ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව බැබළෙයි

1

ජපානයේ කෝබේහිදී පෙරේදා (25) අවසන් වූ ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට ශ්‍රී ලාංකික පැරා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ඩයලොග් ආසිආටා අනුග්‍රාහකත්වය එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි වී තිබුණි.

ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනෙක් මෙම තරගාවලිය නියෝජනය කරමින් සහභාගි වූ අතර සමිත දුලාන් පසුගිය අඟහරුවාද පැවැති පිරිමි එෆ් 44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවමින් අවධානය දිනා ගත්තේය. සමිත දුලාන් මීටර් 66.49 ක දක්ෂතාවයක් දක්වමින් රිදී පදක්කම එහිදී දිනා ගත්තේය.

කෙටි දුර ධාවන ශූර ඉන්දික ගමගේ පසුගිය සඳුදා පැවති ටී 44 මීටර් 100 අවසන් මහා තරගය තත්පර 11.83කින් නිමා කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය. ඉන්දික පළමු මූලික තරගය තත්පර 11.75 කින් අවසන් කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම කැපී පෙනුණි.

පාලිත බණ්ඩාර එෆ් 42 කාණ්ඩයේ යගුලිය දැම්මේ ඉසව්වේදී මීටර් 14.27 ක දක්ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූයේය. ඩයලොග් ආසිආටා පී.එල්.සී. සමාගම ජාතික පැරාලිම්පික් කමිටුවේ සාඩම්බර අනුග්‍රාහකයා වන අතර රට තුළ සිටින ආබාධ සහිත ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා සමාගමේ කැපවීම මෙම අනුග්‍රාහකත්වය තුළින් විදහා දැක්වේ. ඩයලොග් සමාගමේ මෙම අනුග්‍රාහකත්වය යටතේ පුහුණු වැඩසටහන් දේශීය තරගාවලි ජාත්‍යන්තර තරග සහභාගිත්වය සහ පැරා ක්‍රීඩකයන්ගේ සංවර්ධනයට ආධාර වන අනෙකුත් අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් සඳහා අරමුදල් සැපයේ.

advertistmentadvertistment
advertistmentadvertistment