හොරා අල්ලා පොලිසියට භාරදී අන්තිමේදී ඇපෙත් ගෙවලා

874

කරුණාරත්න රාළහාමි ඉඩම් හිමි වැවිලි කරුවෙකි. කරස්නෑගලට කිට්ටුව අක්කර විස්සක විසිපහක ඉඩමක පොල්, රබර්, අන්නාසි, ගම්මිරිස් හා කෙසෙල් වගා කර යහමින් මුදල් ඉපැයූ ඔහු ළඟ කිහිපදෙනකු වැඩ කළේ හරි විශ්වාසයෙනි.

හවස වැඩ අවසන් කළ පසු දවසේ පඩි නඩි බේරන රාළහාමි පොඩි කටගැස්මක්ද හදාගෙන අඩියක් ගැසීම පුරුද්දක් කරගෙන තිබිණි.

ඊයේ පෙරේදා රාත‍්‍රියක රාළහාමිගේ වත්තේ ආරක්ෂාවට සිටි බල්ලෝ එක දිගට බුරන්නට ගත්තත් රාළහාමිට එය නෑසුණේ පදම වැඩි වී තද නින්දකට වැටී සිටි බැවිනි.

උදේම වත්ත වටේ ගිය රාළහාමිට තරු පෙනිණි.

‘‘මොන බල්ලද යකෝ ඇම්බුම් කෙහෙල්කැන් දෙක කපපු ජඩයා” ඔහු කෑගැහුවේ යටි ගිරියෙනි. දහස්ගාණක් වටින කෙහෙල්කැන් දෙක සොයා ඔහු ගම්මැද්දට ගියේ අන්නාසි කපන අසිපත වැනි කැත්තද අමෝරා ගෙනය.

‘‘රාළහාමි, ඔය ජඩවැඩේ කළේ වෙනකෙක් නෙවෙයි තිස්සයා…”

ඔත්තුව හරියට හරිය. බඩුත් සමග හොරා අල්ලාගත් රාළහාමි සැකකරු පොලිසියට භාර කළේය.

‘‘අනේ බුදු මහත්තයෝ… දරුවට සනීප නෑ. අපි දවස් දෙකකින් හරියට කාලත් නෑ. තිස්සගෙ වැඩ කරපු තැන පඩි දුන්නෙත් නෑ. මමයි මිනිහට සල්ලි හොයාගෙන වරෙන් කිව්වේ” කුසුමාවතී හැඬූ කඳුළින් දුක කීවේ මේ කාලයේ අමාරුකම් විස්තර කරමිනි.

‘‘ආ මේ පන්දාහ තියාගනින්. හෙට උසාවියේදී මම තිස්සට ඇප දෙන්නම්” කරුණාරත්න රාළහාමි එසේ කියා හුස්මක් හෙලුවේ, මේ කාලේ හොරකම් කරලා නෙවෙයි, මිනීමරලා හරි ජීවත් වෙන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ… යැයි සිතමිනි.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment