පිරිමි ශූරතාවය කොළඹට – කාන්තා ශූරතාවය වෙන්නප්පුවට

67

ජාතික කනිෂ්ඨ පිරිමි හොකී ශූරතා තරගාවලිය

ජාතික කනිෂ්ඨ පිරිමි හොකී ශූරතා තරගාවලියේ 44 වැන්න ජය ගනිමින් ඒ සඳහා පිරිනමන ලද “ඩබ්ලිව්. චන්මුගම් අභියෝග කුසලානය” දිනාගැනීමට කොළඹ හොකී සංගමය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ පළමු ගෝලය සටහන් කර ගනිමින් පෙරමුණ ගැනීමට මාතලේ සමත් වුවත් දෙවන භාගය ආරම්භවීමත් සමගම තරගයේ පාලනය තමන් දෙසට හරවා ගැනීමට කොළඹ පිලට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස නියමිත කාලය නිමාවන විට ගෝල් 2 – 1 ක තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට කොළඹ ක්‍රීඩකයෝ සමත් වූහ.

එකී අනුශූරතාව මාතලේ හොකී සංගමය තහවුරු කර ගන්නා අතරවාරයේදී තෙවන ස්ථානයෙන් සෑහීමට පත් වන්නට මහනුවර සංගමයට සිදු විය.

මෙම තරගාවලියට සමගාමීව ක්‍රියාත්මක කෙරුණු තෙවන ජාතික කනිෂ්ඨ කාන්තා තරගාවලියේ ශූරතාව වයඹට රැගෙන යෑමට වෙන්නප්පුව සංගමයට හැකියාව ලැබිණි. තියුණු සටනකින් අනතුරුව එකී අනුශූරතාව මහනුවර සංගමය හිමිකර ගන්නා අතරවාරයේදී තෙවන ස්ථානය කොළඹ හොකී සංගමය සතු විය.

මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මාතලේ සංගමය නියෝජනය කළ නෙත්මිණ ධර්මකීර්ති ද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඒකාබද්ධ විශ්ව විද්‍යාලයීය කණ්ඩායම නියෝජනය කළ නදලි සිරිමාන්නද, දක්ෂතම ගෝල් රකින්නා ලෙස මහනුවර සංගමය නියෝජනය කළ හෙළරුවන් කරුණාරත්නද, දක්ෂතම ගෝල් රකින්නිය ලෙස වෙන්නප්පුව සංගමය නියෝජනය කළ නිලීයා කෞෂිණී ද, ප්‍රධාන ආරාධිතයා වූ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා අතින් සම්මාන ලැබූහ.

කොළඹ හොකී සංගමයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා හොකී සම්මේලනය විසින් මෙහෙයවන ලද මෙවර තරගාවලියට පිරිමි කණ්ඩායම් 14ක් සහ කාන්තා කණ්ඩායම් 09ක් ඉදිරිපත්ව තිබුණි.

(අනුරුද්ධ හේරත් බණ්ඩාර)

advertistmentadvertistment
advertistmentadvertistment