‘ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව’ නිදහස් අධ්‍යාපනයේ කොඳු නාරටිය බිඳ මුදල් උපයන යාන්ත්‍රණයක් කිරීමේ සැලසුමක් – ආචාර්ය හරිනි අමරසූරිය

102

“ජනතාවට තීරණාත්මකව බලපාන අධ්‍යාපනය සම්බන්ධ තීන්දු තීරණ ගන්න ජනාධිපතිට කිසිම අයිතියක් නැහැ” යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

ජාතික ජන බලවේගය පක්ෂ මූලස්ථානයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙසේද කීවාය.

මේ වන විට සමාජයේ කතා බහට ලක්වෙන වැදගත් ප්‍රතිපත්තියක් ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කර තිබෙනවා.‘ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව’ යනුවෙන් හැඳින්වෙන ඒ ප්‍රතිපත්ති මාලාව මගින් මේ දක්වා යම් පමණකට හෝ ආරක්ෂා වී තිබූ නිදහස් අධ්‍යාපන ක්‍රියාවලියේ කොඳු නාරටිය බිඳ දමා මුදල් උපයන යාන්ත්‍රණයක් බවට පත්කර ගැනීමට සැලසුම් කරගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සහ ඉන් පිට කණ්ඩායම්වලත් සාකච්ඡාවට ලක්වී තිබෙනවා. මෙය අධ්‍යාපනයට කරනු ලබන ඉතාමත් ප්‍රතිගාමී මැදිහත්වීමක් විදිහටයි අපි දකින්නේ. අපේ රටේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කුමන ගැටලු මධ්‍යයේ වුවත් මේ දක්වා පවතිනවා. එසේම එය සුරක්ෂිත විය යුතු බව අපි සියලු දෙනාම පිළිගන්නවා. අපේ රට මේ තත්ත්වයෙන් හෝ පවත්වාගෙන යෑමට නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කොතරම් දායක වුණාදැයි අපි සියලු දෙනාටම අවබෝධයක් තිබෙනවා. හඳුන්වාදී තිබෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මගින් මේ පවතින තත්ත්වයත් ආපසු ගෙනයන්නයි උත්සාහ කරන්නේ. පුද්ගලීකරණයේ දිසාවට යොමු කරමින් තිබෙන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය පමණක් නොවෙයි, මේ ප්‍රතිපත්ති රාමුව තුළ පාසල්වල පවා නිදහස් අධ්‍යාපනයේ මූලධර්මවලට ප්‍රහාර එල්ල කීරීමක් දකින්න තිබෙනවා. මේ ප්‍රතිපත්ති රාමුව පිළිබඳ වගකීම දරන කෙනෙක් නැහැ. අධ්‍යාපන කොමිෂන් සභාව මේ ගැන දන්නේ නැහැ.

මේ ප්‍රතිපත්ති රාමුව පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙන් නිවේදනයක් නිකුත් කළා. උසස් අධ්‍යාපනයට මෙයින් සිදුවන බලපෑම පිළිබඳව සවිස්තර කරුණු ඉදිරිපත් කර තිබුණා. එයට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේන් රාඝවන් ප්‍රශ්න කරන්නේ, මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ආවේ කොහෙන්ද කියලයි. අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒ ගැන නොදන්නා බව කියනවා.

advertistmentadvertistment
advertistmentadvertistment