යුපුන් බලාපොරොත්තු දල්වයි

255

ආබාධය සුව වීමෙන් පසුව තරග බිමට අවතීර්ණ වූ යුපුන් අබේකෝන් තම උපරිමය ප්‍රදර්ශනය කරමින් පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සිකුරාදා (24දා) සමත් විය.

ජර්මනියේ දී පැවති අන්හෝල්ට් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී යුපුන් එම ප්‍රථම ස්ථානය දිනා ගැනීම උදෙසා සටහන් කළ තරග නිමි කාලය තත්. 10.16 කි.

ආරම්භක සංඥාවට අනුව තරග ආරම්භය පමා වුවද සටන්කාමී ධාවනයක නිරත වෙමින් යුපුන් මෙම ජයග්‍රහණ සටහන් කර ගැනීම කැපී පෙණුනි.

අවසන් පූර්ව තරගයක් ලෙස ක්‍රියාත්මක කෙරුණු පළමු වටයේ දී යුපුන් අබේකෝන් තත්. 10.15 දක්ෂතාවක් සටහන් කරමින් ප්‍රථම ස්ථානය දිනා ගත්තේය. එහිදී දක්නට ලැබුණු තත්.10.15 ක තරග නිමි කාලය යුපුන් අබේකෝන් මෑතක දී වාර්තා කර ගත් උපරිම දක්ෂතාව ලෙස සටහන් විණි.

ප්‍රංශයේ පැරිස් අගනුවර දී ක්‍රියාත්මක කෙරෙන මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීම උදෙසා සටන් වදින යුපුන් අබේකෝන් තම දක්ෂතාව ක්‍රමක්‍රමයෙන් වර්ධනය කර ගන්නා ආකාරය මෙන්ම එය මීටර් 100 ධාවන පථය තුළ ප්‍රදර්ශනය කරන බව පෙනෙන්නට ඇත.

මෙම තරග ඉසව්වේ දෙවන ස්ථානය කොපෙක් (තත්. 10.21) ට හිමි වූ අතර තෙවන ස්ථානය ඕමානයේ අල් බලුෂී (තත්.10.25) සතු විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment