වතු ප්‍රජාවට සෞඛ්‍ය හා යටිතල පහසුකම් ලබාදීම කඩිනම් කළ යුතුයි – අගමැති දිනේෂ් ගුණවර්ධන

69

වතු ප්‍රජාව යනු මෙරට ආර්ථිකයේ කොඳු නාරටියයි – ඇමති ජීවන් තොණ්ඩමන්

උඩරට වතු ප්‍රජාවට නිවාස, අධ්‍යාපන, සෞඛ්‍ය සහ යටිතල පහසුකම් ලබාදීම කඩිනම් කළ යුතු බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (05 වැනිදා) සඳහන් කළේය.

එම ප්‍රජාව වසර දෙසීයක් මුළුල්ලේ රටේ ආර්ථිකය සවිමත් කළ බවත් හෙතෙම පැවසීය.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (05 වැනිදා) එම අදහස් පළ කළේ කඳුකරයේ වතු ප්‍රජාවගේ ආගමනයට වසර දෙසීයක් කැපවීම වෙනුවෙන් ‘අපිට 200 යි’ (NAAM 200) ව්‍යාපාරය දියත් කිරීම සහ නිල ප්‍රචාරක ලාංඡනය එළිදැක්වීමේ උත්සවයේදී අදහස් දක්වමිනි.

‘ලක්දිය මැදුර’ නව පාර්ලිමේන්තු පාර, පැලවත්ත, බත්තරමුල්ල ස්ථානයේ පිහිටි ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ දී මෙම උත්සවය පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය. වසර 200 ක් යනු ඉතා දිගු කාලයක්. බිංදුවෙන් පටන්ගෙන සෑහෙන්න දිගුකාලයක් ජයග්‍රහණ රැසක් අත්පත් කරගත් ඉතිහාසයක් පසු කරමින් වතු ප්‍රජාව ඉදිරියට පැමිණ තිබෙනවා.

වතු ප්‍රජාවගේ අයිතීන් දිනා ගැනීමේ දී ඉතිහාසයේදී සෞම්‍යමූර්ති තොණ්ඩමන්, ආරුගම් තොන්ඩමන් මහත්වරුන් සුවිසල් වැඩ කොටසක් ඉටුකර තිබෙනවා. ඒ වගේම වර්තමානයේ ජීවන් තොණ්ඩමන් ඇමතිවරයාද, නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතාද වතු ප්‍රජාවගේ අයිතීන් සහ ජීවන තත්වයන් උසස් කිරීම සඳහා භාරදූර කටයුතු රැසක් කරමින් සිටින බව පෙනෙන්න තිබෙන බව සඳහන් කළ යුතුයි.

දසක ගණනාවකට පෙර වතු කම්කරුවන්ගේ අයිතීන් සුරැකීමට වෘත්තීය සමිතියක් පිහිටුවීමට උත්සාහ කළ අවස්ථාවේදී වාමාංශික නායකයන් වන ආචාර්ය එන්. එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා සහ එඩ්මන්ඩ් සමරක්කොඩි යන වාමාංශික නායකයින්ව යුරෝපීය වතු හිමියන් විසින් එලවා දැමුවා. ඉන් නොසැලුනු ඔවුන් වතු කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් අවශ්‍ය අරමුණු කරා ගිය බවත් මෙහිදී සඳහන් කරන්න ඕන. මුල්ඔය විරෝධතාව සහ යුරෝපීය වැවිලිකරු බ්‍රෙස්ග්‍රඩ්ල් පලවා හැරීමේ උත්සාහය අරගලයේ සන්ධිස්ථානක්.

වතු ප්‍රජාවට සෞඛ්‍ය හා යටිතල පහසුකම් ලබාදීම කඩිනම් කළ යුතුයි - අගමැති දිනේෂ් ගුණවර්ධන

මෙහිදී අදහස් දැක්වූ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් ඇමති ජීවන් තොණ්ඩමන් මහතා මෙසේද පැවසීය.

වතු ප්‍රජාව යනු මෙරට ආර්ථිකයේ කොඳු නාරටියයි. ලක්ෂ පහළොවක් පමණ වන වතු ප්‍රජාව නොවන්නට නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය මුල් කාලයේදී ඇති කිරීමට හැකියාවක් නොලැබෙන්න තිබුණා. මොකද අද මෙන් විදේශ විනිමය ලැබෙන මාර්ග ඒ කාලයේ තිබුණේ නැහැ. වතු කම්කරුවන්ගෙන් ලැබෙන දායකත්වය මත තමයි එකල රජයන්ට සමාජ සුබ සාධනය සඳහා මුදල් එක්කර ගැනීමට හැකියාව ලැබුණේ. එවන් තත්ත්වයක් නොතිබියදීත් වසර දෙසීයක් තිස්සේ කන්ද උඩරට වතු ප්‍රජාව රට වෙනුවෙන් සිදු කළ සේවාව වෙනුවෙන් හරි ඇගයීමක් මේ වනතෙක් ලැබී නැහැ. අප ඉල්ලන්නේ සම තත්වය නොගත් නොව සාධාරණ තත්ත්වයයි.

අපේ ප්‍රජාව තුළින් වෘත්තීයවේදීන් විද්වතුන් ලොව පිළිගත් ක්‍රීඩකයින් රැසක් බිහිව තිබෙනවා. රටේ ආර්ථිකයට මහත් සවියක් වන ප්‍රජාවක් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කර රටට කීර්තියක් අත්කරදුන් ප්‍රජාවක් සම්බන්ධයෙන් මීට වඩා වටිනාකමක් හිමි විය යුතු බව අපේ මතයයි. අපේ ප්‍රජාවට හරිහමන් නමක් නැහැ. ඇතැම් අය වතුකර ජනතාව කියනවා. තවත් අය වතුකම්කරුවන් කියනවා. තවත් අය කඳුරට ජනතාව කියනවා. තවත් සමහරු ඉන්දීය සම්භවයක් ඇති ශ්‍රී ලාංකික ජනතාව කියනවා. රට සවිමත් කිරීමට උරදෙන අපේ ප්‍රජාව වෙනුවෙන් කළ හැකි සහ කළ යුතු දේවල් බොහෝ තිබෙනවා. අපගේ මෙම නව ව්‍යාපෘතිය වන අපට 200 යි (NAAM 200 ) ඒ සඳහා ආරම්භ කළ සුවිශේෂී ව්‍යාපෘතියක් බව කියන්නට ඕන.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්, නැගෙනහිර ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් යන මහත්වරු ද අදහස් දැක්වූහ. මෙම අවස්ථාවට ජල සම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක එල්ඩෝස් මැතිව්ස්, අමාත්‍යාංශ ලේකම් ප්‍රමුඛ නිලධාරීන් සහ වෘත්තීය සමිති නායකයින් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූප – තනුජ ප්‍රදීප්

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment