර හතරකින් දේවාභරණ රැගෙන යති

85

2023-2024 වර්ෂය සඳහා පැවති ශ්‍රීපාද වන්දනා වාරය (23) දින වෙසක් පොහෝ දිනයෙන් අවසන් වීමත් සමග ශ්‍රීපාද උඩ මළුවේ තැන්පත් කර තිබූ සදාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා මාර්ග හතරක් ඔස්සේ වැඩම කිරීම (24) දින සිදු කෙරිණ.

ඉන් එක් පෙරහැරක් ශ්‍රීපාද උඩ මළුවේ සිට රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේත්, තවත් පෙරහැරක් කුරුවිට එරත්න මාර්ගය ඔස්සේ වැඩම කළ අතර, තවත් පෙරහැරක් ශ්‍රීපාද උඩමළුවේ සිට නල්ලතන්නිය ලක්ෂපාන අවිස්සාවේල්ල රත්නපුර හරහා පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කළ බවයි ශ්‍රීපාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් කියා සිටියේ.

නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ සිට කරඬුන් වහන්සේ නමක් රැගත් තවත් පෙරහැරක් බගවන්තලාව බලංගොඩ මාර්ගය ඔස්සේ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය වෙත වැඩම කෙරිණ.

මාර්ග හතරක් ඔස්සේ වැඩම කරනු ලැබූ සදාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ (24) දින රාත්‍රියේ සිට (25) දින දහවල් තෙක් පැල්මඩුල්ල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර විශේෂ දේව පූජාවන් ගණනාවක් පවත්වා (25) දින පස්වරුවේ රිය පෙරහැරකින් සදාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කෙරිණ.

පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වා එසේ වැඩම කළ සදාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ ශ්‍රීපාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කරන තබන බවයි ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් වැඩිදුරටත් කියා සිටියේ.

නුවරඑලිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment