නඩු බඩු ගබඩාවේ තිබූ කුඩු ගමන් මල්ලෙන් හමුවී මාස 5 ක් රිමාන්ඩ් භාරයේ සිටි අධිකරණ සේවකයාට ඇප

63

කොළඹ මහාධිකරණ නඩු භාණ්ඩ ගබඩාව භාරයේ තිබූ හෙරොයින් මිලිග්‍රෑම් 534 ක් අඩංගු ලියුම් කවරයක් සිය ගමන් මල්ලේ තිබී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස පහකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අධිකරණ සේවකයකු රුපියල් 25,000 ක මුදල් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේය.

නදීෂ චතුරංග පෙරේරා නමැත්තෙකු එලෙස ඇපමත මුදාහැරිණි. එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමු වන සැකකාර අධිකරණ සේවකයා ලබාදුන් ප්‍රකාශයක් අනුව සිය සේවාදායකයාව අත්අඩංගුවට ගෙන ඇති බවත් එකී ලියුම් කවරය ද ගමන් මල්ලේ තිබී සොයාගෙන ඇත්තේ ඔහු නොමැති අවස්ථාවකදී වෙනෙත් තැනැත්තියක බවත් පෙන්වා දෙමින් නීතිඥ නවෝද්‍යා උඩවත්ත මහත්මිය සමග පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ වීරසේන රණහේවා මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා එම ඇප නියෝගය නිකුත් කළේය.

එකී ලියුම් කවරය සිය සේවාදායකයාගේ ගමන් මල්ලේ තිබූ බව දැනගෙන ඇත්තේ පළමුවන සැකකරුගේ වත්මන් පෙම්වතිය බව අධිකරණයට පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නීතිඥ වීරසේන රණහේවා මහතා එය සැබෑ සොයාගැනීමක් නොව ඔහුගේ ගමන් බෑගයට යම් අයකු එය දමා ඇතැයි යන්න තම මතය බව ද අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment