ඉන්දීය ධීවරයෝ කළු කොඩි බැඳ 18 දා සිට විරෝධතාවක

45

ඉන්දියාවේ රාමේස්වරන් ධීවරයෝ බෝට්ටු 800 ක පමණ කළු කොඩි බැඳ 18 දා සිට විරෝධතාවක නිරතව සිටිති.

රාමේස්වරන් ධීවර සංගමයේ ප්‍රධානී ජේසුදාසන් ප්‍රකාශ කරන්නේ ඉන්දීය ධීවරයන් 23 දෙනකු අත්අඩංගුවට ගෙන උතුරේ අධිකරණ වෙත ඉදිරිපත් කිරීමේදී එම ධීවරයින්ට ආකාර දෙකකට දඬුවම් ලබා දීම නීති විරෝධී බවයි.

උතුරු මුහුදු සීමාවේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් 23 දෙනකුගෙන් ටෝලර් යාත්‍රා පැද වූ දෙදෙනාට මාස හයක සිර දඬුවමක්ද ධීවරයන් මෙහෙයවන ලද ඉන්දීය ව්‍යාපාරිකයෙකුට වසරක සිරදඬුවමක්ද නියම කොට සෙසු පිරිස මීළඟ නඩු දිනය දක්වා බන්ධනාගාරගත කිරීමට යාපනයේ අධිකරණ විසින් ලබා දී ඇති තීන්දු සාධාරණ නොමැති බව රාමේස්වරන් ධීවර සංගම් නියෝජිතයෝ කියා සිටිති.

එමෙන්ම ඉතා දිගු කාලයක් උතුරේ බන්ධනාගාර වල සිරකොට සිටින ඉන්දීය ධීවරයින් 43 දෙනා වහාම නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගත යුතුව අති බවද රාමේස්වරන් ධීවර සංගම් කියා සිටියි.

මේ කාරණා සම්බන්ධයෙන් තමිල්නාඩු රජය ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කොට දැනට බන්ධනාගාර වල සිටින ඉන්දීය ධීවරයන් නිදහස් කර ගැනීමට යම් පියවරක් අනුගමනය කරන තුරු ඔවුන්ගේ විරෝධය අත් නොහරින බවද ප්‍රකාශ කොට තිබේ.

රාමේස්වරන් ධීවර වරායේ දැනට ක්‍රියාත්මක විරෝධතාවට අමතරව මේ මස 23 හා 24 යන දිනවල පවැත්වෙන කච්චතිව් වාර්ෂික මංගල්ලයටද රාමේස්වරන් ධීවරයෝ සහභාගි නොවන බවට එම ධීවර සංගමය නිවේදනයක් නිකුත් කොට තිබේ.

ඉන්දීය ධීවරයන් පිරිස උතුරේ බන්ධනාගාර වලින් නිදහස් කර ගැනීමට තමිල්නාඩු රජය පියවර නොගතහොත් දැනට රාමේස්වරන් ධීවරයන් විසින් ආරම්භ කොට ඇති විරෝධතාව මුළු තමිල්නාඩුවේම ධීවර සංගම් එකතුව සාමූහික විරෝධයක් බවට පත් කරන බවද රාමේස්වරන් ධීවර සංගමයේ ප්‍රධානියා ප්‍රකාශ කරයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment