මුදලිගේ ඇතුළු 62 ක් රිමාන්ඩ් : ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ 48 ක් ඒ අතර

180

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය පරිශ්‍රයට ඇතුළුවී කලහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා ඇතුළු සැකකරුවන් හැටදෙදෙනකු ඊයේ (24 දා) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වැනිදා සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට වැඩබලන මහෙස්ත්‍රාත් සුජීව ගුණතිලක මහතා නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පිරිස අතර ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා 48 නමක්ද, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ 14 දෙනෙක්ද වෙති.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ කමල් විජේසිරි ප්‍රමුඛ 40 දෙනකුගෙන් සමන්විත නීතිඥ මණ්ඩලයක් ඉදිරිපත් වී තිබුණු අතර අධිකරණ භූමියට සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් ඇතුළු පොලිස් නිලධාරීන් 300 කට අධික පිරිසක්ද ආරක්‍ෂාව සඳහා යොදවා තිබෙනු දක්නට ලැබිණි.

මීට අමතරව නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නියෝජිතයින්ද පිරිසක් සහභාගී වූහ.

දණ්ඩ නීති සංග්‍රහයේ 113, 140, 143 සහ 486 යන වගන්තිය උල්ලංඝනය කළේ යැයිද පොදු දේපළ පනත යටතේ රජයේ දේපළවලට හානි කළේ යැයි මොවුන්ට චෝදනා ඉදිරිපත්කරමින් පොලිසිය අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළත් නීතීඥ කමල් විජේසිරි මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ඉතා සාමකාමි ලෙස උද්ඝෝෂණයකට සහභාගි වූ මෙම පිරිස පොදු දේපළ වලට හානියක් සිදු නොකළ බවය.

සුගත් ප්‍රේමතිලක – කඩුවෙල

advertistmentadvertistment
advertistmentadvertistment