බැංකු කාඩ්පත් සුක්ෂ්මව මාරු කර අන්සතු ගිණුම්වලින් මුදල් ලබා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

52

ඒ. ටී. එම්. බැංකු කාඩ්පත් වලින් මුදල් ලබා දීම සඳහා සහාය වන මුවාවෙන් ඒ. ටී. එම්. බැංකු කාඩ්පත් සුක්ෂ්ම අන්දමින් මාරු කර අන්සතු බැංකු ගිණුම් වලින් වංචනික ලෙස මුදල් ලබා ගත් පුද්ගලයෙකු මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන මහර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු මේ මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට මහර අංක 02 අධිකරණයේ මහෙස්ත්‍රාත් අන්වර් සදාක් මහතා ඉකුත් සිකුරාදා (16 වැනිදා ) නියම කරන ලදී.

ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි ආර්. චමිල සම්පත් නමැත්තා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සැකකරු විසින් ඊරියවැටිය ප්‍රදේශයේ කාන්තාවක් තම ඒ. ටී. එම්. බැංකු කාඩ්පතින් මුදල් ලබා ගැනීමට කිරිබත්ගොඩ නගරයේ පිහිටි පුද්ගලික බැංකු ශාඛාවකට පැමිණි අවස්ථාවේ ඇයට මුදල් ලබා ගැනීම සඳහා සහාය ලබා දෙන මුවාවෙන් ඇයගේ බැංකු කාඩ්පත සුක්ෂ්ම ලෙස මාරු කර වෙනත් බැංකු කාඩ්පතක් ඇයට ලබා දී පසුව ඇයගේ බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂයක මුදලක් වංචනික ලෙස ලබා ගෙන තිබෙන බවට පැමිණිල්ලේ සඳහන් වී ඇත.

මෙහිදී එම බැංකු ශාඛාව අවට සී. සී. ටී. වී. කැමරාවල රූපරාමු නිරීක්ෂණය කොට ඉකුත් 15 වැනිදා කිරිබත්ගොඩ මහජන බැංකු ශාඛාව අසල සැකකරු රැඳී සිටිනවිට අත්අඩංගුවට ගත් බවට ද සඳහන් වී තිබේ.

මේ අතර සැකකරු ළඟ තිබී අන්සතු ඒ ටී එම් බැංකු කාඩ් පත් 07 ක් පොලිසිය සොයා ගත් අතර ඔහු විසින් අවස්ථා 07 කදී බැංකු ගිණුම් වලින් රුපියල් ලක්ෂ 15 ක පමණ මුදලක් වංචනික ලෙස මෙසේ ලබා ගෙන තිබෙන බවට ද හෙළිවිණි.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment